පරාජිතයාගේ කතාව

 ඡායාරූපය:

පරාජිතයාගේ කතාව

ප්‍රබන්ධය (Fiction) ප්‍රබන්ධ නොවන ලිවීමෙන් (Non Fiction) වෙනස් වන්නේ කෙසේද? ඒ, ප්‍රබන්ධය තුළ ජීවිතයක් ඇතුළත් වීමත්, ප්‍රබන්ධ නොවන ලිවීමේ ජීවිතයක් ඇතුළත් නොවීමත් තුළිනි. ජීවිතයක් නොමැති නිසා ප්‍රබන්ධ නොවන වියමන කාලයාගේ ඇවෑමෙන් කල් ඉකුත් වීමට යටත් වන අතර ප්‍රබන්ධය ජීවිතය නිසා නව පණ දමා නැඟී සිටී. මා සිතන්නේ ප්‍රබන්ධකරුවකු මේ කරුණ නිවැරදිව අවබෝධ කර යුතු බවයි. එසේ නොවුණහොත් ඔහු ලියන දෑ ප්‍රබන්ධ නොවන දේට ඇතුළත් වී කල් ඉකුත් වන නිසාය. මීට නිදසුන් එමට දිය හැකිය. එක් නිදසුනක් කිවහොත් ඒ, ගුණදාස අමරසේකරගේ මෑත ප්‍රබන්ධ දහරාවය. එය මුළුමනින් ආසර්ථක වී ඇත්තේ එහි කතුවරයාගේ අරමුණ ජීවිත විවරණය නොවන නිසාය. පියදාස සිරිසේනගේ නවකතාවලද ගැටලුව මෙයයි. නිසැකවම කතාකරුවකු ජීවිතයෙන් බැහැර වන්නේ කොතැනද එතැනින් ඔහුගේ ප්‍රබන්ධය අහෝසි වේ.

එහෙත් ප්‍රබන්ධකරුවකුට ඕනෑම ආකාරයක ජීවිතයක් විවරණය කළ හැකිද? මට හැඟෙන ලෙස ඔහුට සාර්ථක ලෙස කළ හැක්කේ ජයග්‍රාහී ජීවිතය ඉදිරිපත් කිරීම නොවේ, පරාජිත ජීවිතය ඉදිරිපත් කිරීමකි. මෙරට සාහිත්‍යය ජනතාවාදී සාහිත්‍යයට යට වී පැවති සමයේ, එනම් ‘70, ‘80 දශකවල ලේඛකයන් - ජනතාවාදී ලේඛකයන් - හඬ නැඟූයේ සිංහල නවකතාව පරාජිත චරිතවලට තෝතැන්නක් වී ඇති බවත්, එය සාහිත්‍යයේ ඇදවැටීමක් බවත්ය. මොවුන් මෙහිදී අවබෝධ කරගෙන නොමැත්තේ සාහිත්‍යයෙන් ඉදිරිපත් කෙරෙනුයේම පරාජිත චරිතවල කතාව බවත්, ජයග්‍රාහී චරිත සාහිත්‍යයට පදනම් වුවහොත් එය සාහිත්‍යයෙන් ගිලිහෙන බවත්ය - ජයග්‍රාහකයකුගේ කතාව ඇතුළත් එක සාර්ථක සාහිත්‍ය කෘතියක් මට පවසන්න. ඇත්ත වශයෙන් ජයග්‍රාහකයකුගේ කතාව යැයි කෙනෙකු ඉදිරිපත් කරන කතාවක වුව සමස්තයක් වශයෙන් බැලූ විට ඇතුළත් වන්නේ පරාජිතයන්ගේ වැලපීමකි. නිදසුනකට චිංගීස් අයිත්මාතව්ගේ ‘ගුරු ගීතය’ නම් කෙටි ප්‍රබන්ධය සැලකූ විට අපට හමු වන්නේ ජයග්‍රාහකයකුගේ කතාව නොව පරාජිතයන්ගේ වැලපීමකි. මැක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ නවකතාවේ වුව එසේය.

