අර්ථ ගන්වමින් උදාවූ හම්බන්තොට 'සදාවීර කැප්පෙටිපොලගම'

 ඡායාරූපය:

අර්ථ ගන්වමින් උදාවූ හම්බන්තොට 'සදාවීර කැප්පෙටිපොලගම'

ජාතික නිවාස වැඩසටහන

සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හබරත්තවල උදාවූ 147 වන ආදර්ශ ගම්මානය වන ‘සදාවීර කැප්පෙටිපොලගම’ ජනවාරි මස 05 දින නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ෙප්‍ර්මදාස මහතා විසින් නිවාසලාභීන්ගේ අයිතියට පත් කිරීම සිදු කෙරේ.

ජාතියේ සුරක්ෂිතභාවය වෙනුවෙන් දිවිපිදූ විරුවන් අතරින් මුල් තැනක් ගන්නා අයෙකු ලෙසින් සැලකෙන කැප්පෙටිපොල අදිකාරම් තුමා, එදා ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ දන්ත ධාතූන් වහන්සේගේ දියවඩන නිළමේ තනතුර දැරූ ගොලහැල නිළමේ කැප්පෙටිපොල අදිකාරම්ගේ පියාණන් වේ. ඔහුගේ මව උඩුගොඩ ග්‍රාමයේ උපන් මොණරවිල නමින් වූ කුල කාන්තාවකි. පවුලේ ජ්‍යෙෂ්ඨ දරුවා වූ කැප්පෙටිපොල අදිකාරම්ට බාල සොහොයුරු සොහොයුරියන් සිටි අතර, එදා බෝගම්බර පිටියේදි සිය ජිවිතය පූජා කළ ඇහැලේපොළ කුමාරිහාමි කැප්පෙටිපොල නිලමේතුමන්ගේ දයාබර නැගණියයි. කැප්පෙටිපොල අදිකාරම්තුමා නිලමේ නාමයෙන් ඔහුගේ සම්පූර්ණ පාරම්පරික නාමය රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොණරවිල කැප්පෙටිපොල නම් විය. 1815 උඩරට ගිවිසුම අත්සන් තැබූ අදිකාරම්වරුන් 11 දෙනා අතුරින් එක් අයෙකු ලෙසින් කැප්පෙටිපොල අදිකාරම්තුමා හඳුන්වා දිය හැකි වේ.

1818 ඌවේ කැරැල්ලට නායකත්වය ලබාදීම තුළින් ඉංග්‍රීසි පාලනයේ උදහසට මොහු යොමු විය. කන්ද උඩරට රාජ්‍යය ඉංග්‍රීසින්ගෙන් මුදවාගෙන එය නැවත දේශීය ආධිපත්‍යය යටතට බඳවාගෙන කැප්පෙටිපොල අදිකාරම්තුමා මුල් තැනක් ගෙන සටන් ක ෙළ්ය.

ඌවේ කැරැල්ල දැඩි ලෙසින් පැවති අවස්ථාවේදී කැප්පෙටිපොල අදිකාරම් ඇතුළු එම සටනට පුරෝගාමී වු සියලු සිංහල රණවිරු නායකයින්ගේ දේපල බ්‍රිතාන්‍ය රාජසන්තක කළ අතර, කැප්පෙටිපොල අදිකාරම්තුමන් ඇතුළු සෙසු රණවිරුවන්ගේ පවුල්වල නෑ හිතවතුන්ද ජීවිතක්ෂයට පත්කරන ලදි.

ඌවේ කැරැල්ලේදී ඉංග්‍රීසි පාලකයින් විසින් දේශද්‍රෝහියෙකු ලෙසින් නම් කරනු ලැබූ කැප්පෙටිපොල අදිකාරම්ට එෙරහිව ඉංග්‍රීසි මහාධිකරණයේ නඩු ඇසීම සිදු කළ අතර, 1818 නොවැම්බර් මස 02 එම නඩු කටයුත්ත ආරම්භ වී 1818 නොවැම්බර් මස 26 දින අධිකරණ තීරණය ලබාදී ඉංග්‍රීසි ජාතීන්ට විරුද්ධව කුමන්ත්‍රණ කිරීමේ චෝදනාව මත කැප්පෙටිපොල අදිකාරම්ගේ හිස ගසා මරා දැමීම සිදුකරන ලදි.

කැප්පෙටිපොල රණවිරුවාගේ ජාතික මෙහෙවරට උපහාරයක් ලෙස නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙසින් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හබරත්තවල ග්‍රාමයේ ඉදි වූ මෙම නව ගම්පියස සදාවීර කැප්පෙටිපොල ගම නමින් නම් විය.

