කෑම පිඟානේ බහුත්වවාදේ

 ඡායාරූපය:

කෑම පිඟානේ බහුත්වවාදේ

හීන්දෑරි පන් වට්ටියකට නෙලුම් කොළයක් එලාලා තම්බාපු රතු කැකුළු බතකට බැදපු වෙල් මාළුවෙක් එක්ක මිරිස් තුනපහ බැදලා උයපු කැකිරි ඇඹුලකුත් බෙදලා දුන්නොත් නොකා ඉන්නෙ කොයිකද? යාපනේ ගෙහුං නුවර එද්දි රඹෑවෙදි මේ බත කාලා ඒකට වහවැටුණු අසේල කුරුළුවංශ ආපහු ආවෙ කුරුළුතුඩු හාල් සේරුවකුත් උහාන. මං කිව්වා ඔව්වයෙං කනවනම් ඉතිං කිරිබත් තමයි වැඩියෙ රහ කියාලා. පස්සෙන් පහු කාලා ඇත්ත නේන්නම් කියලා කතාකරලාම කිව්වා.

යාපනේ යනවානම් රජරට නුවර කලාවියේදි එහේ බත් වෑංජන කාලා අහවර වෙලා වන්නියේදි වන්නි කෑම ටිකක් වැඩියෙන් දාපු මිරිස් තුනපහ රහට කන්ඩ ඕන. ඊටපස්සෙ අර්ධද්වීපෙට ගියාම පුළුවන් යාල්පානම් සාප්පාටු භුක්ති විඳින්ඩ. යාපනේදී මොනවා කෑවත් උළුන්දු වඩ අමතක කරන්ඩ නරකයි. දකුණෙ හුඟක් තැන්වල කෑම කඩ කෙරුවාව කරන උන්දැලා උළුන්දු වඩ කියලා මනුස්සයන්ට ගිල්ලන්නෙ පාන් පිටි ලඩ. දෙකේම එක වාගෙ තියෙන්නෙ හිල විතරයි. නියම වඩ කනවනම් යන්ඩ ඕන වන්නියෙන් එහාට. දුර වැඩිනම් රට මැද්දෑවට ආවත් කාරි නෑ. උඳු ඇට ගල් වංගෙඩියෙ අඹරලා හදන වඩේ කන්ඩ තැන් මෙහේ තියෙනවා. කොයික වෙතත් මං මේ කියන්ඩ තිබාගත්තෙ අපේ රටෙත් පළාතෙන් පළාතට ජනවරිගෙ හැටිවට වෙනසක් තියෙන නැත්නම් විවිධත්ව ආහාර සංස්කෘතියක් තියෙන වග. හැබැයි ඉතිං ඒක ඉස්සෙන්නෙ නෑ කොතැනත් අල පරිප්පු වට්ටෝරුව හරි ෆ්‍රයිඩ් රයිස් කෙරුවාව හරි මුලට එන හින්දා.

මේ ලිවිල්ල කියවන ලක්ෂාන් ඩයස් පෙරකදෝරු උන්නැහේ පහුණු දොහොක ආයිත් වංගියක් මතක් කළා ඔහේ මොරටු එන්ඩ පොරොන්දු වුණා නෙවද කියලා. ඒ විතරක් නෙවෙයි ආඩපාලි කිව්වා ඇයි මේ රට මැද්දෙ ගොයිගං කෑම ගැන විතරක් ලියන්නෙ මොරටුවේ අපේ කරාව කෑම ගැනත් ලිවුවනම් නේද හොඳ කියලා. ඕං දැන් මුන්නැහේලා හිතන්ඩ නාකයි මේ පාර කුලමල ගැන කියන්ඩ තනනවා කියලා. එහෙම නෙවෙයි ලක්ෂාන් ඩයස් මහත්තයා හරියටම කියාපු විදිහට අපේ කෑම රටාවෙත් තියෙනවා බහුත්වවාදයක්. ඒකට ඉංග්‍රිසියෙන් කියන්නෙ food pluralism කියලා. අපි වාර්ගික නැත්නම් සාමයික බහුත්වවාදය ගැන කතා කළාට මේ වගේ විචිත්‍ර භාවිතයක් ගැන කතා කරන්නෙ අඩුවෙන් වෙච්චි කොට ඉවිලි ගැන ලිවිලි ඒකට අල්ලපු හීන් අඩව්වක්. ඇයි ඉතිං දැන් අඩව් කස්තිරම් අල්ලන්නෙ නැතිව හංගාගෙන ඉන්නෙ.

