දැඩි බවේ හැඩ

 ඡායාරූපය:

දැඩි බවේ හැඩ

තීන්දු තීරණ ගන්න එක කියන්නෙත් වෙනමම කලාවක්. නිසි වෙලාවට තීරණයක් අරගෙන ඉන් උපරිම වාසි ළඟා කරගන්න ඉඩකඩ සලසාගන්න පුළුවන්කම හැමෝටම නැහැ. හැමදේ ගැනම සොයා බලමින් කාලය නාස්ති කරන්නෙ නැතුව ඉක්මනින්ම හරි තීරණේ ගන්න අවශ්‍ය දක්ෂතාව වැඩි දියුණු කර ගත්තොත් ඔබ අනභිභවනීය ස්ථානයක වැජඹෙන කෙනෙක් බවටයි පත්වෙන්නේ. කොහොමද එහෙම කරන්නේ?

නිසි වෙලාවට ගන්න අවශ්‍ය තීරණය ගන්න නම් සුවිශාල මානසික ශක්තියක් අවශ්‍ය වෙනවා. දැඩි තීරණ ගැනීමත් නායකයකුගේ එක් ගුණාංගයක්. එහෙම කියන්නේ දැඩි තීරණ ගන්නවා කියන්නේ හැමෝම සතුටු කරන තීරණයක් නොවන නිසයි. සමහර වෙලාවට අපේ සමීපතමයන් අතර පවා නොහොඳ නෝක්කාඩු ඉන් ඇතිවෙන්න පුළුවන්. එහෙමයි කියලා අවශ්‍ය වෙලාවට නියම තීරණේ ගන්න පුළුවන්කමක් තියෙන කෙනෙක් නොවුණොත් වෙන්නේ යම් සීමාවක රැඳිලා ඉන්න විතරයි.

අපි කරන කියන දේවල් සියල්ලදීම වගකීම ගන්නවා නම් කවුරුවත් දැඩි තීරණවලට එතරම් අසතුටුදායක විදියට සලකන්නේ නැහැ. තීරණ කෙනෙක් ගන්නයි, ඉන් වෙන අයහපත තව කෙනෙක්ට බාර ගන්නයි වෙන එක තමයි ලොකුම ප්‍රශ්නේ. තමන් ගන්න තීරණවල වගකීම වෙන කෙනෙක්ගෙ පිට නොදා තමන්ටම බාරගන්න පුළුවන් නම් ඔහු හෝ ඇය නියම නායකයෙක් වෙනවා.

කලින් සඳහන් කළ පරිදිම හැමෝම සතුටු කරන්නට තීරණ ගනිද්දි බැරි වුණාට, ප්‍රධාන වශයෙන් බලපාන කරුණු හරි ඉක්මනින් සලකා බලා අවම හානිය වෙන ආකාරයේ තීරණයක් ගන්න එකයි නියම දක්ෂතාව. එක රැයින් මේ කිසිවක් කරන්නට හැකියාවක් නැහැ. නිරන්තරව පුහුණුවෙන් එය ජයගන්න පුළුවන්.

එක්තරා අවාසනාවන්ත මොහොතක කුඩා දරුවෙක් දරුණු ලෙස අනතුරකට ලක්වෙලා රෝහල් ගතකරනවා. රාත්‍රී කාලය හින්දා ඉක්මනින් රෝහලට ගෙනියන්න පුළුවන්කම ලැබෙනවා. මූලික ප්‍රතිකාර කරන වෛද්‍යවරු මේ දරුවාට ඉක්මනින් සැත්කමක් කරන්නට අවශ්‍ය යැයි තීරණය කරනවා.

ශල්‍යාගාරයට ගෙනියන්න ප්‍රමාද වෙනකොට ළමයාගේ මවුපියන් කලබල වෙන එක පුදුමයක් නෙවේ. දරුවාගේ පියා විටෙන් විට ගිහින් මේ ප්‍රමාදය ගැන විමසන්න උත්සාහ කළා. තමන්ගේ දරුවාගේ ජීවිතේ රැකගන්න උත්සාහ කරන්න කියලා ඔහු වැඳ වැටෙන්න වුණා.

"අපි කරන්න ඕන සියල්ල ලෑස්ති කරලයි තියෙන්නේ. ඔපරේෂන් එක කරන ඩොක්ටර් එනකං ඉන්නේ" විමසිලි අතර හෙදියක් කිව්වා.

පැය භාගයක් විතර ගෙවෙනකොට නොසන්සුන්තාව වැඩිවෙලා ගියා. වෛද්‍යවරයා රෝහල ඉදිරිපිට වාහනය නවත්තලා රෝහල් කොරිඩෝව දිගේ ශල්‍යාගාරය දෙසට එන්න පටන් ගත්තා. ඒ දසුන දරුවාගේ පියාගේ නෙත ගැටුණේ මේ මොහොතේ. ඔහු ඉක්මනින්ම වෛද්‍යවරයා වෙත දිව ගියා.

