ජේ. කේ. රෝලින්

 ඡායාරූපය:

ජේ. කේ. රෝලින්

කඳුළු සහ ගැහැනු අතර තිබෙන්නේ නොබිඳෙනාසුලු බැඳීමක්. ජීවිතයේ පරාජයන් කඳුළුවලින් දියකරමින් පරාජය ආත්මයට බද්ධ කරගත් ගැහැණු මෙන්ම පරාජයේ අඳුරු සෙවණැලි කඳුළුවලින් සෝදා හැර ජයග්‍රහණයේ මාවත කරා ගිය ගැහැනුන්ද මේ මහපොළාව මත ජීවත් වනවා. 'පිහාටු' මත දිග හැරෙන්නේ කඳුළුවලට වටිනාකමක් දුන් එවැනි අපූර්වතම ගැහැනුන්ගේ ජීවිත වගතුගයි.

'හැරී පෝටර්' කියන්නේ ලොව පුරා වැඩිපුරම අලෙවි වූ අතිශය ජනප්‍රිය කතා මාලාවක්. 'හැරී පෝටර්'ට වහ වැටිලා ඉන්නේ ලංකාවේ පොඩ්ඩො විතරක් නොවෙයි. ඒ අතර වැඩිහිටියොත් ඉන්නවා. 'හැරී පෝටර්' කතා මාලාව ලියූ ජේ. කේ. රෝලින් කියන ලේඛිකාව මේ වන විට ලෝකයේ ජීවත්වන ධනවත්ම කාන්තාවන් අතර මුල් තැනක සිටිනවා. නමුත් ඇය එතැනට ආ ගමන් මඟ අපි කවුරුත් නොහිතන තරම් කටුකයි. කඳුළු, සුසුම් විතරක් නෙවෙයි නින්දා අපහාස, වැටීම්, පැරදීම්, අහිමිවීම් සහ ප්‍රතික්ෂේපවීම් ආදී දහසක් තැවුල් අතරේ ජීවත් වූ ඇය අවසානයේ ඒ සියල්ල තුළින් ජීවිතයේ ජයග්‍රහණය හිමිකර ගත්තා.

ජේ. කේ. රෝලින් උපන්නේ 1965 ජූලි 31 වැනිදා එංගලන්තයේදී. යමක්කමක් සහිත පවුලක උපත ලැබුවත් ඇගේ ළමා කාලය නම් එතරම් සුන්දර සුවබර එකක් වුණේ නැහැ. එයට හේතුව ඇගේ මව පිළිකා රෝගියෙක් වීමත් ඒ නිසාම පියා පවුල කෙරෙහි දැක්වූ නොසැලකිල්ලත් නිසා පවුල සමගියෙන් ආදරයෙන් තොරවූ තැනක් වීමයි. නමුත් රෝලින් දැරිය කුඩා වියේ සිට ඉගෙනීමට දැඩි උනන්දුවක් දැක්වූවා. විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාවට ඇය ඉතා හපනියක්. මවුපියන්ගේ අරගල මැද ඒ පුංචි හිතට දැනුෙණ හුදකලාව, පාළුව ඇය මකාගත්තේ තමන්ගේම පුංචි නැඟණියට කතන්දර කියාදීමෙන්.

දහසක් අරගල අතර ඉගෙනීමේ කටයුතු මනාව නිම කරන රෝලින් සරසවි අධ්‍යාපනයත් හිමිකර ගැනීමට සමත් වූවා. සරසවි අධ්‍යාපනය නිම කිරීමෙන් පසු ඇය පෘතුගාලයට පැමිණෙන්නේ සිය පළමු රැකියාව සඳහා. එහිදී ඇයට රස්සාව විතරක් නෙවෙයි පරස්තාවද හිමිවනවා. රූපවාහිනී මාධ්‍යවේදියකු සමඟ පෙමින් බැඳෙන රෝලින් ඔහු සමඟ විවාහ දිවියට පිවිසෙනවා. ඒ වයස අවුරුදු 27දී. ඔවුන්ගේ විවාහයේ ප්‍රතිඵලය ලෙස ඇය දියණියකට උපත දෙනවා. නමුත් දෛවයේ සරදමකට මුහුණ දෙමින් දියණියට මාස හතරක් ගතවද්දී සැමියා නිර්දය ලෙස ඇගෙන් වෙන්වනවා. අවසානයේ රෝලින්ට සිදුවන්නේ රැකියාවක් මෙන්ම කිසිදු ආදායම් මාර්ගයක් නැතිව පියා අහිමි දරුවාද රැගෙන තමාගේ මවුබිම වන එංගලන්තය බලා යෑමටයි. නොසිතූ ලෙස ජීවිතය වෙළාගත් අභාග්‍යසම්පන්න ඉරණම හමුවේ අසරණ වන රෝලින් සහ ඇගේ සිඟිති දියණිය දිවි රැක ගන්නේ රජයෙන් හිමිවූ සමාජ සුබසාධන අරමුදලෙන්.

ඉතාම අසරණ තත්ත්වයේ පසුවන ඇයට 'හැරී පෝටර්' පොත් මාලාව පිළිබඳ අදහස ඇතිවන්නේද එවැනි අසරණ තත්ත්වයක පසුවද්දීය. පැය හතරක කොච්චි ප්‍රමාදයක් නිසා දුම්රියපොළක බලාගෙන සිටින මොහොතක ලිවීම ආරම්භ කළ ඇය එතැන් සිට දිගටම ලිවීම් නිරත වී තිබෙනවා. ඇය තම ජීවිතය තුළ මුහුණ දුන් සියලු අවාසනාවන්ත සිදුවීම් ඉතා තාත්විකව සහ ආකර්ෂණීය ලෙස 'හැරී' ගේ චරිතය හරහා මුදා හැර ඇති බවත් හැරී පෝටර් පොතේ ඉන්නා යක්ෂයන්, රාක්ෂයන් යනු මානසික අවපීඩනයෙන් පෙළුණු ඇගේම සිත බවද විචාරකයන් පවසනවා. සිඟිති දරුවාද උකුලේ හොවාගෙන මහමඟදී, දුම්රියපොළේදී, අවන්හල්වලදී ඇය අතින් ලියැවුණු හැරී පෝටර් කෘතිය ප්‍රකාශයට පත්කරන්නට ඇය ඊටත් වඩා දුෂ්කරතාවලට මුහුණ දී තිබෙනවා.

ඇය සිය කෘතියේ අත් පිටපත බාරදුන් පළමු ප්‍රකාශකයන් 12 දෙනාම එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. අවසානයේ ඇයට පවුම් 1500ක් ලබාදෙමින් පළමු මුද්‍රණය සඳහා එම අත් පිටපත බාරගත් ප්‍රකාශකයාද එය බාරගෙන ඇත්තේ සිය අට හැවිරිදි දියණියගේ බලවත් ඇවටිල්ල නිසාමයි. නමුත් අවසානයේ එම නවකතාව අලෙවි වාර්තා තබමින් මිලියන ගණනින් අලෙවි වුණා. ඒ සමඟම ධනය, කීර්තිය රෝලින් සොයා පැමිණියා. ඇය සම්මාන රැසකට පාත්‍ර වූවා පමණක් නොව ලොව ධනවත්ම කාන්තාවන් අතර මුල් තැනකට පැමිණියා. එදා මෙදා තුර සුවහසක් ළමුන්ගේ හදවත්වල ජීවමාන චරිතයක් බවට පත්වූ හැරීගේ චරිතය තුළින් රෝලින්ටද අතිශය ජනප්‍රියතාවක් හිමිවුණා.

අද සියලු ඉසුරින් සපිරි ජීවිතයක් ගෙවූවද ඇය අන් අයගේ දුකට සංවේදී තැනැත්තියක්. ඒ නිසාම සමාජ සුබසාධනය වෙනුවෙන් මිලියන ගණනින් මුදල් පරිත්‍යාග කිරීමට පවා ඇය ඉදිරිපත් වී තිබෙනවා. එමෙන්ම වරෙක පිළිකාවක් නිසා මරණය අබියස සිටි කුඩා දියණියකට එතෙක් මුද්‍රණයෙන් පිට නොවූ හැරී පෝටර් කතා මාලාවේ අලුත්ම කොටස ඊමේල් කර යවන්නට තරම් කාරුණික වී තිබෙනවා. ධනය, කීර්තිය මෙන්ම රෝලින්ට අවසානයේ යළිත් ආදරයද හිමිවනවා. නිර්වින්දන වෛද්‍යවරයකු සමඟ විවාහ දිවියට පිවිසි ඇය තවත් දරුවන් දෙදෙනකු නිසා මවු පදවියද ලබනවා.

"ජීවිතේ අන්තෙටම වැටිලා ඉන්න අතරේ වුණත් තමන්ගේ සිහින හඹායෑම අතහරින්න එපා"

ජීවිතයේ සියලු අභියෝගවලට දිරියෙන් මුහුණ දී ජීවිතය සාර්ථක කරගත් ජේ. කේ. රෝලින්ගේ ජීවිතයෙන් අපි කාටත් උගත හැකි පාඩම එයයි.

මාතෘකා