ගින්නෙන් යළි උපන් සිනමාව

 ඡායාරූපය:

ගින්නෙන් යළි උපන් සිනමාව

දසක පහක ඉතිහාසයේ ශ්‍රී ලාකිකයා මුහුණදුන් සත්‍ය සිදුවීම් මාලාවක් මුල් කරගත් අනුරුද්ධ ජයසිංහගේ ‘ගින්නෙන් උපන් සීතල’ තිරගතවීම ඇරැඹී මේ වන විට මසක් ඉක්ම ගිහින්. ඒ සිනමාව සැබෑ සිනමා රසිකයා තුළ ඇති කළ කම්පනය ප්‍රබලයි. පසුගිය සමයෙහි වැඩි වශයෙන් ප්‍රදර්ශනය කෙරුණේ රසිකාගාරය සිනමාවෙන් ඇති කරවන දුබල නිර්මාණ පෙළක්. වෙසක් තොරණ බඳු ඉතිහාස කතා බහුතරයක් සහිත චිත්‍රපට මා තුළ ඇති කර තිබුණේ අපුලක්. එහෙත් ගින්නෙන් උපන් සීතල හදවතට දැනෙන චිත්‍රපටයක්. සමස්ත කෘතිය පිළිබඳව ඇති වන සිතිවිලි සහ එහි අවසාන දර්ශන පෙළ නිසා ඇති වන කම්පනය හේතුවෙන්ම විචාරක පාර්ශ්වය අතරත් සාමාන්‍ය සමාජයෙත් ඒ පිළිබඳව සංවාදයක් ගොඩනැඟී ඇති බව පැහැදිලියි. ෆේස්බුක් වැනි සමාජ ජාලාවන් ඔස්සේ ද, තැන තැන මතුවන අසංවිධිත සංවාද, අන්තර්ජාලය මෙන්ම පෞද්ගලික දුරකථන සංවාද හරහා ද විවිධ අදහස් දැක්වීම් සිදුකෙරෙන බව දැකගත හැකියි. සමහරවිට මෙසේ අදහස් දක්වන සාමාන්‍ය රසිකයා සිනමා විචාරකයකුටත් වඩා සියුම් ලෙස නිර්මාණය කියවාගන්නා බව හැඟෙන තරම් බලවත්. මේ පිබිදීම නිසාම 80 දශකයෙදී මෙන් යළි සිනමාව පිළිබඳ මහජන සංවාද පවා සංවිධානය කෙරෙනවා. පසුගිය කාලසීමාවේ එක්තරා සුළුතර කුලකයකට සීමා වී තිබුණු තොරණ කතා කලාව, යළි සිනමා රසාස්වාදනයක් ලෙස පුබුදුවාලීමේ ගෞරවය, එබඳු විභවතාවක් සහිත සිනමාවක් නිර්මාණය කළ අනුරුද්ධ ප්‍රමුඛ ගින්නෙන් උපන් සීතල සිනමා කණ්ඩායමට හිමියි.

අපේ රටේ දකුණේ බිහිවුණු එකම අරගලය මෙහෙයවනු ලැබුවේ රෝහණ විජේවීර විසින්. මෑත කාලීනව අපේ රටේ බිහිවූ දේශපාලනික යුග පුරුෂයා විජේවීරදැයි මට සිතෙනවා. අපි කස්ත්‍රෝ, ලෙනින්, චේ, මා ඕ වැනි සමාජයන් වෙනස් කළ චරිත පිළිබඳ අසා කියවා තිබුණත් අපේ ඇස් පනාපිට කිසියම් විප්ලවයක ප්‍රායෝගික පෙරනිමිති ගෙනහැර දැක්වූයේ විජේවීර පමණයි. නිර්ධන පංති අරගලය යථාවක් බවට පත්කරගත හැකිය යන මතය සනාථ කරන්නට දෙවරක්ම, සැබෑ ලෙසම පෙරමුණ ගත්තේ විජේවීර සහෝදරයා පමණයි. මේ අරගලයේ සාරාර්ථය සිනමාවට කැටි කරගන්නට අනුරුද්ධ ගන්නා වෑයම සාධනීයයි. කෙසේ වුවත් විජේවීරගේ අරගලය දෙවරම කෙළවර වන්නේ ජයග්‍රහණයෙන් තොරවයි. පළමුවර සිරගතවීමෙන් සහ දෙවනුව ඝාතනය කරනු ලැබීමෙන්. එයට මූලික හේතුව වන්නට ඇත්තේ සිනමාවේ අවසානයේ චිත්‍රාංගනී, විජේවීරගේ බිරිඳ අසන ‘දැන් අපි කොහාට ද යන්නේ’ පැනයට ඔහු නිරුත්තර වීමෙන්ම ප්‍රකාශිතයි. එය අනාගත අරගල ඉලක්කයක් වෙනුවෙන් සිනමාකරු විසින් සිදුකළ අවදි කිරීමක් නැතහොත් උත්තේජනයක් ලෙසයි මා දකින්නේ. කෙසේවුවත් ධනවාදී ගෝලීය යථාර්ථයේ සැබෑ ස්වරූපයෙන් විජේවීර පමණක් ගැළවෙන්නේ කෙලෙස ද? නාමික මායා විප්ලවයන් කෙසේ බාරගත්තද සැබෑ සමාජ නැඟීමක් දුටු විගස එයට එරෙහිව මාරක අවි දරා ගැනීම සාමාන්‍ය ස්වරූපයයි.

