යහපාලනයේ සිව් වැනි අවුරුද්ද

 ඡායාරූපය:

යහපාලනයේ සිව් වැනි අවුරුද්ද

"අනගාරික ධර්මපාලතුමා කිව්වා 'සිංහලයිනි නැගිටිව්.' මේ රටේ පොදු මහජනතාවගේ සේවකයා විදියට මම කියනවා "ශ්‍රී ලාංකිකයිනි නැගිටිව්." හෙට උපදින දරුවන්ට හොඳ රටක් හදමු. ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් මුළු සමාජය තුළම සාමය ස්ථිර කරමින් බිය සැක තුරන් කර සියලු ජනතාවට නිදහසේ සතුටින් සිටිය හැකි සමාජයක් ගොඩනඟන්න අපි සියලු දෙනාම කැප වෙමු. සම්මුති ආණ්ඩුවේ යුතුකම් හා වගකීම් ඉටු කරමින් සියලු දෙනා සහෝදරත්වයෙන් සහ මිත්‍රත්වයෙන් අපේ උතුම් මාතෘ භූමිය ගොඩනැඟීමට කැප වෙමු."

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2016.09.10

ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කළේ එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සර උලෙළෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. මෙය ඓතිහාසික අවස්ථාවක් මෙන්ම ඓතිහාසික ප්‍රකාශයකි. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ විරසකභාවයට වඩා ජාතික එක්සත්කමෙහි ඇති වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළේය. එසේ හෙයින් යහපාලනයේ ගුණාගුණ ගැන හැරී බැලීමට මෙය හොඳ අවස්ථාවකි.

2015 ජනවාරි 08 වැනිදා සිදුවූ දේශපාලන වෙනස නිහඬ විප්ලවයක් ලෙස සමහරු සලකති. කිසිදා පරාජය කිරීමට අසීරු වේ යැයි සිතූ නායකයකු කරට කර සටනකින් පැරදවීම ඊට එක් හේතුවකි. ආණ්ඩු පක්ෂයේ මහලේකම්වරයා සියලු වරප්‍රසාද අතහැර ජීවිත අවදානමද නොතකා එළියට ඇවිත් විරුද්ධ පක්ෂය සමඟ එක්ව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව ඓතිහාසික ජයක් ලැබීම අනෙක් හේතුවයි. පක්ෂ භේද සහ ජාති භේද ඇතුළු විවිධ බෙදීම්වලට වඩා ජාතික එක්සත්කම, සහජීවනය, විනිවිද බව, දුෂණයෙන් තොරවීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, නීතියේ ආධිපත්‍යය හා නිදහස් රාජ්‍ය සේවය යනාදිය වැදගත් කොට සලකමින් ඒවා ඉෂ්ට කිරීම සඳහා ඇති කරගත් ජනතා සම්මුතිය ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි ජනවරමක් ලැබිණ.

එජාප නායකයා තම ජනාධිපති අපේක්ෂක වරමද ඉවත දමමින් පොදු අපේක්ෂකයා දිනවීම සඳහා කළ කැපවීමද ඓතිහාසිකය.

ජනතාව සමඟ ඇති කරගත් සම්මුතියට දින 100 වැඩපිළිවෙළක් ඇතුළත් විය. නියමිත කාලරාමුව අනුව සියල්ල ඉෂ්ට කිරීම සිදු නොවුවද සිදුවු ඇතැම් සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණවල වැදගත්කම නොතකා හැරිය නොහැකිය.

සම්මුති ආණ්ඩුව ආරම්භ කර වසර හතරක් සපිරෙන මොහොතෙහි ඒ පිළිබඳ සමාලෝචනයක යෙදීම කාලෝචිතය.

