ජනතා මතය නම් වූ හරි ලස්සන දේ

 ඡායාරූපය:

ජනතා මතය නම් වූ හරි ලස්සන දේ

"මේ රටේ අහිංසක බුද්ධිමත් ජනතාව” යන ඇමතුම දේශපාලන වේදිකාවල බහුල වශයෙන් අසන්නට ලැබේ. මේ වනාහී දෙකොනින් හිනා යන කියමනකි. ඊට හේතුව දේශකයා හරියටම නිලය අල්ලා ඇණ ගසන්නට සමතකු බව හා ඒ කතාවට හුරේ දමන්නට කැමති විශාල පිරිසක් සිටින බව පෙනීමය.

තමන් අහිංසක බවත් බුද්ධිමත් බවත් ප්‍රසිද්ධියේ කියනු ඇසීම එසේ නොවන අයට හිත හදා ගැනීමේ මඟකි. එනම් ආත්ම වංචාවට පාර කපා ගැනීමයි. පාර කපා දෙන්නා එය හරියටම කරයි. ගමන් කරන්නා එදාවේල කෑමේ ක්‍රමයක් නැතත් සතුටින් ගමන යයි. මෙසේ ඇන්දීමට ඉදිරිපත් වන්නා ජනතාවගේ තරම දත් කට්ට කෛරාටිකයෙකි.

ඇතැම් විට පල් හොරෙකි. ඝාතකයෙකි. එසේ නොවන අන්දන්නෝද සිටිති. තමන්ට අහිංසක, උගත් ලේබලය දුන් පුද්ගලයාට තම කැමැත්ත හෙවත් ඡන්දය ප්‍රකාශ කිරීම පෘතග්ජනයාගේ ගතියකි.

මේ ගැන උදාහරණ ඕනෑ තරම් ඇත. ඉන් එකක් දක්වමි.

වැරදි කරන්නාට දඬුවම් ලබාදීම පෙර සිටම පාලකයන් විසින් කරගෙන එනු ලබන්නකි. අතීතයෙහි බිහිසුණු අන්දමේ ශාරීරික දඬුවම් ලබාදීම සිදු කෙරිණ. වත්මනෙහි ලෝකයෙහි බොහෝ රටවල එවැනි ක්‍රම අනුගමනය නොකෙරේ. පවතින ක්‍රමයෙහි වරද නිසා වරදට පෙලඹීම සහ වැරැද්ද කළ අයට නිවැරදි වීමේ අවසථාවක් ලබාදීම ද ඇතැම් විට වරදකරු එළියේ සිටියදී නිවැරදිකරුට දඬුවම් ලැබීමද යන බොහෝ කරුණු ලොව ශිෂ්ට සමාජ ශාරීරික දඬුවම් ලබාදීම ප්‍රතික්ෂේප කරති. එහෙත් බහුතරයක් බෞද්ධයන් සිටින මෙරට එල්ලුම් ග්‍රහ ක්‍රියාත්මක කිරීම වැඩි දෙනා අනුමත කරති. ඒ බව දැයට කිරුළ ප්‍රදර්ශනයේදීද තහවුරු විය. පුවත්පත් හා සමාජ මාධ්‍යවලද පොදු මතය එසේය.

ජනවාරි 8 දේශපාලන පෙරළියෙන් වසර දෙකකට පසුද මේ මාතෘකාව ඇදී ආවේය. එයද ජනප්‍රිය විය.

හැබැයි ශිෂ්ටාචාරයේ ගමන් මඟ අනුව බැලූ විට කිසිම රටකට ආපසු ගමන් කිරීමේ හැකියාවක් නැත. එවිට ශිෂ්ට සමාජය විසින් කොන් කරනු ලබයි. ඒ අනුව ජනප්‍රියත්වය තකා ගෙනෙන ඇතැම් යෝජනා ක්‍රියාත්මක වීම වැලකෙයි.

මහජන මතය අනුව වැඩ කරන්නට යෑම සියදිවි හානි කර ගැනීමට දෙවැනි නැත. ඇත්තටම මහජනයාට මතයක් නැත. ඔවුන් පුනරුච්චාරණය කරන්නේ අනුන්ගේ මත ය. වත්මනෙහි අප රට අනුව නම් පූජකයන්ගේ සහ ජනමාධ්‍ය‍වල මතය ජන මතයයි.

අපගේ මේ සාකඡාවට අදාළ කරගත හැකි අපූරු ප්‍රකාශයක් උපුටා දක්වමි.

"ඉගෙනීමෙන් හා කාර්මික දැනුමෙන් අපට වඩා බොහෝ සෙයින් දියුණු එංගලන්තය, ජර්මනිය ආදී රටවල පවා මහජනයාගෙන් වැඩි කොටස අයත් වන්නේ උගත් පක්ෂයට නොව නූගත් පක්ෂයටය. නැණවත් පක්ෂයට නොව නැණ හීන පක්ෂයටය. එහෙයින් රටක සැබෑ දියුණුව සඳහා විසඳා ගත යුතු ප්‍රශ්නයක් නිරාකරණය කිරීමට මහජනයාට බාරදුනහොත්, ඒ පිළිබඳ තීරණය මහජනයාගෙන් ලබාගතහොත් එය විසඳිය යුතු විදියට නොවිසඳෙනවා ඇත.

එම විසඳීම මෝඩ විසඳීමක් වනවා ඇත. මහජනයාගෙන් වැඩි දෙනා මෝඩයන් බැවිනි. ප්‍රජාතන්ත්‍රවාදයෙන් කෙරෙන්නේ බැරෑරුම් ප්‍රශ්න සියල්ලම විසඳීම මහජනයාට බාර දීමකි. එසේ බාර දුන් විට ලැබෙන්නේ එම ප්‍රශ්නය පිළිබඳ මහජන මතය මිස ප්‍රශ්නය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ උපදෙසක් නොවේ."

අදිකාරම් මහතා පවසන යුරෝපීය රටවල තත්ත්වය එදාට වඩා අද තරමක් වෙනස්ය. එහෙත් එයින් ඔහුගේ තර්කය බිඳ නොවැටේ. අපගේ තර්කය පෝෂණය වේ.

යුරෝපෙත් එහෙම නම් මෙහෙ ගැන කවර කතාද?

“අහිංසක බුද්ධිමත් ජනතාව” තමන්ට නිවැරදි මාවතක් නැති නිසා මිථ්‍යා පසු පස ගාටන්නේ නම් පාලකයා මිථ්‍යාවට ආවඩයි. ආගම් පිස්සුවෙන් පෙළෙන්නේ නම් ඊට උඩ ගෙඩි දෙයි. රාජ්‍ය ධනයද වෙන් කරයි. මහජනයා තව තවත් හිඟමනට වැටෙයි. ඒ අතර තම කැමැත්ත හෙවත් ජනතා අභිලාෂය තේරුම්ගත් පාලකයාට රජකු යැයි සලකා වැඳ වැටෙයි. ජනමාධ්‍යද පූජකයෝද මේ කුණුවළ තව කුණු කරමින් තමන්ගේ පංගුව උදුරා ගනිති. බලං ගියාම ජනතා කැමැත්ත යනු හරි අරුමෝසම් දෙයකි.

මාතෘකා