සොඳුරු මදුරු නිවේදනය

 ඡායාරූපය:

සොඳුරු මදුරු නිවේදනය

'' මොකක්ද බං අර ඇහෙන එනවුන්ස් එක ?''

'' ඩෙංගුවාගේ කට හඬ වගෙයි ඇහෙන්නේ ''

'' කියන මෙලෝ දෙයක් උඹට තේරෙනවද ?''

'' තේරුණේ නම් නෑ තමයි. ''

'' ඒක තමයි මං කීවේ හරියට විදුලිබල මණ්ඩලේ එනවුන්ස් එකක් වගේ. ''

'' ඇයි, එහෙම කියන්නේ ?''

'' ඒ අයත් ලයිට් කපනවා කියලා කියන්නේ එහෙමනේ. මේ ලංකා විදුලිබල මණ්ඩලයයි කියලා පටන් ගන්නවා. බලවත් කනගාටුව කියලා අවසන් කරනවා. පටන් අරන් අවසන් කරන කොට කිලෝමීටරයක් විතර දුර ගිහින්. කිව්වේ මොනවද කියලා කවුරුවත් දන්නේ නෑ. ''

'' ඩෙංගුවා නම් කීවේ ඇඳිරි වැටෙන කොට හැමෝටම වතුර වළ ගාවට එන්න කියලයි. හැබැයි මොකටද කියලා නම් ඇහුනේ නෑ. ''

'' ඒක තමයි මන් කීවේ. දැන් ඉතින් ගිහිල්ලම තමයි බලන්න වෙන්නේ ''

----

'' කෙටි දැනුම් දීමකට පැමිණි හැමෝටම ස්තුතියි. ඔබට මතක ඇති පසුගිය කාලයේ මේ රටේ මිනිස්සු අපට කරපු හිරිහැර. මහා වසංගතයක් ලෙසයි අපව දැක්කේ. ඩෙංගු වසංගතයක් කියලයි ඔවුන් අපට අපහාස කළේ. ඔවුන් අපට විරුද්ධව දැඩි සටනක් ක්‍රියාත්මක කළා. එයින් හානි වුණේ අප වැනි ඩෙංගු මදුරුවන්ට පමණක් නොවෙයි. ඔබ වැනි ඩෙංගු නොවන මදුරුවන්ටත් හානි වුණා. මුළු මදුරු වර්ගයාම හිතක් පපුවක් නැතිව මරා දැම්මා. නමුත් තව දුරටත් අප නිහඬව සිටිය යුතු නෑ. අප යළිත් සංවිධානය විය යුතුයි.

'' ඩෙංගුවෝ උඹ එහෙම කියන්නේ ඇයි? උඹ හදන්නේ ආයෙත් අප අමාරුවේ දමන්නද?''

'' නෑ.. නෑ. දැන් තවත් වසංගතයක් ඇවිත් තියෙනවා. ඒකට කියන්නේ දළඹු වසංගතය කියලා. ''

'' ඒ මොකක්ද ඒ ?''

'' දළඹුවන් වර්ගයක් බෝවෙලා ඉන්නවා. අපට ඩෙංගු මදුරුවා කීවා වගේ උන්ට කියන්නේ සේනා දළඹුවා කියලා. ''

'' උනුත් ඉතින් ලේ උරා බොනවද ?''

'' නෑ .. නෑ .. උන් මදුරුවන් නොවෙයි නේ. ඔවුන් ලේ උරා බොන්නේ නෑ.''

'' එහෙනම් කොහොමද වසංගතයක් වෙන්නේ ?''

'' ඔවුන් මිනිස්සුන්ගේ එළවළු පලතුරු සියල්ල විනාශ කරනවා. අපට වඩා බොහොම ක්‍රියාශීලීයි.''

'' එතකොට ආහාර හිඟයක් ඇතිවෙන්නේ අපට නොවෙයි මිනිස්සුන්ටනේ .''

'' ඔව් එහෙම වේවි.''

'' ඉතින් ආහාර නැතිව මිනිසුන් මිය යාවිනේ.''

'' ඒක අපට ප්‍රශ්නයක් නොවෙයිනේ. අප ඩෙංගු බෝ කෙරුවමත් වෙන්නේ එ්කමනේ.''

'' ඒ වුණාට ඒ මිනිස්සු මිය ගියේ අපි ලේ උරා ගත්තට පස්සෙනේ. අපට ලේ බොන්න නම් මිනිස්සු ජීවත් වෙන්න එපැයි. ''

'' ඒකෙත් ඇත්තක් නම් තියෙනවා තමයි. ඒත් අප මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි.''

'' ඉතින් දැන් අපට මොකක්ද කරන්න කියන්නේ ''

'' පසුගිය කාලයේ අප සමූල ඝාතනය කරන්න සැලසුම් හැදුවා. ඩෙංගු මර්දන බළකායවල් හැදුවා. පොලිසිය, හමුදාව එක්ක ඇවිල්ලයි අපේ නවාතැන් විනාශ කළේ. අපට තාවකාලිකව පසු බසින්නට සිදු වුණා. දැන් අප නැවත ක්‍රියාත්මක විය යුතු කාලය එළැඹිලා තියෙනවා.''

'' දැන් මොකද විශේෂත්වය ''

''දැන් මිනිස්සුන්ට අපව මතක නෑ. සේනා දළඹුවා පස්සේ දුවනවා. නිලධාරීන් ගම්වලට ගිහිල්ලා පෝස්ටර් අලව අලව ඉන්නවා. ඩෙංගු මදුරු පෝස්ටරේ වහලා සේනා දළඹු පෝස්ටරේ ගහනවා. වතුර පිරුන ටිං එකක් පයේ හැපුණත් ගානක් නෑ. අපට හොඳ පරිසරයක් නිර්මාණය වෙමින් පවතිනවා.''

'' අපි මොකද කරන්න ඕනෑ ''

'' දැන් අපි ඩෙංගු කියා වෙන්විය යුතු නෑ. සියලු මදුරුවන් ඒකරාශී විය යුතුයි. අපේ මැලේරියා කට්ටිය හොයා ගන්නත් නෑ. ඒ අය ඉන්න තැනකින් සොයා ගත යුතුයි. හැමෝටම දළඹුවා නිසා මදුරුවා අමතක වෙලයි තියෙන්නේ.''

'' අපි දැන්ම ප්‍රහාරයක් පටන් ගන්නවාද ?''

'' නෑ.. අපි ඉක්මන් විය යුතු නෑ..පළමුවෙන් අපට බෝවෙන්න තියෙන හැමතැනකම අපේ වර්ගයා බෝ කළ යුතුයි. ඊට පස්සේ අපට සැලසුම් සහගතව ප්‍රහාරය ක්‍රියාත්මක කළ හැකියි. සතුරාගේ අවධානය වෙනතක තියෙන වෙලාවේ අපි සංවිධානය විය යුතුයි. මේ ගැන අපේ අයට හොඳ ප්‍රචාරයක් දිය යුතුයි.''

'' හැබැයි ප්‍රචාරය විදුලිබල මණ්ඩලේ වගේ නම් එපා ඕන් ''

[නන්දසේන උඩුගම]

 

මාතෘකා