වැටුණු අයට පා නොම දී සුරත දෙන්න පුතුනේ...

 ඡායාරූපය:

වැටුණු අයට පා නොම දී සුරත දෙන්න පුතුනේ...

“ඔවුන්ට නගරය විනාශ කළ හැකිය. නමුත් නගරය අපට උගන්වා ඇති දේවල් සියල්ල විනාශ කිරීමට ඔවුන්ට නොහැකිය.”

භෞතිකවාදී සමාජය තුළ ගොඩනැඟූ බොහෝ දේ එම සමාජය විසින්ම බිඳහෙළා විනාශ කරන අවස්ථා කොතෙකුත්ය. බර්ලින් තාප්පයේ පටන්, මිනිසා විසින් ගොඩනැඟූ සියලු දේ මිනිසා විසින් බිඳ දමමින් තිබේ. ලොව පුරා සිවිල් යුධ සංහාරයන්, සියල්ල දුහුවිල්ලක් බවට පත්කර තිබේ. කොතෙකුත් භෞතික පරිසර හානියට පත් කළද, දැනුම හානියට පත් කිරීමට කිසිවකුටත් නොහැකිව තිබේ.

දැනුම යනු කුමක්ද? යුදෙව්වන්ගේ ජුවිස් දහමට අනුව දැනුම කිසිවකුට විනාශ කළ නොහැකිය. එදිනෙදා අභියෝගවලට මුහුණදෙමින් ජීවත් වීමට උදවු කරන්නේ මිනිසා සතු දැනුමය. දැනුම බුද්ධියේද, සමාජ සන්තතියේ ගලා යාමෙන්ද අවබෝධ කර ගන්නා සත්‍යයේ සම්මතයකි. එය කාලයට සමානුපාතිකය. අක්‍රාවේ අත් පිටපත් අනුව උගත් යනු දැනුම නොවේ. එය පොතපතෙන් ඉගෙනගත නොහැකිය.

“පොතපතින් උගත් දෙයින් කරන්නේ, සිදු වුයේ කුමක්ද, සිදු වන්නට ඇත්තේ කුමක්ද? යන්න පිළිබඳ නිරර්ථක වාද විවාදවලට උල්පන්දම් දීමය. දැනුම යනු නිර්මාණයකි. දැනුම තිබෙන්නේ හොඳ හිත ඇති ගැහැනු මිනිස්සුන්ගේ හදවත්වලය.” ඒ සඳහා සමාජ සබඳතා මනා ලෙස අවබෝධ කරගැනීම අතිශය වැදගත්ය.

අවබෝධාත්මක සමාජයක් නිර්මාණය වීමට දැනුම අත්‍යවශ්‍යය. එසේ විය හැක්කේ දකිනවාට වඩා නිරීක්ෂණයෙනි. ලෝකයේ පැවැත්ම නිරීක්ෂණයයි. නිරීක්ෂණයේ සාර්ථකත්වය රඳා පවතින්නේ පෙර තමා විසින් එකතු කරගත් අත්දැකීමේ වපසරිය අනුවය. එදිනෙදා ඔබට හමුවන මිනිසුන් නිරීක්ෂණය කර නිගමනවලට පොලඹවන්නේ අත්දැකීමයි. පොදු ප්‍රවාහනයේදීද, කාර්යාල තුළ දකින්නන් කෙරෙහිද නිගමන ඇතිකරන්නේ මෙම සන්නිවේදනයේ ප්‍රතිඵලයයි.

සමාජීය නිරීක්ෂණය තුළ කලාකරුවා ඇති කරගන්නා කම්පනය මඟින් ඔහු තම නිර්මාණ තුළ ප්‍රස්තුතය සොයා ගනියි. ඉන් උපදින නිර්මාණය මූර්තියක්, සිතුවමක්, ගීතයක්, සංගීතයක්, සංකල්පනාවක් ආදී කුමන ආකාරයක වුවද ඉන් ප්‍රකාශිත වන්නේ කලාකරුවාගේ සංවේදනාවයි. ශ්‍රව්‍ය සහ දෘශ්‍ය ලෙස ග්‍රහණය කරගන්නා මෙම අත්දැකීමේ ප්‍රබලත්වයෙන් සියයට අසුවක් පමණ බල පැවැත්වෙන්නේ දැකීම මතය. ඇස හමුවේ දකින දේ පිළිබඳ මේ මොහොතේ කියවන ඔබ තුළද පරිකල්පනයක් තිබේ. දකින අක්ෂරයන් මත ගොඩනැඟෙන වචන සංකේතයන් ලෙස පරිකල්පනයන් ඇති කරයි. ඔබ අධිවේගී මාර්ගයේ ගාල්ලට ගොස් ඇත්නම් කොළ පැහැයේ ප්‍රභේද සහ හැඩතල කොතරම් ඔබ දැක තිබේද? එකම වර්ණයක එතරම් ප්‍රභේද ඇත්දැයි ඔබ නොසිතන්නට ඇත. දැකීමේ පරිකල්පනය එතරම් ප්‍රබලය. එනයින් බලන කල දෑස් පෙනෙන සියල්ලෝ දැනුමෙන් පොෂිත විය යුතුය. එසේ නොවන්නේ ඔවුන් බහුතරය සැබෑ නිරීක්ෂකයන් නොවන බැවිනි.

දෑස් නොපෙනුණු නිර්මාණවේදියකු ලෙස හෙන්රි කල්දේරා තමන් නොදුටු පරිකල්පනීය ලෝකය ගීතය තුළ විග්‍රහ කරමින්, ස්වකීය ජීවන අත්දැකීම් නිර්මාණ බවට පත් කළ ශිල්පියෙකි. ඔහු තම අත්දැකීමෙන් සමාජය තුළ රසිකයාගේ හදවත් තෙත් කළේය. ඉතා අසීරුවෙන් දිගු කාලයක් ගොඩනඟාගත් ගීත ලැයිස්තුවක් ඔහු සතු අමිල වස්තුව බවට පත්වී තිබිණි.

සාධාරණ යැයි සම්මත සමාජය, හෙන්රිට වේදිකාවල ගී ගැයීමට ආරාධනා කරමින්, ගී ගැයූ පසු මුදල් නොගෙවා සැඟව ගියේය. ඇතැමකු අඩු වටිනාකම් ඇති කොළවලින් මිටි බැඳ අඩු මුදලක් ඔහු වෙනුවෙන් ගෙවූවේය. විටක බස්නැවතුම්වල රැඳී සිටියදී, මුදල් පසුම්බිය කොල්ල කෑවේය. හැබැවින්ම දෑස් පෙනෙන මිනිසුන් හෙන්රි කල්දේරා රැවටූ අවස්ථා බොහෝය. එහෙත් දෑස් නොපෙනෙන්නකුගේ සිහින දැකීම සහ සිහිනය පරිකල්පනය සමඟ බැඳීම, හෙන්රි තම ජීවිතය ගී ආකෘතීන් බවට පත් කරගත්තේය. ඔහු ගයන විට නැඟෙන හඬ දුකද, සතුටදැයි කිසිවකුට තේරුම් ගත නොහැකි විය. එබැවින් එම හඬ අනුකරණය කළ නොහැකි අමුතුම මාදිලියේ කටහඬක් යැයි බොහෝ අය පැවසූහ. තමන් අත්විඳි ශෝකාන්තය; ගීතය තුළ නාටකීය කර ගනිමින්, දෑස් නොපෙනීමෙන් අහිමි වූ ලෝකයට උරණ නොවෙමින්, කටහඬ මඟින් එය ගැයීය.

සීදුව අඳ ගොළු බිහිරි පාසල නිසාම අන්ධ ජනතාව ඒ අවට බොහෝ සෙයින් පදිංචිව සිටියහ. මාසේ දෙක කුලී ප්‍රමාද වුවහොත් ඇස් ඇති, හදවත අන්ධ මිනිස්සු ඔවුන්ව නිවාසවලින් එළියට ඇද දැමූහ. ට්‍රන්කා පෙට්ටියක ඇඳුම්ද හට්ටි මුට්ටි ටික ගෝනියකද දමා කුඩා ගුවන්විදුලිය අතකට රැගෙන කුලී නිවාස සොයා යන අන්ධ පවුල් සීදුව ආශ්‍රිතව සුලබ දසුනක් වුයේ එබැවිනි.

රද්දොළුවේ බොරලු කඳු සහිත ඉඩමක, උස සිමෙන්ති පඩිපෙළින් යුතු කුඩා කුලී නිවසක හෙන්රි කල්දේරා පදිංචිව සිටියේය. අන් අයට මෙන්ම හෙන්රිටද ගෙවල් කුලී ගෙවා ගැනීම අර්බුදයක් වූයේ ලැබෙන අදායම සොච්චමක් වූ බැවිනි. ගෙවල් හිමිකරුට ඔහුව එළවා ගැනීමට අසීරු වුයේ, එවකටත් රට හඳුනන ශිල්පියෙක්ව සිටි බැවිනි. නිවෙස් හිමිකරු ක්‍රියාත්මක වූයේ වෙනස් අයුරකිනි. හෙන්රි කල්දේරාගේ නිවසට ඇවිද එන්නට තිබුණේ ලී වැටක් ගැසූ ළිඳක් වටාය. ඔහු ළිඳ වටා වැට ගලවා දැමුවේය. එහෙත් අපේක්ෂිත හානියක් ඉන් හෙන්රි කල්දේරාට සිදු නොවුණි. ඔහු තම දැනුමෙන් අවබෝධාත්මක සමාජයක් නිර්මාණය කරගෙන තිබිණි. දෑස් පෙනීම එයට මූලික නොවූ බව හැබෑය. දැනුම යනු හොඳ හිත ඇති මිනිස්සුන්ගේ හදවත්ය. කනගාටුව එවන් මිනිසුන් අල්පයක් සමඟ දිවි ගෙවීමට වීමය.

මාතෘකා