සම්මුති ආණ්ඩුවක් හෙවත් යහපාලන ආණ්ඩුවක් දැන් නැතැයි කිසිවකු කීමට පුළුවන. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇතිවී තිබෙන දුරස්ත බව අනුව ඒ තර්කය ගොඩනැඟේ. එය අඩ ඇත්තකි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පක්ෂ දෙකක් නියෝජනය කරති. එහිදී දුරාවබෝධතා පැන ගිය හැකිය. 2017 ඔක් 26 දින එය උච්චාවස්ථාවට පත් විය. කොටින්ම ආණ්ඩුවක් නැති රටක් බිහි විය. එහෙත් ඒ කෙටි කලකටය.

කවර ප්‍රතිවිරෝධතා ඇතත් යහපාලන ආණ්ඩුවෙන් අපේක්ෂා කළ සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ මඟහැර රට පාලනය කිරීමේ හැකියාවක් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම නැත. මේ නිසා හදිසිය නිසා වරද්දා ගන්නා තැන් නිවැරදි කිරීමට බල කිරීමේ සමාජ සංවාදයක් පවතී. අධිකරණය, විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර ඇති වන අර්බුදවලදී ව්‍යවස්ථාව අර්ථකථනය කිරීම ඔස්සේ සංවරණ හා තුලන මූලධර්ම ආරක්ෂා කිරීමේ පසුබිම සකසයි.

යහපාලන ආණ්ඩුවේ ආයුෂ පිළිබඳ කේන්දර හදන්නන් අතර ඉහළින්ම කැපී පෙනෙන්නේ විවිධ චෝදනා ලැබ සිටින ප්‍රභූවරුන්ය. ඊළඟට කළු ආර්ථිකයට සම්බන්ධ ජනමාධ්‍ය හා පූජකයෝය.

ඔවුන්ට සිහි එළඹ ගැනීම පිණිස 19 වැනි සංශෝධනය සිහිපත් කරමි. එමගින් විධායක බලය අඩු කෙරිණ. එය අභිබවා යෑමේ හැකියාවක් ජනපතිටද නැති බව ඇස් පනා පිටම ඔප්පු විය. එනිසා එහි ගෞරවයෙන් වැඩි කොටස 19 සම්මත කර ගැනීමට බොහෝ කැපවීම් කළ ජනපතිට හිමිවෙයි. ලොව ඇති හොඳම තොරතුරු පනතක් සම්මත කිරීමේ ගෞරවය යහපාලන ආණ්ඩුවට හිමිවෙයි. එහි වැඩි ගෞරවය අගමැති රනිල්ටය. පක්ෂ විපක්ෂ කාටත් ඒ පනතින් වැඩ ගැනීමේ හැකියාව පවතී. තොරතුරු දැනගැනීම මහජන අයිතියකි. රෙජීමය තොරතුරු පනතට විරුද්ධ වූ අතීතය සිහිපත් කළ යුතුය.

මාධ්‍ය නිදහස තහවුරු කිරීම වැදගත්ම පියවරයි. ඔක්. 26 කුමන්ත්‍රණයට පසුදා රාජ්‍ය මාධ්‍ය ආයතනවල පැරණි ඒකාධිපතිවාදය හිස ඔසවන්නට විය. දේශපාලන බලය තහවුරු නොවූ අවස්ථාවක එසේ වී නම් බලය තහවුරු කරගත් මොහොතක කෙසේ හැසිරෙනු ඇතිද යන භීතිය අප සිත්හි ඇති විය. එහෙත් කුමන්ත්‍රණය අසාර්ථක වී නිත්‍යානුකුලව අගමැති හා මාධ්‍ය ඇමති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පත්වූ පසුව මුලින් මෙන් "ජනමාධ්‍යවේදීන්ගේ වෙස් බැඳ ගත් වෘත්තිය සමිතිකාරයන්" හයිකාරකම් පෙන්වූ බවක් දැනගන්නට නැත. යහපාලන ආණ්ඩුව ලබා දුන් මාධ්‍ය නිදහස වල් බූරු නිදහසක් බවට පත් කරගත් ඊනියා මාධ්‍යවේදීන් සහ "කළු මාධ්‍ය" අපගේ අවධානයට ලක් විය යුතු මාතෘකාවකි.

මාතෘකා