"ඩොක්ටර් කෙනෙක් වුණාම වගකීමක් නැද්ද? කොච්චර වෙලාවක් ගත වුණාද හදිසි රෝගියෙක් බලන්න එන්න" පියා දෝෂාරෝපණයක් මුදාහැරියා.

"අනේ සමාවෙන්න. මං හැකි ඉක්මනින්ම තමයි ආවේ" ඔහු ප්‍රතිචාර දක්වමින් ශල්‍යාගාරයට ඇතුළු වුණා.

"දැනගන්න, මගේ දරුවගේ සම්පූර්ණ වගකීම ඔයාගේ. පරක්කුව හින්දා එයාට මොනව හරි වුණොත් ඔයාව මං ලේසියෙන් අතඅරින්නේ නෑ" පියා ආවේගශීලීව කිව්වා.

පැය කිහිපයක් ගෙවී ගියා. ශල්‍යාගාරයේ දොර විවෘත කරගෙන වෛද්‍යවරයා එළියට පැමිණියා. ඔහුගේ විඩාබර දෙනෙත් අතර බලාපොරොත්තුවක සේයාවක් සොයාගන්න හැකියාවක් තිබුණා.

"කියන්න ඩොක්ටර්, අපේ පුතාට කොහොමද?" දරුවාගේ අම්මා විමසුවා.

"බයවෙන්න දෙයක් නැහැ. ඔපරේෂන් එක සාර්ථකයි. එයාව වාට්ටුවට දාන්න පුළුවන්." වෛද්‍යවරයා අපහසුවෙන් මෙන් සිනාවක් නඟන්නට උත්සාහ කරමින් කිව්වා.

ඒ මොහොතේම ඔහුගේ දෙනෙත් කඳුළින් පිරීගොස් ඉතාම ශෝකබරිත ස්වභාවයක් ගත්තා. ඔහු ඉතාම ඉක්මනින් රෝහලින් පිටවී ගියා.

වෛද්‍යවරයාගේ සංවේදි මුහුණ දරුවාගේ පියාගේ දෑසෙන් වසන් කරන්නට නොහැකි වුණා. ඔහු එළියට පැමිණෙමින් සිටි හෙදියක් ඇමතුවා.

"ඇයි මිස් ඩොක්ටර් අප්සෙට් එකෙන් වගේ ගියේ? අපේ දරුවා ගැන අපිට බයයි"

"ඩොක්ටර් ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. අපි කතා කළාමත් එන්න පුළුවන් තත්ත්වෙක නෙවෙයි එයා හිටියේ. අනෙක මේ ඩොක්ටර් නෙවෙයි අද එන්න ඉන්නේ."

"අනෙක් ඩොක්ටර් එන්න කාලය වැඩිපුර යන නිසා ලෙඩාගේ තත්ත්වේ හින්දයි ලොකු කරදරයක් තියාගෙනත් ආවේ" හෙදිය කිව්වා.

"ලොකු කරදරයක්?" පියා නැවත ප්‍රතිරාව කළා.

"ඔව්, ඩොක්ටර්ගේ තාත්තා ඇක්සිඩන්ට් වෙලා. දැඩි සත්කාරේ හිටියේ අපි කතාකරන වෙලාවේ. ඔයාගේ පුතාගේ ඔපරේෂන් එක පටන් ගනිද්දිම එයා නැති වුණා කියලා කෝල් එක ආවා"

තමන් කොයිතරම් කලබල වෙලා මොනතරම් දේවල් කිව්වාද කියලා පියා කල්පනා කළා. තමන්ගේ පියාගේ අවසාන මොහොතේ ළඟ ඉන්න තීරණය නොකර තමන්ගේ දරුවාගේ ජීවිතය බේරා ගන්න ආව මිනිසා දෙවියෙක් කියලා ඔහුට හිතුණා.

අවශ්‍ය වෙලාවේදී ගත්ත දැඩි තීරණේ හින්දා වෛද්‍යවරයාට ජීවිතයක් රැකගන්නට ඉඩ ලැබුණා. සමහර තීරණ ගන්න ලොකු ශක්තියක් තියෙන්න ඕන කිව්වේ ඒ නිසයි.

ලේසි පහසු තීරණ ගන්නත් කල්ගත කරන සමාජයට දැඩි තීරණ ගන්නේ කොහොමද කියලා ලොකු පාඩමක් ඉන් කියා දෙනවා. ඔබත් උත්සාහ කරලා බලන්න. එය අමිල වටිනාකමකින් ලොව උපහාරයෙන් පුදනු ඇත.---

[මේනක මදුජිත්]

මාතෘකා