පරාජිතයාගේ ජීවිතය සාහිත්‍යය හා මේ සා අත්වැල් බැඳගන්නේ ඇයි? ඊට හේතු දෙකකි. පළමුවැන්න වඩාත්ම භාව ස්පර්ෂ කරන්නේ ජයග්‍රාහකයාගේ කතාවට වඩා පරාජිතයාගේ කතාව වීමයි. අනෙක ජීවිතයේ යථාර්ථයත් ජයග්‍රහණයක් නොව පැරදුමක් වීමය. බුදුන් වහන්සේ දේශනා කරනුයේ ‘ජාතිපි දුක්ඛා’ යනුවෙනි. එනම් ඉපදීමම දුකකි. ධනයෙන්, බලයෙන්, කම්සැපෙන් කෙතරම් පොහොසත් වූවද කෙනෙකුට ජීවිතයේ සන්තුෂ්ටියට පත් වීමට කරුණක් නැත. ඇතැම් විට සතුට අහිමිව වඩාත් දුකට පත් වන්නේ ඔවුන්ය. ඒ අනුව සාහිත්‍යයේ අරමුණ ජීවන යථාර්ථය විවරණය නම් සාහිත්‍යකරුවාට ඒ කාමභෝගී ජීවිතයේද පරාජිත පක්ෂය විවරණය මිස අන් මඟක් නැත. අනෙක් අතට කෙනෙකු ප්‍රඥාවබෝධය ලබන්නේද ඔහු තමනට හිමි වන දෑ වෙත ඇලී ගැලීමෙන් නොව ඉන් ඈත් වී දුර සිට ඒ බලන විටය. කේ. ජයතිලකගේ ‘චරිත තුනක්’ හි ඉසා ජීවිතයේ පරාජිතයෙකි. එහෙත් ඔහු ප්‍රඥාවබෝධය ලැබූවෙකි. ඔහු උපේක්ෂාසහගතව ජීවිතය පිළිබඳ සිතන පතන විධිය - ජීවිතයේ යථාර්ථය පිළිබඳ නිවැරදි චිත්‍රය - කෙළවර පාඨකයාටද ග්‍රහණය වේ. ‘විරාගයේ’ අරවින්දද පරාජිතයෙකි. එහෙත් ඔහු ජීවිතය අවබෝධ කරගත්තෙකි. ඔහු සිය පරාජිතභාවය තුළින් තෙමේ ජීවිතය අවබෝධ කරගන්නවා නොව පාඨකයාට එය අවබෝධ කරවනවාය. ඇල්බෙයා කැමූගේ ‘පිටස්තරයා’ හිද සිදු වනුයේ එයය. එහි කතානායක මර්සෝ පරාජිතයකු ලෙස මරණ දඬුවමට ලක් වන්නේ පාඨකයාට ජීවිතය පිළිබඳ - නීති වගන්ති මත ජීවිතය තක්සේරු කළ නොහැකි බව, පුද්ගලයකු මිනීමරුවකු වීමට සමාජ සාධක, වෙසෙසින් යුද්ධය ප්‍රබලව බලපාන බව පිළිබඳ - පුළුල් විවරණයක් ධ්වනිත කරමිනි. එසේ බැලූ විට පාඨකයා ප්‍රඥාවට පත් කිරීම සාහිත්‍යයේ ජයග්‍රහණය නම් සාහිත්‍යයේ ජයග්‍රාහී චරිත මේ කියන පරාජිත චරිතමය.

එක් අතකට සාහිත්‍යයේ ජයග්‍රාහී චරිත - පරාජිත චරිත ලෙස භේදයක් නැත. එහි ඇත්තේ ජීවිත විවරණය පමණි. එහිදී මෙය ජයග්‍රාහී ජීවිතයක්ය, මෙය පරාජිත ජීවිතයක්ය කියා වෙන් වීමක් නැත. එහි කාරණය කෙනෙකු ප්‍රබන්ධයක් ලිවීමට අවතීර්ණ වන්නේම ඔහු ජීවිතයෙන් - අඩු තරමින් ආත්මීය වශයෙන් - පරාජිත නම් බවය. (ආත්මීය ජයග්‍රාහකයකුට ප්‍රබන්ධ කතාවක් ලිවීමට වුවමනා වන්නේ නැත.) එසේ වූ විට ප්‍රබන්ධකරුවාගේ කතාව පරාජිතයාගේ කතාව වීම නිබඳව සිදු වන්නකි. විටෙක සාහිත්‍යයේ සිදු වන්නේ සිසිපස්ගේ කාර්යය යැයි සිතේ. සිසිපස්ට දෙවියන් දුන් දඬුවම එසවීමට බැරි ගල් ගෙඩියක් කඳු මුදුනකට ගෙනයෑමය. ඔහුට ගල පර්වතය මුදුනට ගෙන ගොස් එහි නතර කිරීමට හැකියාවක් නොහැකි සේම පර්වත මුදුනින් බිමට හෙළීමටද අවසර නැත. එනිසා ඔහුට සිදු වනුයේ ගල අමාරුවෙන් ඉහළට තල්ලු කරගෙන යෑම සහ මුදුනේදී එය නැවත තිබූ තැනට පෙරළී ආ විට ආපසු ඉහළට ගෙන යෑම මිස අනෙකක් නොවේ. හෙමින්වේගේ ‘මහල්ලා සහ මුහුද’ නවකතාවේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සිදු වන්නේ මෙය නොවේද? එහෙත් මට හැඟෙන ලෙස ඕනෑම සාර්ථක නවකතාවක් නැවතුණු තැන සිට ඉදිරියට ලියාගෙන ගියහොත් එහි සිදු වන්නේ මේ කී දේය. එනම් නැවත ‘ගල කඳු මුදුනට රැගෙන යෑම’ය.