අපෙත් අම්මා කැලේ කොළේ කොයිවත් තම්බාන කන්ඩ පුරුදු කරද්දි තාත්තාගෙන් හුරුවුණු කැවුං තිබ්බා. මාළු ඔළු කටු හොද්ද නැත්නම් බඩ, මාලු බිත්තර, හරක් බාබත් කිරි බොකු කන්ඩ ඉගැන්නුවෙ උන්දැ තමයි. කරිජ්ජ පාගපු මිනිස්සුන්නෙ හැටිනෙ ආයිබෝවන්ඩ. යාපනේදී බිත්තර එක්කම දැල්ලො කද්දි මට උන්දැ මතක් වුණා. ලක්ෂාන් උන්නැහෙත් පහුගිය සුමානෙ අහිරාවො කාලා තියෙන්නෙ මාවත් මතක් කරාගෙන. බාගෙදා උදයත් ඉන්ඩ ඇති. ලිංගුස්, ජාඩි, මාලු බිත්තර, කට්ට බිබක්කම්, ලම්ප්‍රයිස් විතරක්යැ තව කොච්චර ජාති කන්ඩ තියෙනවද එහේ ගොහිං. ඕං එයැයිම කියාපු විදියට කාරල්ලො සුප්, බාබත්, හරක් මොළ කට්ලට්, හරක් බුරුල කරිය, මට්ටි තෙල් දාලා, උරුවල් වෙච්ච බල කරවල, ඌරුමස් රතු කරිය, සව් පිට්ටු, මොලගතන්නි එක්ක ඉඳි ආප්ප, දිය බත්, හරක් වලිග සුප් එව්වා මෙව්වා කන ගමන් තැඹිලි වයින් බොන්ඩ අකැමැති පුතයෙක්දෑ මාත් ඉතිං.

ඔය ලැයිස්තුවේ කියාපු දියබත කනවනම් කාගෙනමුත් බඩේ දැවිලිබැවිලි දවසෙන් හමාරෙන් කම්මුතු වෙයි. ඒක හරියට මීකිරි කැකුළුබත් එක්කාසු කරන් කනවා වාගේ බඩ පපුව හීතල කරන කෑමක්. රාත්තිරියෙ ඉතිරිවෙන බතට රතු ලූනු, අමුමිරිස් කරලක් ලියලා දාලා වතුර ටිකකුත් එක්කාසු කරලා තියලා උදේ හීලට කන එකනෙ ඔය. හීලට හීලිබත් දංකුඩේ පොල්කිරි හොද්දක් එක්ක කන එකත් දිවියබොජුනක් කියලා හිතෙන වෙලාවල් තියෙනවා නෙව. අනේ ඉතිං මතක හිටින කාලයක් උදේට හීලිබත් කාපු පුරුද්දක් අපිට තිබ්බා. ඒ ඉතිං සබ්බ සකලමනාවම තිබ්බ හැටියට හින්දා තමයි.

ලෝලලෙහෙළ ආරණ්ණෙ ලොකු හාමුදුරුවන්ගෙ ගුරු හාමුදුරුවො තාඹුගල ආනන්ද හිමියො. උන්නාන්සෙ කුඩුම්බිගල ආරණ්ණෙ ආයෙ වංගියක් හොයා මතුකරගත්ත කාලෙ මහ කැලේ තනියෙන් ඉන්දැද්දි බඩසයින් මිදෙන්ඩ කර කොළත් වැළඳුවාලු. බැමිණිතියා මහ සායෙදිත් කර කොළ වළඳමින් මහ සසුන රැක ගන්ඩ කැපවෙච්ච යතිරුවන හිටි රටක් නෙව මේක. ඉතිං ඔය ජානගත වෙච්ච පුරුදු එක්ක දෙණි පතන්වල කරක් ගහන ගමන කර කොළ විකන්ඩ අපිත් හුරු වෙලා හිටියා. එහෙම පුරුද්දට නිකම්ම කටේ දාලා හපනවාට වැඩියෙ රහයි කර කොළ ලියලා රතු ලූනු, අමුමිරිස් දෙහි තක්කාලි එක්ක උම්බලකඩ කුඩුත් මුහු කරලා තනාගන්න සම්බෝලෙ. ඉතිං මේ විදිහට ඉස්සරහට ලියවෙන්ඩ නියමිතයි කොළ කැවිලි ගැන. බාගෙද මේ ඇත්තන්ගෙ ඇස් උඩයන්ඩ පුලුවන් කන්ඩ සුදුසු කොළ ජාති ගැන ඇහුවම. එහෙනම් බලාන ඉන්ඩකො කොළ මැල්ලුම් ලියන්ඩ.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා