යමං ගෙදර  අලත් පොලුත් ඇරං

 ඡායාරූපය:

යමං ගෙදර  අලත් පොලුත් ඇරං

අල, බල වැඩිල්ලටම හැදිච්ච භෝගයක් වෙච්චි කොට කලබල නොවී අල ගැන කියන්ඩ තවත් කතන්දර තියෙනවා. ඉස්සර අම්මලා බත් වෑංජන උයද්දි කට්ට හීතලේ ළිප්බොක්ක ගාව කොළොම්බක දැපල උයලා ඉවර වෙනකං කම්මැලිකමේ ඉද්දි අත නිකං තියාන ඉන්ඩ හිතුණම නෑ. ඉතිං මොකද කරන්නෙ, අම්මයෙ තරවටුව නොදැක්කා වාගේ කොස්ඇට කීපයක් ළිපට විසික්කා කරනවා පිළිස්සිලා පිපිරෙන්ඩ. එව්වා හරිම රහයි නෙව.

ඔය ළිපේම පුච්චගන්න කරෝල කෑල්ලකුයි, තක්කාලි ගෙඩියකුයි අඹරලා හදන ලුණුමිරිස ගැනත් මීට ඉස්සර කිව්වා මතකයි නේද? ආං ඒ වගේ දර ළිප කියන්නෙ හැලිවළං ළිප තියලා උයාගත්ත ඉවුම් මුල්ලම නෙවී හදිස්සියට කන්ඩ යමක් පුච්චාගන්ඩත් තැනක් වුණා.

ඉරුං කරලක් වුණත් දර ළිපේ පුච්චාගෙන ලුණු ඩිංගිත්තක් ඉහගත්තම රහ වැඩියි. ඒ විදියට ළිපේ පුච්චාගත්ත අල ජාති වුණේ බතලයි, මඤ්ඤොක්කයි. පුච්චලා වැඩියෙන් රහ බතල මයෙ හිතේ. ඔය අල ජාති දෙකනෙ අපිට වැඩිය සමීප. බතල තම්බලා කනවා විතරක් නෙවෙයි කිරට වෑංජනේ උයලත් පෙති කපල බැදලත් කන්ඩ පුළුවන්.

මං ඉන්දුනීසියාවෙදි දැක්කා එහේ වැස්සො අපිට වඩා බතල කනවා. අමු බතල සලාදත් කන්ඩ තියෙනවා. බතල පිටි වලින් හදාපු නොයෙක් කෑම ජාතිත්. බතල දාලා හදපුවම පස්තෑල වගේ කෑමත් අර්තාපල් දැම්මට වඩා රහයි ගුණයි. මතක තියාගන්ඩ බතල දළු මැල්ලුමත් බතට අගෙයි. අපේ ආතා කිව්වෙ රතු බතල සක්කර දෙයියො දුන්න කෑමක් කියලයි.

මඤ්ඤොක්කා නම් දෙයියො නෙවෙයි සුද්දො දුන්නා කිව්වත් වරදක් නෑ. ලෝකෙ පුරාම හුඟක් බඩවල් පුරවන මඤ්ඤොක්කා දැන් අපේම වෙලා. කොළවල නැට්ට රතු වර්ගෙට මැදගම පැත්තෙ උන්දැලා කියන්නෙ මැණික් අල කියලා. ඉතිං ආගන්තුක කවුරුහරි ගියාම මැණික් අල තම්බලා පොල් සම්බෝලයක් එක්ක කන්ඩ දෙනවා.

බඩල්කුඹුරෙ ලලනි එක්ක ගලබැද්දෙ ගියපුවාම කවදාවත් නොකෑ විදියට මඤ්ඤොක්කා කන්ඩ හම්බු වුණා අපිට. පත බේසමක් දුම්දාන කහ මඤ්ඤොක්කාවලින් පුරවලා තියාපු ඒ ගෙදර ඇත්තො අලුත්ම අලුත් කිතුල් පැණි කොතලයක් තිබ්බෙ අල කන්ඩ. එහේ එහෙමලු. මඤ්ඤොක්කයි කිතුල් පැණියි!

නොකන උන්දැලටත් කන්ඩ හිතෙන විදියට මඤ්ඤොක්කා කන්ඩ දෙන්නෙ අක්කරපත්තුවෙයි, පොතුවිලයි මරක්කල ඇත්තො. තම්බලා ආයෙ බැදලා ලුණුමිරිස් එව්වා මෙව්වා පදමට දාලා දෙන එහෙම කටගැස්මක් නෑ ආයෙ. දැන් ඒක තවත් ආලවට්ටම් වැටිලා කොත්තුවක් වෙලා තියෙන්නෙ. කාටහරි ගෙදරදිම වුණත් මඤ්ඤොක්කා කොත්තුවක් හදාගන්ඩ පුළුවන්. මඤ්ඤොක්කා පිටි කරගත්තනම් රොටී කන්ඩත් බැරි නෑ.

ඕං මෙහෙම කෑමක් හදමුකො. මුලින්ම මඤ්ඤොක්කා තම්බලා ඇතිලියකට දාලා පොඩි කරගන්ඩ. ඒකට කොච්චි, කරපිංච, ලූනු ලියලා එක්කහු කරගන්ඩ. දැන් බෝල කරලා, අල්ලෙ තලාගෙන පැතලි කරලා මැදින් හිලකුත් හදාන ගැඹුරෙ තෙලේ බැදගන්ඩ. එතකොට වඩේ ලෑස්තියි උණුවෙන් කන්ඩ. ඔය විදියටම තම්බපු අර්තාපල් බෝලත් බැදගන්ඩ පුලුවන්. මඤ්ඤොක්කා තුනියට පෙති කපාගෙන බැදගත්තම ගෙදරදිම කොයිකාට වුණත් පහසුවෙන් කටගැස්මක් හදාගන්ඩත් බැරුවයැ. මේ කොයිදේත් අතරෙ මඤ්ඤොක්කා කොළ ගැනත් අමතක කරන්නෙ කොහොමද? එව්වනම් රහ මැල්ලුමක් වෙන්නෙ තිබ්බටුයි කොච්චියි දාලා වනේ කොටලා ගත්තම.

අල ලෝකෙ රජෙක් වෙච්ච කිඩාරම් අලේ මලේ හැටියට නම් නෙවෙයි. කිඩාරම් කඳ සර්පයෙක් වගේ ටිකක් අමුතු පෙනුමක් තියෙන්නෙ. මේ අලේ ලොකු කරගන්න හැටි දන්න ගොයියො ගලවලා උඩ යට පෙරළලා ආයෙත් යට කරලා කළයක් තරම් ලොකු කරගන්නවා. කිරට උයලා නැත්තං තම්බලත් කන්ඩ පුළුවන් කිඩාරම් හරිම ගුණ කෑමක් කියලයි ආයුර්වේදය ගැන දන්න උදවිය කියන්නෙ. පොළක කඩපිලක හෙම දැක්කොත් නොගෙන ඉන්න එපා බොහෝම රහ කෑමක් වග ඉත්තේරුවෙන්ම කියන්ඩ පුළුවන්.

ඉඳහිට ඉරිදක පොළ පැත්තෙ කරක් ගහද්දි හිඟුරල, කුකුළල එහෙමත් මට නම් හම්බ වෙනවා. ඒ අල ජාති දෙකම තම්බලා පොල් එක්ක කන්ඩ වගේම තැම්බුණාට පස්සෙ ආයෙම කිරට උයන්ඩත් ගැලපෙනවා. කුකුළල කුරුට්ට ඩිංගක් තද හින්දා තම්බන්ඩ කළිං පිහියෙන් ඉරි ඇඳගත්තම කන්ඩ කලිං ගලවන්ඩ පහසුයි.

කිව්වොත් විශ්වාස කරනවද අපේ රටේ තියෙනවා කන්ඩ පුළුවන් අල ජාති අනූවකටත් වැඩිය. ඒත් ඒ හුඟක් ඒවා ගැන අපි දන්නෙ නෑ. ඉස්සර නම් ගොවි ගෙවල් සමහරක අල අටුවක් හරි අල බිස්සක් හරි තිබ්බෙ අල ගැන තිබිච්ච පාරම්පරික දැනුම් සම්භාරෙ හින්දම. කියන්ඩද කීපෙක නම් උඩල, ගහල, කටුවල, කටු කුකුළල, කහ අල, හිරිතල, ජාවා අල, කහට අගල, කිරි කොඩොල්, රතු කොඩොල්, කිරි වැල් අල, කිරිබරු අල, කොකිස් අල, සීරුවල්ලි, දන්දිල, හොඬල, ගොටු අල, පාත්තරා අල, සව්කෙන්ද, තිරිංගල එව්වයෙං සමහරක්. හැබැයි මේ හුඟක් එව්වා අපි දැකලවත් නෑ නේද?

මාතෘකා