ක්ෂීර පුරාණය

 ඡායාරූපය:

ක්ෂීර පුරාණය

“කීර්යෝජාස්කර පුන්සම්”

මිනිසාගේ ජීවාත්මය වඩන්නේ ක්ෂීරයයි

(චරක සූත්‍රධන් 27- 215)

ජනවාරි පළමු දින බොහෝ නිවෙස්වල හා කාර්යාලවල පුරුද්දක් වශයෙන් කිරි ඉතිරවීම කෙරේ. එහෙත් අතැමෙකු සංස්කෘතික චර්යාවක් වශයෙන් එදෙස බලන්නේ අවඥාසහගත බැල්මකිනි. කිරි හෙවත් ක්ෂීරය සහ සුබ හෙවත් සෞභාග්‍යවත් බව අතර සබැඳියාව වානරයා මානවයකු වීමේ අතීතය තරම්ම පැරණි සංකල්පයකි. එහෙයින් එහි දිගුවක් වශයෙන් අනුගමනය කරනු ලබන ඉහතාකාරයේ සංස්කෘත්‍රික චර්යාවන් කෙරෙහි අප තරමක් මැදහත් සිතින් බැලිය යුතු බව මගේ හැඟීමයි.

සත්‍ය වශයෙන් කිරි යනු සංස්කෘතික නිෂ්පාදනයකි. එය මානව සංහතිය විසින් කළ දරාගැනීම්, විඳවීම් මෙන්ම ජයග්‍රහණවලද පැතිකඩකි. අතීතය තුළ කිරි පිළිබඳ මානව සවිඥානිකත්වය වර්ධනය වූයේ කෙලෙසද යන්න ගැන සොයා බැලීම මානව පරිණාමය පිළිබඳ සොයා බැලීම තරම්ම සිත් ඇදගන්නාසුලු දෙයකි. සැබවින්ම ක්ෂීරපායින් වන අප වර්ගයාගේ ආදිතමයාගේ සිට අප යැපුණේ ක්ෂීරය ආහාරයට ගෙනය.

මෙම මායාවී දියරය පිළිබඳ මිථ්‍යාවේදය, රසායන විද්‍යාව සහ විශ්වවේදය, දර්ශනය, ‍වෛද්‍ය විද්‍යාව, ආගම, යනාදී මෙම කුමන ක්ෂේත්‍රයක් ගත්තද පැවසීමට යමක් එහි ඇත. පුරාණ ශිෂ්ටාචාර ගොඩනැඟීම සඳහා එය පදනම් ගලක් සේ ක්‍රියා කළ බව ගෝලීය ශිෂ්ටාචාර ගැන අවලෝකනය කරන විට පෙනී යයි. ඊජිප්තු පුරාණ අක්ෂරකරණය තුළ ක්ෂීරය සඳහා භාවිත සංකේතය ‘නිපදවීම’ යන ක්‍රියා පදය හා බෙහෙවින් සම විය.

ක්ෂීරය යනු කාලය ආරම්භයේ සිටම මානව චින්තනය තුළ පැවති සෞභාග්‍ය යන අර්ථය ඉක්මවා ගිය සංකල්පයකි. බොහෝ මැවීම පිළිබඳ මිථ්‍යා කතාවලින් එහි ඇති ඉතා දුලබ බව සහ වි‍ශේෂත්වය මතුකොට දක්වා ඇත. බටහිර අප්‍රිකාවේ එන මිථ්‍යා කතාවකට අනුව ලෝකය මැවුණේ එක් කිරි බිඳුවකිනි. නෝර්වේනියානු මිථ්‍යා කතාවකද මුතුන්මිත්තන් පෝෂණය කළ එළදෙනක් පිළිබඳ සඳහන් වෙයි. ග්‍රීක මිථ්‍යාවේදය අනුව හෙරක්ලීස් නම් විරුවා කුඩා කල හේරා නම් දේව රැජින නිදන මොහොතක ඇයගෙන් කිරි උරාබිව් බව සඳහන් වෙයි. එවිට හේරා අවදිව වහා තම පියොවුර ඉවතට ගනිත්ම ක්ෂීර බිඳු විසිරේ. දෙව්ලොව විසිරුණු එම ක්ෂීර බිඳුවලින් තරු උපන් බවද, පොළවට විසිරුණු ක්ෂීර බිඳුවලින් උපුල් මල් හටගත් බවද ග්‍රීක මිථ්‍යාවේදය දක්වයි.