ගින්නෙන් උපන් සීතල සිනමා කෘතියෙහි එක් තැනෙක ඔහු සිරගත කරන අවස්ථාවේ බන්ධනාගාර නිලධාරියකුගේ මුවින් කියැවෙන ‘‘ඔබ කවදා හෝ මේ රටේ නායකයා බවට පත්වෙනවා’’ යන වදන ඉතා බලවත් සංවේදීතාවක් අප තුළ ජනිත කරවනවා. එය සමාජයේම අපේක්ෂාවයි. කම්කරු පංතියට පමණක් සීමා කර තිබුණු සාංකල්පික අරගලයට විජේවීර වඩා ප්‍රායෝගික පිළිතුරක් සෙවූ බව අපට ප්‍රේරණය කිරීමත් මේ සිනමා කෘතියේ සාධනීය ලක්ෂණයක්. මේ කෘතිය පිළිබඳ අදහස් පළ කරන රසිකයා සත්‍ය සිදුවීම සහ චිත්‍රපටයේ අනුරුද්ධගේ ඉදිරිපත් කිරීම තුළ පරස්පරතා ප්‍රශ්න කරන බව පෙනෙනවා. රෝහණ විජේවීර යනු සංකීර්ණතා රැසක් සහිත චරිතාපදානයක්. ඒ සියල්ල එලෙසින්ම සිනමාව තුළ පෙළගැස්විය නොහැකි බව සලකමින්, එය නිර්මාණයක් බව සලකා ජනනය කෙරෙන සමස්ත ආකල්පය පිළිබඳ අනුරුද්ධගේ නිර්මාණාත්මක ප්‍රවේශයටත් ඉඩක් වෙන්කළ යුතුයි. යහපත් කෘතියක ලක්ෂණයක් වන්නේ සිදුවීම් මාලාවක් අතරින් අත්‍යවශ්‍ය සිදුවීම් තෝරාගෙන ඒ ඇසුරින් පරිසමාප්ත නිර්මාණයක් ලෙස ජනගත කිරීමයි. චරිතාපදාන සිනමාවක් කාලය, අවකාශය, චරිත විකාශනය, අදාළ චරිතයේ සංකීර්ණතා අතිශයෝක්තියට නොනඟා ඉදිරිපත් කිරීම සේම චරිත සහ සත්‍ය සිදුවීම් ඔස්සේ පරිකල්පනය කරමින් ප්‍රබන්ධ ලෙස හෝ ඉදිරිපත් කිරීම නිමැවුම්කරුගේ අයිතියයි. එසේම නිර්මාණය තම තම නැණ පමණින්, රසිකත්වයේ තියුණු බව මත පිළිගැනීම හෝ පිළිකෙව් කිරීමත් රසිකාගාරයේ අයිතියක්.

මේ කෘතියේ නළුනිළිවරණය මෙන්ම සුලෝචනා - කමල් ඇතුළු බොහෝදෙනකුගේ රංග ලීලාවන් අතිශය සම්මානිතයි. ධනුෂ්ක ගුණතිලකගේ රූපරචනය සේම වර්ණ ශ්‍රේණිගත කිරීම ප්‍රශස්තයි. අවස්ථා තීව්‍ර කරන සංගීතය හදවතට සමීපයි. මේ සියලු දායකත්වයන් එක්කළ චිත්‍රපටයෙහි අවසාන දර්ශනයේ විජේවීර රැගෙන යන රථ පෙළ පසුබිමින් අපට ඇසෙන්නේ ඔහුගේ දරුවන්ගේ විලාපයයි. එයින් සංකේතවත් වන්නේ මෙවන් අපරාධයක් හමුවේ සමාජයක් නිහඬවීමට එරෙහිව අනාගතය නඟන විරෝධය ද?

මාතෘකා