සමරිසියෝ සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය

 ඡායාරූපය:

සමරිසියෝ සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය

ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය තුළදී සමරිසියන් පීඩාවට පත් වන බව නොරහසකි. මේ නිසා සෞඛ්‍ය සේවය තුළ සිටින සමරිසි ප්‍රජාවද, සේවාලාභීහුද නිරන්තරයෙන්ම වෙනස්කම්වලට භාජනය වෙති. 1994 වසරේදී මා දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල හෙවත් කළුබෝවිල රෝහලේ සේවය කළ කාලයේදී එම රෝහලේ කම්කරුවෙකු ලෙස සේවය කල සමරිසිපුද්ගලයෙකුගේ චර්යාව නිරීක්‍ෂණය කළෙමි. ඔහු සමහර විට රෝගීන් ගේ පිරිමි ඥාතීන්ට යම් බලපෑම් කළ අතර රෝහලේ අනෙකුත් කම්කරුවන් ඔහුව කවටයෙකුගේ තත්වයට පත් කොට තිබුණි.

1999 වසරේදී මම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල හෙවත් රාගම රෝහලේ සේවය කළ කාලයේදී සමරිසි වෛද්‍යවරියක් අනෙකුත් වෛද්‍යවරුන්ගේ අවමන් සහගත කතාබහට ලක් වන අයුරු අත්දුටුවෙමි. ඇය තමන්ගේ ඥාති සොහොයුරියක් බව පවසා තම සහකාරිය රෝහල් නිල නිවාසයක නවතාගෙන සිටි අතර බොහෝ වෛද්‍යවරු මෙන්ම වෛද්‍යවරියෝද ඒ පිළිබඳව උපහාසයෙන් කතා කළහ.

සමරිසියෙකු වූවද ඒ බව ප්‍රසිද්ධියේ හෙළි නොකොට ජීවත්වන මනෝ වෛද්‍ය මහාචාර්යවරයෙකු සමග මම කාලයක් වැඩ කළෙමි. ඔහු ඉහළ දැනුමකින් යුතු පුද්ගලයෙකි. එහෙත් සමහර ව්‍යාපෘතිවලදී මම ඔහුගේ නම යෝජනා කළ විට සමහර විද්වතුන් විද්වතියන් ඔහුව හෙළා දුටුවේ ඔහු සමරිසියෙකු බව කියමිනි. තවත් ද්‍රවිඩ මනෝ වෛද්‍යවරයෙකු තම සහකරුවා සමාජයෙන් සඟවාගෙන සිටියේ ඔහු තමාගේ රියැදුරා බව පවසමිනි. මොවුන් දෙදෙනාම පිළිගත් උගතුන් වූවද ඔවුන් තම ලිංගික අනන්‍යතාව සඟවමින් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය තුළ සේවය කළේ සමාජ අපවාදෙවලින් බේරීම සඳහාය.

මා පුත්තලම් දිස්ත්‍රික් මානසික සෞඛ්‍ය දිස්ත්‍රික් සම්බන්ධීකරණ වෛද්‍ය නිලධාරී ලෙස සේවය කළ කාලයේදී සමරිසියෙකු වූ එක් සෞඛ්‍ය ලිපිකරුවෙකුගේ චර්යාව නිරීක්‍ෂණය කළෙමි. ඔහු කාර්යාලයට එන බොහෝ තරුණ නිලධාරීන්ට බලපෑම් කළේය. එසේම ඔහු තරුණ ගිලන් රථ රියැදුරන්ට ලිංගික එස්. එම්. එස්. පණිවිඩ යැවීය. තම ලිංගික දිශානතිය තුළ ඔහු අතරමංව සිටි බවක් පෙනෙන්නට තිබුණි.

මා සමග මේ මාතෘකාව පිළිබඳව සාකච්ඡාවේ යෙදුණු වෛද්‍ය YKXX මහතා තමන් සමලිංගිකයෙකු ලෙස පිළිගන්නෙකි. ඔහු තම අනන්‍යතාව සඟවමින් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය තුළදී සමරිසියන් පීඩාවට පත් වන ආකාරය මෙලෙස විස්තර කරයි.