හින්දු මිථ්‍යාවේදය අනුව විෂ්ණු දිව්‍යාරාජයා සාගරය මැදට ගොස් ඉදිබුවෙකුගේ වෙස් ගෙන ඔහු මත මහාමේරුව සිටුවා වාසුතී නාගයා ඒ වටා දරණ ගස්වා සුරයන් සහ අසුරයන් ලවා නාගයාගේ හිස සහ වලිගය අද්දවා කිරි සයුර කැලඹුවේය. එයින් ලක්ෂ්මිය නෙලුම් මලක් එක් අතකින්ද අනික් අතින් අමෘතයද ගෙන පැමිණියාය. ඉන්පසුව පැමිණියේ සුරබිදෙනය. ඇය සෞභාග්‍යයේ සංකේතයයි. ක්ෂීර සාගරය කැලඹීමේ ක්‍රියාවලිය ගිතෙල් සෑදීමේ ක්‍රියාවලියට අනුරූපය, කැටිගැසුණු කිරෙන් ඉර, සඳ, තාරකා හටගත් බව වේදය කියයි.

පුරාණ ආගම්වල එන මෙබඳු කතාංග සහ සංකේත හරහා නිරූපණය වන්නේ ක්ෂීරය සඳහා පැවති විශ්වීය කැමැත්ත සහ එම සංස්කෘති තුළ එයට දැක්වූ ගරුත්වයයි. සැබවින්ම පුරාණ ආගමික සංස්කෘති තුළ ක්ෂීරය මඟින් හැඟවූයේ උන්තිතිය, නැවත පූරණය සහ සඵලතාවයි. එහෙයින් නිවසක හෝ රැකියා ස්ථානයක නව වසරේ කිරි ඉතිරවීමේ අපේක්ෂා හරහාද නැවත අර්ථකථනය වන්නේ එවැනි චර්යාත්මක අනුරූපතාවකි.

ක්ෂීරය අමෘතය හා සම විය. අමෘතය දීර්ඝායුෂ වැඩූ දිව්‍යමය පානයයි. ඒ සම වූ ක්ෂීරයද පෘථග්ජන මනුෂ්‍යයා දිව්‍යමයභාවයට ඔසවා තබන ලද පානයයි. මධුර රසැති, මේදයෙන් පූර්ණ, දිරවීමට පහසු ක්ෂීරය මානවයා ශාන්තභාවයට පත්කරන සහ උද්යෝගිමත් කරනසුලු දිව්‍යමය දියර ආහාරයකි. ආසියාතිකයින් ප්‍රධාන වශයෙන් මෙම ක්ෂීරමය ආහාරය ලබාගන්නේ ගවයාගෙනි. ගව ක්ෂීරය දුබල ඔත්පළ ගිලනුන් ජවසම්පන්න කිරීමටත්, පුරුෂයින් තුළ ඕජෝගුණය වඩා ඔවුනගේ පවුල් සුඛිත මුදිත කොට ශිෂ්ට සමාජය තුළ වඩා ගෞරවාන්විත කරන බවටත් පුරාණ වේද ග්‍රන්ථවල සඳහන්ය. බ්‍රහ්මගේ නිමැවුමක් වූ ගවයාට වන්දනය කිරීමෙන් ධර්ම, අර්ථ, කාම සහ මොක්ෂ යන සතර පුරුෂාර්ථ ළඟාකාරගත හැකි බව පුරාණ වේදයඋගන්වයි. එහෙයින් බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන -ත්‍රීමූර්තිය “පව සිඳින්නානෙනි! සුරයන්ගේ මාතෘ නුඹය. යඤ්ඤයට හේතුව නුඹය. පූජනීය තීර්තයන් අතරින් නුඹ වඩාත් ශ්‍රේෂඨය, මම නුඹ නමදිමි.” යනුවෙන් ගවයා වන්දනයට ලක්කරන්නේ එම ගවයා මුල්කොට ලැබෙන කෂීරයෙහි ඇති සුවිශේෂීතාව නිසාය.

සංස්කෘතියක් එහි පුළුල් අර්ථයෙන් ගත් කල යම් කණ්ඩායමක සිටින සමාජිකයින් විසින් බෙදාහදාගන්නා විශ්වාස, තොරතුරු සහ තාක්ෂණ ඥාන පද්ධතියක් ලෙස හැඳින්විය හැකිය. මානව පරිණාමයේ දිගුකාලීන අතීතය දෙස බලද්දී සංස්කෘතියක් යනු යම් උරුම පද්ධතියක් වශයෙන් හැඳින්විය හැකි බව පරිණාමය පිළිබඳ ජාන විද්‍යාඥයන් විසින්ද පෙන්වා දී ඇත.

එහෙයින් අප කිරි ඉතිරවීම වැනි සංස්කෘති චර්යාවක් කෙරෙහි නිග්‍රහ කරන්නේනම්, අප විසින් නිග්‍රහ කරනු ලබන්නේ අපගේ අතීතයටම බව අප දැන ගත යුතුය.

මාතෘකා