මෙම තීරුව ආරම්භ කළේ ප්‍රබන්ධයේ ජීවිතයක් ඇති බවත්, ප්‍රබන්ධ නොවන කෘතියේ ජීවිතයක් නොවන බවත් පෙන්වා දෙමිනි. ප්‍රබන්ධයේ ජීවිතයක් ඇත්තේ නම් මා දකින ලෙස ඒ ජීවිතයට වඩාත් අලවා තබන්නේ පරාජිතයාගේ කතාවය. මීට නිදසුන් එමට දැක්විය හැකිය. එක් නිදසුනක් ගතහොත් දොස්තොයෙව්ස්කිගේ ‘බිම්ගෙයි සිරකරුවා’ (Notes From the Underground) කෙටිකතාව ඇරඹෙන සැටි බලන්න:

“මම රෝගී මිනිහෙක්.... මම දුෂ්ට මිනිහෙක්. නෑ. මං කොහෙත්ම ප්‍රසන්න මිනිහෙක් නෙවෙයි. මං හිතන්නෙ මගේ අක්මාවේ මොනවා හරි ලෙඩක් තියෙනවා. ඒත් මං අක්මාව ගැන දන්න මඟුලක් නෑ. මට ඇත්තටම ලෙඩක් තියෙනවාද කියලවත් මං දන්නෙ නෑ.....”

මේ ඡේදය කියවන විට කිසියම් අමුතු මිනිසෙක් අප ඉදිරිපිට පණ ගසා නැඟිටිනු නොපෙනේද? දොස්තොයෙව්ස්කිගේම ‘අසරණ මිනිස්සු’ කෙටි නවකතාව ඇරඹෙන සැටි බලන්න:

“ප්‍රින්ස් වී.එෆ්. ඔදෙයෙව්ස්කි,

අප්‍රේල් 8

මගේ රත්තරන් වර්වරා ඇලෙක්සෙයෙව්නා,

“ඊයේ රෑ මම කොතරම් සතුටින් සිටියාදැයි කියතොත් එතරම් සතුටක් කවදාවත් ලබාගන්න බැරි තරමයි! ඔබේ මුළු ජීවිතයේදීම එක වරක්, මගේ මුරණ්ඩු සුන්දරී! ඔබ මම කියාපු හැටියටම කටයුතු කළා. මම අවදි වන විට වෙලාව රෑ අටයි....”

මෙහිදී අප ඉදිරියට එන්නේ පරාජිත ප්‍රේමවන්තයෙකි. ඔහු අප හා සෙමින් හා බයාදු හඬින් කථා කරයි. ඉදින් පරාජිත චරිතයක් තරම් සාහිත්‍යයේ ජීවිතයට ඇදබැඳ තබන කිසිවක් ඇතැයි කිව හැකිද?

මට හැඟෙන ලෙස යුදෙව් සංහාරක සාහිත්‍යයේ නොහොත් හෝලොකොස්තික සාහිත්‍යයේ සාර්ථකත්වයටද හේතුව පරාජිත චරිතයි. එහි අත්දැකීමම පරාජිතය. එවිට එය ශෝක රසය පිළිබඳ සංවාදයක් වීම ස්වභාවිකය. එහෙත් සංහාරක සාහිත්‍යයේ කිසියම් ගැටලුවක්ද වේ. එනම් එම සාහිත්‍යකරුවන් ලබා ඇති කම්පිත අත්දැකීම් තුළ කතාව සාහිත්යික අවකාශයෙන් පිට පැන එහි රස භංග වීමේ ඉඩක් තිබීමයි. මෙය සැබැවින්ම බොහෝ හෝලොකොස්තික කෘතිවල දැකිය හැකි දුර්වලතාවක් වන අතර ඒ අඩුව නොමැත්තේ

ඈන් ෆ්‍රෑන්ක් දිනපොත, ප්‍රීමෝ ලෙවීගේ කෘති ආදී ස්වල්පයකය. එසේ බැලූ විට කම්පිත අත්දැකීම් ලිවීමට සුදුසුද යන ගැටලුවද පැන නඟී.

පරාජිතභාවය යනු ඇත්ත වශයෙන් පරාජිතභාවයක් නොවේ. එය පාඨකයා අලුත් කතාවකට සවන් දීමට කැඳවීමකි. නිදසුනකට ඉතිහාස කතාව

- මහාවංශය, චූලවංශය.... - කියන්නේ ජයග්‍රාහකයාගේ කතාවය. පරාජිතයාගේ කතාව අපෙන් වසන්ය. සාහිත්‍යකරුවා කරන්නේ අපගේ භාවයන් ස්පර්ෂ කරමින් ඒ අපට වසන් වූ, ‘කාලයේ වැලිතලාවට යට වූ කතාව’ - උතෝපියාව - අප හමුවේ ජීවමාන කරවීමය. එය පරාජිතයාගේ කතාවක් ලෙස පෙනෙන බව ඇත්තය. එහෙත් ගැඹුරින් සලකා බලන විට එය ජයග්‍රාහකයාගේ කතාවමය.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා