ලාවන්‍යා!

 ඡායාරූපය:

ලාවන්‍යා!

ලාවන්‍යා අපිට හමුවෙනකොට දස අවුරුදු වියැතිය. ෆිට් එක හැදීම නිසා වාට්ටුවට ඇතුළු කළ ඇය වැඩීමේ දුර්වලතා එක්කම බරත් අඩු දරුවෙක් විය.

"අම්මේ, අර ඩොක්ටර්ට තියෙන්නෙ මගෙ නමමයි" ඇය එහෙම කියලා තිබුණා. වාට්ටුවට ඇතුළු කළ වේලාවේ ඉඳන් මම එයාව පරීක්ෂා කළ නිසා ලාවන්‍යා මා එක්ක ගොඩක් හිතවත් වුණා.

නිතර හැමෝම එක්ක තරහා ගන්න, තමන්ගෙම කොණ්ඩෙ අහුරුපිටින් කඩාගන්න, අම්මාට ගහන, වද දෙන, රෑ වෙනකම් ටී.වී. බලන්න වලිකන, කොළ කෑලි කටේ දමා ගිලින... මේ පැංචිගේ වැඩ ගැන කතාබහ කරන එකත් ඒවාට පිළියම් සොයන එකත් අතිශය සංකීර්ණ වුණා.

ඇයගේ පාසලේ වැඩකටයුතු සොයාබලන්න පොත් බෑග් එකම ගෙනෙන්න කියූ විශේෂඥ වෛද්‍යතුමිය ඒ සියල්ල පරීක්ෂා කරමින් ඇයට වැඩ පවරමින් පැයක් දෙකක් තිස්සේ ඇගේ අවබෝධතා මට්ටම සහ හැකියාවන් බලාකියා ගත්තා. මේ දරුවාට යම්කිසි සහනයක් ලබාදිය යුතුයි කියා පාසලටත් ලියුම් යැව්වා. ඊට අමතරව තමන්ටම හානිකර ගනිමින් අනුන් හා උදහස් වෙන පහරදෙන වැඩ නිසා ඒවාට පිළියමක් ලෙස මනෝ වෛද්‍ය අංශයේ වෛද්‍යවරයාටද යොමුකළා. ඔහු දරුවන් හා කතාබහ කරන්න බොහෝ සමත් පුද්ගලයෙක්. ඇය ක්ලීනික් එකට ආවොත් මගේ ළඟ ඉන්න ලෙඩුන් අයින්වෙනකම් ඉඳලා අම්මා එක්ක කොහොමහරි මාවම පෙන්වලා මා ළඟට එන බවක් පෙනෙන්න තිබුණා. ඒ විදිහට ලාවන්‍යා මා එක්ක බොහොම කුළුපඟ වුණා. ඇයට මම වගේ වෙන්න ඕනෑ බවක් මට වැටහුණා. ඇය මම විදිහට හිතාගෙන කරන කියන දේවල් ගැන ඇගේ අම්මා මා සමඟ පැවසුවා.

"ෂා.. අද නම් සුදු වෙලා. .... උස ගිහින්. දැන් ලස්සන වෙලා .. ආ ...මෙයා කනවා නේද හොඳට. එහෙම නේද?මෙහෙම නේද? " මගේ ඒ වගේ ආටෝප කතාවට ලාවන්‍යාගේ මුහුණ විකසිත වෙනවා. හරි අහිංසකව ඇය හිනාවෙනවා.

කොහොමහරි ළඟදී දැනගත්තා දැන් ඇයගේ ඉගෙනීමේ වැඩත් හොඳයි කියලා. පාසලේදී හොඳට ලකුණු ගන්න බවත් අර තරහ යෑම් දැන් ගොඩක් අඩු බවත් දැනගන්න ලැබුණා. දැන් ඇගේ බරත් වැඩිවෙලා. අපේ පෝෂණවේදී වෛද්‍යවරියගේ අනුදැනුම මත ආහාරවේලත් වෙනස් කරලා.

ටික කලකින් අපට තවත් සතුටු ආරංචියක් ලැබුණා. ඒ, මෙතෙක් කලක් විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් ලෙස පන්තියේ වෙනත් දරුවකුගේ පොතක් බලාගෙන ගුරුතුමී කියන ඒවා ලියූ ලාවන්‍යා දැන්හොඳින් ලකුණු ගන්න බව. ඒ එක්කම මීට පෙර ඇයට උදවු කළ දරුවන්ගේ මවුපියන් ලාවන්‍යාට උදවු නොකරන තමන්ගේ දරුවන්ට උපදෙස් දී ඇති බවත් ඒ නිසාම දැන් ලාවන්‍යාට අතපසු වූ වැඩ බලාගැනීමට හෝ පිටපත් කරගැනීමට නොදෙන බවත් ඒ ආරංචියේම කොණක තිබුණා. ඉතින් ලාවන්‍යාගේ අම්මාට දැන් නිතර ඉස්කෝලේ ගිහින් ඒවෙනුවට ඇයට උදවු කරන්න සිදුවෙලා. එයට කලාප කාර්යාලයෙන් පවා අවසර අරගෙන.

ඒ වගේම ලාවන්‍යා අඩු කාලයකදී දැඩි සීග්‍ර වර්ධනයකින් හොඳ අතට හැරුණු නිසා ඒ පාසලේ ගුරුතුමී අප ඒකකයට තවත් එවැනි දුර්වලතා ඇති දරුවන් යොමුකර තිබුණා. මට ඇති දුක දරුවන්ගේ සිත්වලට තරගය ඇතුළු කර මේ දරුවාට උදවු කරමින් හිටි දරුවන්ගේ අම්මලා අප්පලා ගැන... දැන් ලාවන්‍යා හොඳින් වැඩ කරද්දී තමන්ගේ දරුවන් අභිභවා යාවි යැයි බියෙන් කටයුතු කිරීමය.

තවම ලාවන්‍යාගේ කියවන විට ලිවීම වේගවත් නැති නිසා ළඟ ඉන්න ළමයාගෙන් බලාගෙන ලියන්නේ. ඉතින් දැන් ලාවන්‍යගේ අම්මාත් ඉස්කෝලේ යනවා.

"ඩොක්ටර්ස්ලා නිසා තමා මෙයා මේ තරම් ඉක්මනින් හරිගියේ. ඇගේ බරත් වැඩි වෙලා, අතුරු ආබාධත් අඩු වෙලා, පාසල් වැඩත් හොඳින් කරනවා "

ඇගේ අම්මා අපට ස්තූති කරනවා.

" නෑ අම්මා... අපිට පුළුවන් උපදෙස් දෙන්න විතරයි. ඒක ඔයාගේ කැපවීමම තමා. අම්මා මේ තරම් මේ දරුවාට උදවු නොකළා නම් කොහොමද මේ දරුවා මේ තරම් ඉක්මනින් හොඳ වෙන්නෙ? ඔයාගේ ජයග්‍රහණය...මේක ඔයාගේ මහන්සිය..."

මම ඒ අම්මගේ කැපවීම අගය කළා.

ගුරුතුමිය නම් බොහෝ උදවු කරන බවද, ලාවන්‍යා නිසාම ඇය වේගය අඩුවෙන් පිටපත් ලිවීම සඳහා කියවන බවද ඒ අම්මා පැවසුවා. දවසට මිනිත්තු 10ක් පමණ ගෙදරදී ලාවන්‍යාට කියවන විට ලිවීම කරවන්නැයි මම ඇගේ අම්මාට උපදෙස් දුන්නා. හෙමින් හෙමින් කියවන වේගය වැඩි කරමින් ඇය ඒ සඳහා හුරුකළ හැකි බවද මා පෙන්වා දුන්නා. දරුවන්ගේ සිත් මල් වගේ. ඒ මල් කැකුළු කඩා පොඩිකර දමන්නේත් ඔවුන්ගේ සිත්වලට කැළිකසළ එකතු කරන්නේත් වැඩිහිටියන්. තමන්ගේ දරුවාට වඩා හොඳින් වැඩකරන දරුවන් කෙරෙහි ද්වේෂයෙන් පසුවන ඔවුන් තමන්ගේ දරුවා හදාගන්නට, උනන්දු කරන්නට වෙහෙස නොවී අනෙක් දරුවාගේ ඉගෙනුම කඩාකප්පල් කරන්න වෙහෙසෙනවා. මේ තරගය ඉවර වෙන්නේ කවදාද?

මම මේ ඒකකයෙන් ගියත් මගේ වර්ණනා කිරීම් හමුවේ විකසිත වන ලාවන්‍යාගේ හිනාව මට හැමදාම මතක තියේවි. අම්මාගේ සායෙන් අදිමින් මගේ පෝළිමටම එන්න මාන බලන මේ පොඩිඑකීව කොහොමත් මතක තියේවි.

[වෛද්‍ය බෝධිනී

මාතෘකා