රට පාලනයට මොඩලයක් අවශ්‍යයි

 ඡායාරූපය:

රට පාලනයට මොඩලයක් අවශ්‍යයි

මහාචාර්ය සී. එම්. මද්දුම බණ්ඩාර

සමාජයේ වෙසෙන අන් අය වෙනුවෙන් තීන්දු ගන්නා අයට අවම බුද්ධි මට්ටමක්වත් පවතින්නේද යන්න පිළිබඳ ඔබ කිසියම් දිනක හෝ කල්පනා කර ඇත්ද? මේ පිළිබඳ කතාබහක් අැතිවූෙය් මහාචාර්ය සී. එම්. මද්දුම බණ්ඩාර මහතා විසින් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාල සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පිඨ ශ්‍රවණාගාරයේදී පසුගියදා (11) ග්‍රන්ථයක් දොරට වැඩීමේ අවස්ථාවකට වූ කළ ෙදසුමකිනි.

‘‘අතීත රජ දවසේ ඓතිහාසික ග්‍රන්ථයක් රචනා වුණා නම් එය එළි දැක්වීම සඳහා ඇතෙකු පිට තබා පෙරහැරින් ගෙන යන තරම් පූජනීය උත්සවයක් වුණා. ඒ තරමටම අතීත සමාජය බුද්ධියට ගරු කරපු සමාජයක්. මිහින්තලා ඉතිහාසය පටන්ගන්නේම රජතුමාටත් බුද්ධි පරීක්ෂණයක් ලබාදුන් කතාවකින්. එනම් අඹ පැනයෙන් මිහිඳු මහ රහතන් වහන්සේ තිස්ස රජුට ගැඹුරු ධර්මය අවබෝධ කරගැනීමට තරම් බුද්ධියක් ඇති බව තේරුම් ගැනීමයි .

“අපේ එදා හිටපු රජ දරුවන් මූලිකවම බුද්ධියෙන් පිරිපුන් අය.

එසේ බුද්ධිය නැති අය වැඩි දවස් හිටියේ නැහැ. සමහර අය එක දවසයි හිටියේ. අද තියෙන ඉහළම පාලන ආයතනය වන ව්‍යවස්ථාදාකයේ අයට බුද්ධි පරීක්ෂණයක් පැවැත්වුවහොත් 225 දෙනාගෙන් කී දෙනෙක් සාමාර්ථ වේද? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඉතා උතුම් ධර්මයක්. “ඔබ දැක ඇති දළදා මාළිගාවේ නාථ දේවාලයේ ඉස්සරහ තියෙන අභිෂේක මණ්ඩපය. බොහෝ දෙනාට මේ ගැන වැඩි අවබෝධයක් නෑ. අලුතින් රජ කෙනෙක් පත්වුණාම එතැනයි අභිෂේක මංගල්ලය පවත්වන්නේ. එතැනදී තමයි රජුට රන් කඩුව පළඳා රාජ්‍ය බලය ලබා දෙන්නේ. මෞලි මංගල්ලය පවත්වන්නේ එතැනදී. අපි අපේ මුතුන් මිත්තන්ගෙන් අහලා තියෙනවා රාජ්‍යත්වයට පත්වන පුද්ගලයන් පවා අන්තිම සතියේ කොහේ ගියාදැයි සොයාගන්න බැරිව අතුරුදහන්වෙනවා කියලා.

“අතුරුදහන්වීම කියලා සිද්ධවෙලා තියෙන්නේ නාථ දේවාලය තුළ සිත තැන්පත් කරගැනීමේ ගැඹුරු භාවනා අභ්‍යාස ඉගෙන ගැනීම. ඒ හික්මීම ලබාගත් පසුවයි රජු එළියට යන්නේ. අපි මිහින්තලා ඉතිහාසයෙන් ගත යුතු එක් පණිවුඩයක් තියෙනවා. එනම් අනුන්ගේ ජීවිත වෙනුවෙන් තීන්දු තීරණ ගන්න සියලු දෙනා අවම බුද්ධි මට්ටමකවත් සිටිය යුතුයි කියන එක. ඒ බව මේ රටට ඇහෙන්න කිව යුතු කාලය ඇවිත් කියලයි මම හිතන්නේ. “මිහින්තලේ භූමිය අපේ සංස්කෘතියේ උත්පත්තිය පමණක් නොවෙයි, මේ රටේ රාජ්‍ය තන්ත්‍රය කළ යුත්තේ කෙසේද යන්න ගැන සටහන් ලියැවුණ තැන. අධිකරණ ක්‍රියාවලිය හා රාජ්‍ය පාලනය සංවිධානය විය යුත්තේ කෙසේද යන්න පවා වේවැල්කැටිය සෙල්ලිපියේ සඳහන් වෙනවා. පොකුරුගම් වශයෙන්, සත් ගම් වශයෙන්, සංවිධාන ව්‍යුහයන් පවා තිබුණා. ලංකාවේ තිබුණේ එහෙම රාජ්‍ය තන්ත්‍රයක්.

“අනුරාධපුරයට ආව පළමුවැනි සුදු දිසාපතිවරයා වාර්තාවල පැහැදිලිව සඳහන් කර තිබෙනවා, ‘අවුරුදු තුනක් මම දිසාපති හැටියට සියලු බලතල සහිතව මෙහෙ හිටියා. ඒත් එකම දවසකවත් සාහසික ක්‍රියාවක් ගැන වාර්තා වුණේ නෑ. පොසොන් උත්සවයට මගේ කාර්යාලය අවට සිය දහස් ගණන් ජනතාව රැස්වෙලා ලැගුම්ගත්තා. රාත්‍රී වැස්සට දිසාපතිගේ බංගලාවෙත් එළියේ මිනිස්සු රැස්වෙනවා. ඉස්තෝප්පුවේ, කච්චේරියේ සල්ලි පෙවට්ටිය තියා තිබෙනවා. දෙතුන් දෙනකුට ඕනෑ නම් ඒක ගෙනියන්න හැකියි. ඒත් ඒ මිනිසුන් ශතයක්වත් හොරකම් කරන්නේ නෑ’ කියලා.

“ලෝකයේ කොහෙද එහෙම සමාජයක්. සුද්දන් එන විට අපි එහෙම සමාජයක් තමයි ඉතුරු කරලා තිබුණේ. එක් අතකින් අපි උඩරට රාජ්‍යයේ අණසකට කෙලින්ම යටත් වුණේ නෑ. මේ පළාත්වල ප්‍රධානීන් රජවරුන් වගේ හිටියේ. ඔවුන් සාමාන්තවරුන්. ඒ අය රට පාලනය කළේ මූලික රාජ ධර්මවලට අනුව.

“ඒ නිසා අනාගතයටවත් මේ රට පාලනය කිරීමට මොඩලයක් හදාගන්නට ක්‍රමයක් හිතන්න අවශ්‍යයි. අපේ රට පාලනය කළ දේවානම්පියතිස්ස රජුගේ සිට අවසාන රජ්ජුරුවෝ දක්වා ගිහින්, අවසාන ජනාධිපතිතුමා ළඟටත් ඇවිදින් එතැනින් රාජ්‍ය තන්ත්‍රය නැවතිලා. මොකක්වත් කරගන්න විදියක් නැතිව හිරවෙලා. මේක ව්‍යවස්ථා ප්‍රශ්නයක් නෙවෙයි. දේශපාලන ප්‍රශ්නයකුත් නෙවෙයි. මෙතන තිබෙන්නේ සංස්කෘතියේ ප්‍රශ්නයක්. සංස්කෘතියේ ප්‍රශ්නයට උත්තර දෙනතුරු මේ වගේ ප්‍රශ්න පැමිණෙන එක වළක්වන්න බෑ. සංස්කෘතියේ ප්‍රශ්න අර දෙකටම වඩා බරපතළයි. ඒක පාසල් යන කුඩා දරුවගේ සිට මතුවනවා. ඒ නිසා මිහින්තලේ ගැන ලියැවුණ කෘතියකින් අපට සංස්කෘතියේ වැරදුණු තැන් පරීක්ෂා කර බැලිය හැකියි.” යනුවෙන් හාචාර්යවරයා ප්‍රකාශ කළේය. රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කෞතුකාගාර හා කැණීම් නිලධාරී ගාමිණී සමරනායක යන මහත්වරුන් විසින් රචිත ‘හෙළ හැදියාවේ බිහිදොර - මිහින්තලාව’ පොත එදින දොරට වඩනු ලැබීය. දීර්ඝ කාලීන විමර්ශනයකින් පසු මෙම කර්තෘවරුන් විසින් රචිත එම ග්‍රන්ථය මිහින්තලේ ගැන වර්තමානයේ ලියැවුණු අංගසම්පූර්ණ ග්‍රන්ථයක් ලෙස සැලකේ.

මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ අනුශානා පරිදි, රජරට විශ්ව විද්‍යාලයේ සමාජවිද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පිඨාධිපති මහාචාර්ය චන්දන රෝහණ විතානාච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම දොරට වැඩුමේ ප්‍රධාන දේශනය සිදු කරනු ලැබුවේ එම විශ්වවිද්‍යාලයේම මහාචාර්ය තුසිත මැන්දිස් මහතා විසිනි.

සටහන - [සරත් මනුල වික්‍රම]

මාතෘකා