147 වන ආදර්ශ ගම්මානය ලෙසින් මෙම නව ගම්මානය, ආදර්ශ ගම්මාන ක්‍රියාදාමයට එක්වේ. 2015 වසරින් ආරම්භ වූ මෙම නව ආදර්ශ ගම්මාන ක්‍රියාවලිය යටතේ මේ වන විට මෙවන් වූ නව ආදර්ශ ගම්මාන 1500කට අධික ප්‍රමාණයක ඉදිකිරීම් කාර්යයන් දිවයින පුරා සිදුවෙමින් පවතී. ඉතාමත් සැලසුම්ගත හා ඉලක්කගත සංවර්ධන ක්‍රියාදාමයක් ලෙසින් ක්‍රියාත්මක සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනේ සැබෑ විශේෂත්වය වනුයේ මෙම ජනාවාස සංවර්ධන ක්‍රියාදාමය සතු නිශ්චිත ආරම්භය හා ඉලක්කගත නිමාවයි. ඉදිවන මේ සෑම ආදර්ශ ගම්මානයක්ම අදාළ ප්‍රදේශයේ නිවාස නොමැති සැබෑ නිවාස අවශ්‍යතාවක් පවත්නා නිවාසලාභී ඉල්ලුමක් සපුරාලීම උදෙසා ක්‍රියාත්මක කරන සංවර්ධන ක්‍රියාවලියකි. එහිදී රජය විසින් නිවාස නොමැති මෙම ජන කොටස සඳහා අවශ්‍ය ඉඩම් කොටස් හඳුනා ගැනීම සිදුකරන අතර, ඉන් අනතුරුව රජය පිළිගත් ක්‍රියාපටිපාටියක් යටතේ මෙම නිවාසලාභීන් සඳහා අදාළ ඉඩම් කොටස් ලබාදීම සිදු කෙරේ.

මාර්ග, ජලය හා විදුලිය වැනි මූලික පහසුකම්වලින් සමන්විත වන අයුරින් සකස් වන මේ සියලු ආදර්ශ ගම්මාන නිවාස සංවර්ධනය මුල්කොට ගත් සෙසු සියලු සංවර්ධන කාර්යයන් සමඟින් සංයුක්ත වූ ඒකාබද්ධ සංවර්ධන ක්‍රියාවලියක් ලෙසින් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව නිවාසයන්හි හිමිකරුවන් සියලු දෙනාගේ සමාජීය, ආර්ථික ගැටළු සඳහාද විසඳුම් ලබාදෙමින් ඔවුන්ගේ ජන ජීවිතය නගා සිටුවීමේ වැඩපිලිවෙළක්ද මෙම ජනාවාස සංවර්ධන වැඩපිළිවෙල තුළින් ක්‍රියාත්මක කෙරේ. ඒ හේතුවෙන් සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහනට නිවාස හා ජනාවාස ක්‍ෂේත්‍රයේ මෙන්ම සමාජීය හා ආර්ථික සංවර්ධන කාර්යයන්හි නියුතු රාජ්‍ය ආයතනික හා සංවිධාන දායකත්වය නොමඳව හිමි වී තිබේ. එයින් බලන කල මෙම ආදර්ශ ගම්මාන ක්‍රියාවලිය ජන අපේක්ෂාවන් ඉටුකරන ප්‍රමුඛතම සංවර්ධන වැඩපිලිවෙළක් ලෙසින් හඳුන්වා දිය හැකිය. ඒ හේතුවෙන්ම එය වඩාත් වේගයෙන් සමාජගත වී ඇත.

නිවහන ජන සමාජයේ මූලික අවශ්‍යතාවකි. සමාජය සවිමත් කරන පවුල් ඒකකයේ ශක්තිය රඳා පවතින්නේ සොඳුරු නිවහනක් තුළය. එය පවුලේ අවශ්‍යතාවට අනුකූලව නිර්මාණය වීම සැබෑ පවුල් දිවියේ සාර්ථකත්වයට හේතු වේ. සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන මෙය වඩාත් නිවැරදිව තේරුම් ගෙන තිබේ. පවුලේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් නිවාස සංවර්ධන ක්‍රියාවලියේ ක්‍රියාකාරිත්වය එයට හේතුවයි. එහි ප්‍රමුඛතම බලාපොරොත්තුව වනුයේ 2025 වසරේදී මෙරට ජිවත්වන සෑම පවුලකටම නිවහනක හිමිකම ලබාදීමයි.

[ලක්විජය සාගර පලන්සූරිය]

මාතෘකා