අඳුරෙන් ආලෝකයට පියනඟන මඟ

 ඡායාරූපය:

අඳුරෙන් ආලෝකයට පියනඟන මඟ

මේ වන විට ඔබේ දරුවන් නව පාසලකට, නව පන්තියකට හෝ පෙරපාසලකට ඇතුළුව ඉගෙනුම ලබනවා ඇති. එහෙත් ඒ දරුවකු කිසියම් දෘෂ්‍ය ඌනතාවකින් පෙළෙනවානම් ඔහු හෝ ඇයට අධ්‍යාපනය ලබා දීමට පාසලකට හෝ පෙරපාසලකට ඇතුළු කිරීමට නොහැකිව ගැටලු රාශියකට මුහුණ දී සිටිනවා විය හැකිය. එසේනම් කම්පා නොවන්න. අද අප අකුරු කරන්නේ ඒ පිළිබඳව නොදන්නා ඔබගේ දැනුවත්භාවය පිණිසය.

දරුවකුගේ මූලික අධ්‍යාපනය ආරම්භ වන්නේ පවුලෙන්ය. පසුව විධිමත් අධ්‍යාපනයට යොමු කරන්නේ පෙරපාසලේ සිටය. ඒ අනුව දරුවකුට පෙරපාසල් අධ්‍යාපනය ඉතාම වැදගත් වේ. විවිධ ක්‍රියාකාරකම්වල සිට අරඹන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය අනාබාධිත දරුවකුට වගේම ආබාධිත දරුවකුටද ඉතාම වැදගත්ය. නමුත් ලංකාව තුළ දෘෂ්‍ය ඌනතාවකින් පෙළෙන දරුවන්ට අධ්‍යාපනය ලැබිය හැකි පෙරපාසල් නැත. එය එම දරුවාට ලැබිය යුතු අවස්ථාවක් නොලැබීමකි. එහෙත් ආබාධිත දරුවන්ට පෙරපාසල් අධ්‍යාපනය ඉතාම වැදගත් වන අතර එය දරුවාගේ අනාගතයට දමන අත්තිවාරමක් බඳුය. අප රට තුළ දෘෂ්‍ය ඌනතා සහිත දරුවන්ට අධ්‍යාපනය ලැබීමට පාසල් කිහිපයක් පවතින අතර රත්මලාන අන්ධ විද්‍යාලයට හිමිවන්නේ ඉන් විශේෂ ස්ථානයකි. දෘෂ්‍ය ඌනතා සහිත කුඩා දරුවන්ට විශේෂ වූ පෙරපාසලක් පවතින්නේද මෙම විද්‍යාලයේ පමණි.

දරුවන්ගේ ක්‍රියාකාරකම් වර්ධනය සඳහා සමාජ අනුකරණය ඉතාම වැදගත් වේ. එහෙත් දෑසින් ලොව නොදකින එම දරුවන් අනුකරණය කරන්නේ කෙසේද? එවිට විවිධ අසාමාන්‍ය චර්යාවන්ට දරුවා හුරු විය හැකිය. එය අපගාමී පෞරුෂයටද හේතු වේ. කුඩා කල එම තත්ත්වයන් නොපෙන්නුවද පසුකාලීනව එම තත්ත්වයන් මතුවිය හැකිය. නමුත් දරුවාට අවශ්‍ය පසුබිම, නිවැරදි චර්යාවන් වගේම යහපත් පෞරුෂයක් ගොඩනැඟීමටද එම දරුවන් උදෙසාම විශේෂ වූ පෙරපාසලක් ඉතාම වැදගත් වේ. එම පෙරපාසල් තුළ පවතින විවිධ ක්‍රියාකාරකම්, එම දරුවන්ට පවතින විවිධ විශේෂිත උපාංග දරුවන්ගේ චර්යා වර්ධනයට වැදගත්ය. දරුවා තමන් භාරයේ සිට අධ්‍යාපනය ලැබීම සුදුසු හා ආරක්ෂිත යැයි මවුපියන් සිතනවා නම් එය සත්‍ය නොවේ.

දරුවාගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ට කුඩා කල විශේෂ හා අනන්‍ය වූ ක්‍රමවේද ලබා දිය යුතුය. එය පසුකාලීන දරුවාගේ වර්ධනයට සෘජුවම බලපෑමක් එල්ල කරයි. එහි දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබාදෙනවා මෙන්ම දරුවන්ට අවශ්‍ය ක්‍රීඩා පහසුකම් වගේම ආරක්ෂිත නේවාසික පහසුකම්ද ලබා දේ. ඒ වගේම පාසලක් වශයෙන්ද රත්මලාන අන්ධ විද්‍යාලය දරුවන්ට ඉතාමත් යෝග්‍ය වේ. ඔබේ දරුවා යම් දෘෂ්‍ය ඌනතාවකින් පෙළෙනවානම් සහ මේ වන විට අධ්‍යාපනය ලබන්නේ සාමාන්‍ය පාසලක නම් දරුවාට සිදුවන්නේ අධ්‍යාපනය ලැබීමට පමණි. වෙනත් දරුවන් කරන ක්‍රීඩා, බාලදක්ෂ ඇතුළු වෙනත් ක්‍රියාකාරකම් කිරීමට ආබාධිත දරුවාට එම පාසල තුළ නොහැකි වේ. නමුත් විශේෂිත පාසල් තුළ ඒ සියල්ල කිරීමේ හැකියාව එම දරුවාටද පවතී. විශේෂයෙන් මෙහි පූර්ණ වශයෙන් පවතින්නේ ශ්‍රී ලංකාවේ සෙසු පාසල්හි පවතින අධ්‍යාපන ක්‍රමවේදයම වේ. ඇත්තේ එකම විෂය නිර්දේෂයයි. එබැවින් විභාගවලද වෙනසක් නැත. පවතින එකම වෙනස නම් දරුවාට උචිත අධ්‍යාපන ක්‍රමයක්, පරිසරයක් පැවතීම පමණි. දැනට ජාතික දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම තුළ ක්‍රීඩා කරන සහ ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ උප සභාපති ධුරය දරන්නේද රත්මලාන අන්ධ විද්‍යාලය තුළ අධ්‍යාපනය ලබා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට ගිය ක්‍රීඩකයෙක්ය. ඔවුන්ට ඒ තැනට යාමට අවශ්‍ය පසුබිම ලැබුණේ විද්‍යාලය තුළින් බව කිව යුතුය.

ක්‍රිකට් පමණක් නොව, තවත් බොහෝ ක්‍රීඩා වගේම සංගීතය, බාලදක්ෂ, ඇතුළු බාහිර ක්‍රියාකාරකම් මෙන්ම සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබාදීමේ කාර්යයද පාසල මඟින් ක්‍රියාත්මක කර ඇත. දැනට ලංකාවේ සාමාන්‍ය පෙළ උසස් පෙළ ප්‍රතිඵල ලබාදෙන්නේ සහ ලංකාවේ ඉදිරියෙන් සිටින දෘෂ්‍ය ඌනතා සහිත බහුතරයක් දෙනාගේ පාසල් වී ඇත්තේද රත්මලාන අන්ධ විද්‍යාලයයි.

1912දී ඇරඹි මේ පාසල දැනට ලංකාවේ පැරණිතම සහ නවීනතම පහසුකම්වලින් යුත් දෘෂ්‍යාබාධිත පාසල වේ. විද්‍යාලය තුළ දරුවන්ට අවශ්‍ය පන්ති කාමර, විද්‍යාගාර, ගණිතාගාර, සංගීත භාණ්ඩ සහ පුහුණු ස්ථාන, පරිගණක, විද්‍යාගාර, පුස්තකාල පහසුකම් ඇතුළු ක්‍රීඩා පිටියක්, පිහිනුම් තටාකයක් ඇතුළු සාමාන්‍ය පාසලක ඉගෙනුම ලබන සිසුන් කරන සියලු ක්‍රියාකාරකම් කිරීමේ පහසුකම් පාසලට ඇතුළත් වන දරුවන්ට ලැබේ. පාසලෙහි නේවාසිකාගාර පහසුකම් ඇතුළු වෙනත් කිසිම පහසුකමක් සඳහා අයකිරීමක් සිදු නොකෙරේ. පාසලේ ගුරු මණ්ඩලය මෙම දරුවන් වෙනුවෙන් ඇප කැප වී සේවය කරති. සිසුන්ට අවශ්‍ය අමතර පන්තිද පාසල තුළම පවත්වන අතර ඉරුදිනයන්හි දහම් පාසල් අධ්‍යාපනය සඳහාද සිසුන් යොමු කිරීම පාසල මඟින්ම සිදු කරනු ලැබේ. ඔබේ දරුවා ආනාබාධිත දරුවකු මෙන් ක්‍රියාශීලී, ඉගෙනීමට දක්ෂ, රටට වැඩදායී දරුවකු කිරීමට හොඳ පසුබිමක් පාසල තුළින් ලබාගත හැකිවනු ඇත.

ඉදින් ඔබේ දරුවා හෝ ඔබ දන්නා දෘෂ්‍ය ඌනතාවකින් පෙළෙන දරුවෙක් සිටී නම් පාසල වෙත යොමු කරන්න. එය දරුවාගේ අනාගතය ආලෝකවත් කිරීමට කරන මඟ පෑදීමක් වනු ඇත. කුඩා කාලයේදී විශේෂ අධ්‍යාපනයට දරුවා යොමු කිරීම දරුවාගේ අනාගතය අඳුරෙන් ආලෝකය වෙත යොමු කිරීමකි. මේ පිළිබඳව එවන් දරුවන්ගේ මවුපියන් ඇතුළු සමාජය දැනුවත් කිරීම, කියවන ඔබේ වගකීම සහ යුතුකම සේ සලකන්න.

[සත්‍යා නිර්මාණි]

මාතෘකා