"......මා සමරිසියෙකු බව මම වටහා ගත්තේ වයස 10දී පමණය. මා අමුතු අයෙකු ලෙස මට දැනුණේය. එහෙත් මා අස්වාභාවික පුද්ගලයෙකු නොවන බව මගේ සිත මට කීවේය. මම ජීව විද්‍යාව සහ මනෝ විද්‍යාව පොත පත කියවමින් සමරිසි තත්වය පිළිබඳව කියවමින් දැනුම ලබා ගත්තෙමි. මේ දැනුම පසුකාලීන ජීවන අර්බුද ජය ගැනීමට බොහෝ සෙයින් බලපෑවේය. මා අධ්‍යාපනය ලැබුවේ කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසලකය. මා තුළ පුරුෂරූපී ලක්‍ෂණ නොමැති බව වටහා ගත් අනෙක් සිසුන් මාගේ පාසල් කාලය පුරා මාව වාචික හිංසනයන්ට ලක් කළහ. මේ නිසා පාසල් කාලය පිළිබඳව සොඳුරු මතකයන් මා තුළ නොමැත. මගේ දෙමාපියන් මා සමරිසියෙකු බව වටහා ගත්හ. මගේ මව මට භාවාත්මකව අනගි සහයක් දුන් නමුත් මගේ පියා ඒ පිළිබඳව නිශ්ශබ්ද විය. ඔහු ඔහුගේ මරණය වන තෙත් මේ පිළිබඳව මා සමග කතා නොකළේය. යම් ආකාරයකට මා ඔහුගේ බලාපොරොත්තු කඩ කළ පුද්ගලයෙකු වන්නට ඇත. මගේ සොහොයුරියන් මට ශක්තියක් වූ නමුත් මාගේ එකම සොහොයුරාද මා පිළිබඳව මුනිවත රැක්කේය.

වෛද්‍යවරයෙකු ලෙස රජයේ රෝහල්වල සේවය කරන විට සෞඛ්‍ය සේවය තුළ සිටින සමරිසි ප්‍රජාවද, සේවාලාභීන්ද දරුණු වෙනස්කම්වලට භාජනය වන අයුරු මම අත්දුටුවෙමි. මාගේ අදහස අනුව ශ්‍රී ලංකාවේ රෝහල්වල සේවය කරන හෙදියෝ බොහෝ දෙනෙක් හෝමෆෝබියා තත්වයෙන් පෙළෙති. බොහෝ වෛද්‍යවරු මෙන්ම වෛද්‍යවරියන් තුළද මෙම හෝමෆෝබියාව තිබෙන බව මම අත්දුටුවෙමි. රෝහල් කාර්යමණ්ඩලයට මාගේ ලිංගික දිශානතිය ගැටලුවක් විය. ඔවුන් ඒ පිළිබඳව මාගේ පසුපස සිට කසු කුසු ගෑහ. මා පිළිබඳ ඕපාදූප පැවසූහ. සමහරක් මාගේ රෝගීන්ට මා පිළිබඳව අනතුරු ඇඟවූහ. මේ නිසා සමහර විට රෝගීහු මා දෙස සැකෙන් බැලූහ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටි බලධාරීන්ටද මාගේ ලිංගික දිශානතිය ගැටලුවක් විය. එක් රෝහල් අධ්‍යක්‍ෂවරයෙක් මට සිල් ගන්නා ලෙසටද, කාන්තාවක් කසාද බඳින ලෙසටද නියම කළේය. ඔහුට අනුව මා තුළ තිබුණේ ආධ්‍යාත්මික ගැටලුවකි. එහෙත් සමලිංගිකතාව අසාමාන්‍ය රෝගී තත්වයක් නොව එය සාමාන්‍ය ජෛව විද්‍යාත්මක තත්ත්වයක් ලෙස වටහා ගැනීමට බුද්ධියක් තිබූ පුද්ගලයන් සුළු ප්‍රමාණයක් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය තුළ සිටි බවද කියමි. "

සමලිංගිකතාව යනු ලිංගික දිශානතිය පමණක් නොවේ. එය ජීවන ක්‍රමයකි. දියුණු රටවල සමලිංගිකතාව පිළිගන්නා නමුත් ශ්‍රී ලංකාව තවමත් එම මට්ටමට පත්වී නොමැත. ඒ අතින් ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා ආකල්පමය අතින් බොහෝ ඉදිරියෙන් සිටියි. කටුක සත්‍ය නම් ශ්‍රී ලාංකික සමාජයටත් වඩා ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවය හෝමෝෆෝබියාවෙන් පෙළීමය.

සාකච්ඡා කළේ [වෛද්‍ය රුවන් එම්. ජයතුංග]

මාතෘකා