නූතන භික්ෂුව

 ඡායාරූපය:

නූතන භික්ෂුව

“මෙම දිවයින් වාසීන්ගේ දිවියේ සහ ඔවුන්ගේ ස්‍වෛරීභවයෙහි මුරදේවතාවන් වූ ද, ඔවුන්ගේ යහපැවැත්ම සහ චිත්ත ප්‍රීතිය සඳහා වගකියන්නන් වූ ද ශ්‍රී ලාංකීය සංඝයා වන අප සැම “ස්‍වෛරීභාවය සඳහා වූ කැලණි ප්‍රකාශනය, 1949 ජනවාරි 6 බෞද්ධ ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්විය. බුද්ධ, ධම්ම සංඝ යන තෙරුවනින් ත්‍රිපිටකය යනු දෙවන රුවනයි. මෙම පසුබිමේම කතිකාවට ලක් කළ යුතු අනෙක් රුවන නම් සංඝ යන කොටසයි. ඒ කෙරෙහිද රජයක් වශයෙන් ප්‍රමුඛත්වය දිය යුතුය යන්න මෙමඟින් අවධාරණය කිරීමට උත්සාහකරන කරුණයි.

සැබවින්ම අතීතයේදී පොළොන්නරු, දඹදෙණි කතිකාවත් හරහා සංඝ සමාජය දෙස විසංයෝජනීය අර්ථයකින් කළ මැදිහත්වීම මෙවන් සංදර්භයකදී නැවතත් සාකච්ඡාවට ලක් කළ හැකිය. ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්වීමේ සංදර්භය වශයෙන් ත්‍රිපිටක ධර්මය නූතනය තුළදී විවිධ භික්ෂූන් වහන්සේලා අතින් ප්‍රොතෙස්ත්‍රන්ත්‍රකරණය කිරීමට සහ නන් අර්ථයෙන් අර්ථ විවිරණයට ලක්වීම යම් තාක් දුරකට හෝ පාලනය කිරීමට ගත් වෑයමක් ලෙස හඳුනාගත හැකිය.

සැබවින්ම භික්ෂු සංස්ථාව ශ්‍රී ලාංකීය සමාජය සමඟ අන්තර් බද්ධව වැඩුණු ඉන්ද්‍රියකි. එලෙස වර්ධනය වූ එකී සංස්ථාව විවිධ කාල අවකාශ පසුකරමින් පැමිණ මේ වන විට වඩා භක්ති පූර්වක යාගහෝමයට ළැදි බෞද්ධ ප්‍රතිප්‍රදාවක් අගයන්නක් බවට පත්ව ඇත. මෙම තත්ත්වය පෙරළා සමාජය වෙත සිදුකරන නිෂේධනීය බලපෑම පිළිබඳ තවමත් අවබෝධ කරගැනීමට අපට නොහැකි වී ඇත්තේ මෙම තත්ත්වය පිළිබඳ සමාජයක් වශයෙන් අප අන්තරාවර්තීව නොසිතන නිසාය. සැබවින්ම නූතන භික්ෂු චර්යාව පිළිබඳ විවේචනාත්මක දෘෂ්ටියකින් බැලීමට ගිහියන් වශයෙන් අප පෙළඹෙන්නේ ඇතැම් විට ගිහියන් විසින්ම සමකාලීන භික්ෂුව වෙත ආරෝපණය කර ඇති ප්‍රතිමානවල පවතින විකාරරූපි බව නිසාය.

එමෙන්ම මෙම ප්‍රතිමාන කෙතරම් ධූරාවලි සහගතද යන්න, මාධ්‍ය මඟින් නිර්මාණය කරන ලද භික්ෂු ප්‍රතිරූපයකට දක්වන ගරුවත්වය සහ පුදසැලකිලි, ප්‍රත්‍යන්ත ගමක සිවිල් බලයක් නොමැති, ප්‍රාග්ධනයක් අහිමි භික්ෂූන් වහන්සේ කෙනෙක් වෙත නොදැක්වීම යන සරල කාරණය මඟින්ද වටහාගත හැකිය. එහෙත් මෙම තත්ත්වයේම ව්‍යුත්පන්නයක් ලෙස සුලු ධනේශ්වර පසුබිමකින් එන බහුතරයක් භික්ෂූන් වහන්සේලා තමන්ට අහිමි ආර්ථික, සමාජීය අනන්‍යතාව ලබාගැනීම සඳහා සාම්ප්‍රදායික භික්ෂු ප්‍රතිපදාවෙන් ඉවත්ව සුපර්ස්ටාර් පන්නයේ ප්‍රතිපදාවක් වෙත ආකාර්ෂණය වෙමින් සිටී. එහි දිගුවක් වශයෙන් ධම්මපද හෝ භාවනා පවත්වන, නැතිනම් මල් සිංදු රැල්ල මෙන් නන්විධ මල් පූජා පවත්වන භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමාණය මේ වනවිට ක්‍රමයෙන් වැඩිවෙමින් ඇත.

මේ අනුව පෙරදී ඇතැම් සමාජ විද්‍යාඥයින් විසින් භික්ෂු සංස්ථාව ‘නිර්පංතික‘ සමාජ සංස්ථාවක් ලෙස හැඳින්වීම වර්තමානය සඳහා අදාළ කරගත නොහැකි ප්‍රතිමානයක් බව පැහැදිලි වෙයි. සැබැවින්ම සංඝ සමාජයේ අඛන්ඩතාව සහ විපර්යය, අනුවර්තනය මෙන්ම නූතනකරණය යන ක්‍රියාවලි දෙස සමීපව බලද්දී පෙනෙන්නේ සංස්ථාවක් වශයෙන් එය තම අතීත ආස්ථානයෙන් සහ කාර්යාභාරයෙන් මිඳී වෙනත් මඟක ගමන් කරමින් සිටින බවකි. වෙනත් මඟක ගමන් කිරීම මඟින් ඇඟවෙන්නේ සංඝ සංස්ථාව තම තපෝධර ව්‍රතයෙන් මිඳී වඩාත් සංකර භාවයකට පත්වීම නොවේ. සැබවින්ම භික්ෂූන් වහන්සේ බුද්ධ දේශීත මෝක්ෂ මාර්ගයෙන් ඉවත්වූයේ බොහෝ කලකට පෙර සිටය.

එය මෙවන් වූ විපර්යාසයකි. එනම් මෑත කාලීන ඉතිහාසය දක්වා විශේෂයෙන්ම පහතරට දකුණු වෙරළ තීරය හරහා විහාරස්ථාන කෙන්ද්‍රගතව දියුණු වූ ස්වදේශීය බුද්ධිම ව්‍යාපෘතියේ පෙරගමන්කරුවන් වූයේ භික්ෂූන් වහන්සේලාය. එහෙත් යටත් විජිතකරණ සහ පශ්චාත් යටත් විජිතකරණ අධ්‍යාපන ව්‍යාපෘති මඟින් අධ්‍යාපන රටාව වඩාත් විස්තෘත කිරීම සඳහා බෞද්ධ ඉංග්‍රීසී මාධ්‍ය පාසල් ආරම්භ කිරීමත් සමඟ ඒ සඳහා සංකේතීය දයකත්වයක් ලබාදුන් පිරිවෙන් කේන්ද්‍රීය අධ්‍යාපන රටාව බිඳ වැටුණු අතරම, භික්ෂුවගේ කාර්යභාරයද අවප්‍රමාණය කෙරිණි. එපමණක් නොව පසුව එම ඇතැම් ප්‍රධාන පිරිවෙන් විහාරස්ථාන විශ්වවිද්‍යාල බවට පත්කිරීමත් සමඟම භික්ෂූන් වහන්සේලාටද ඒ තුළ විවිධ විෂයන් ඉඟෙන ගැනීමට අවස්ථාව ලැබිණි. භික්ෂුව සහ ගිහියා අතර පැවති සබඳතාවෙහි සීමා මායිම් ඉවත් කරගැනීම සඳහා සමාජසේවකයෙකු වශයෙන් ගිහි දිවිය වඩාත් යහපත්කිරීමේ අරමුණ පෙර දැරිව භික්ෂුව සමාජ ප්‍රගමනික භූමියකට අවතීර්ණ විය යුතුය යන්න එකල සිටි ප්‍රධාන පැවදි උතුමන් කිහිප දෙනෙකු විසින් එකතුව සකස් කරන ලද නිදහස සඳහා වූ කැලණි ප්‍රකාශනය මඟින් ද මතු කර තිබිණි. මේ අනුව එන්ම ගිහියාගේ ආත්ම විමුක්තිය උදෙසා අවශ්‍ය අධ්‍යාත්මික සහයට අමතරව ඔහුගේ ලෞකික දිවිය සැපවත් කිරීම සඳහා අවශ්‍ය සමාජ ආර්ථික සංවර්ධනයද වර්ධනය කරගැනීම සඳහාද දායක විය යුතුය යන්න 20 වන සියවස තුළ අධිනිශ්චය වූ භික්ෂු ප්‍රතිපදාවයි.

එහෙත් මෙකී සමස්ත අපේක්ෂාවන්ට ප්‍රතිලෝමව නව අධ්‍යපන රටාවේ ඵලනෙළාගත් උසස් අධයාපනය ලද භික්ෂූන්ගේ සිවුරු හැරයාමට දැකුවූ ප්‍රවනතාව ක්‍රමයෙන් වැඩිවූ අතර එමඟින් තත්ත්වය වඩාත් ව්‍යාකූලත්වයට පත්විය.එමෙන්ම ඇතැම් භික්ෂූන් තමන් ලද අධ්‍යාපන වරප්‍රසාද හරහා වෙනත් ආර්ථික,සමාජ, දේශපාලනික තලයන් වෙත ගමන් කළ අතර ඊට අනූරූපව උන්වහන්සේලාගේ භික්ෂු සාරූප්‍ය සහ සමාජ තුළ උන්වහන්සේලාට පැවැති තත්ත්වය පහළ දමාගත්හ.

[දිනේෂ් දේවගේ]

මාතෘකා