ඇෆ්ගන් දැරිය

 ඡායාරූපය:

ඇෆ්ගන් දැරිය

නැෂනල් ජියෝග්‍රැපි සඟරාවේ 1985 වසරේ ජුනි කලාපය සැරසුවේ ඉහත වම්පසින් දැක්වෙන ඇෆ්ගන් දැරිය (Afghan Girl) නම් ඡායාරූපයයි. ඡායාරූප මාධ්‍යවේදි ස්ටිව් මැක්කරි විසින් ගන්නා ලද එම ඡායාරූපය 20 වැනි සියවසේ ලෝකයේ ඉමහත් අවධානයට ලක්වූවද එහි සිටින දැරියගේ සැබෑ අනන්‍යතාව මැක්කාරිත්, ලෝකයත් දැනගත්තේ පළ වී වසර 17කට පසුවය. ඇය සැබෑ නම වූයේ ෂබාත් ගුලාය.

රතු හිස් පළඳනාවක් යුතුව කොළ පැහැති තියුණු දෑසින් කැමරාව දිහා එක එල්ලේ බලා සිටින ඇෆ්ගන් දැරියගේ රුව මැක්කරිගේ තෙවන ඇසට හසුවුයේ පකිස්ථානයේ නසීර් බෑග් අවතැන් කඳවුරේදීය. එය සෝවියට් දේශය ඇග්ෆනිස්ථානය ආක්‍රමණය කිරීම හේතුවෙන් පීඩාවට පත්වූවන් රැඳී සිටි කඳවුරක් විය.

ලියනෝඩෝ ඩාවින්සිගේ සුප්‍රකට මොනාලිසා සිතුවම සිහිපත් කරන මෙම ඡායාරූපය ”ඇෆ්ගන් යුද්ධයේ මොනාලිසා” නමින් හැඳින්විණි. මෙය යුද්ධයෙන් පීඩාවට පත් දැරියන්ගේ සහ කාන්තාවන්ගේ අාධ්‍යාත්මය ලොවට විදහා පෑ සංකේතයක් බඳු විය.

ෂබාත් ගුලාව මැක්කාරි ඡායාරූපයට නැගුවේ නිකෝන් FM 2 කැමරාවකිනි. එදා මෙදා තුර නැෂනල් ජියෝග්‍රැපි සඟරාවේ පළවු විශිෂ්ටතම ඡායාරූපය ලෙස සැලකෙන මෙය, යුද්ධයේ කෘරත්වය, ඒ තුළින් ඇති වන විනාශය සහ අපේක්ෂාභංගත්වය ලොවට පෙන්වීමට යොදා ගැනුණි. සැබැවින්ම ඇෆ්ගන් දැරියගේ තියුණු දෑස් යුද්ධයේ අඳුරු පැතිකඩ නිහඬවම සන්නිවේදනය කළේය.

මෙම ඡායාරූපයේ සිටින දැරියගේ සැබෑ අනන්‍යතාව සොයාගැනීමට ස්ටිව් මැක්කාරි 1990 වසරේ සිට කිහිප වතාවක්ම උත්සාහ දැරූ අතර, එම සියලුම ප්‍රයත්නයන් අසාර්ථක විය. නැෂනල් ජියෝග්‍රැපි කණ්ඩායමේ පිරිසක් සමඟින් මැක්කාරි 2002 වසරේ ජනවාරියේදි පකිස්ථානය කරා පිටත්ව යන්නේ කෙසේ හෝ ඇය සොයාගැනීමටය. ඡායාරූපය ලබාගත් නසීර් බෑග් වෙත යන ඔවුන් එහිදි මෙම ඡායාරූපය ප්‍රදර්ශනය කරයි. එහි සිටින්නේ තමන් යැයි කීමට කාන්තාවන් බොහෝ දෙනෙක් ඉදිරිපත් වන නමුත් නිවැරදිම කාන්තාව සොයාගැනීමට ලැබෙන්නේ නැත. කෙසේ නමුත් වෙහෙසකර සෙවීමකින් අනතුරුව ඇය ඇග්ෆනිස්ථානයේ ටෝරා බෝරි කඳුවැටිය ආසන්නයේ ජීවත් වන බවට හෝඩුවාවක් ලැබේ.

ඒ ඔස්සේ ඇග්ෆනිස්ථානයට යන මැක්කාරි ඇයගේ නිවසට ගොඩවූ පමණින්ම ඇය හඳුනාගනී. ”ඔව්. මේ ඇයම තමා” ඔහුගේ මුවින් පිටවේ. ෂබාත්ට ද ඡායාරූපය ගත් අවස්ථාව මතකයට නැඟේ. කෙසේ නමුත් නැෂනල් ජියෝග්‍රැපි සඟරාව මුල් ඡායාරූපය සමඟ ෂබාත්ව අක්ෂි පරික්ෂාවක් (iris recognition) සඳහා කේම්බ්‍රිඡ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝන් ඩග්මාන් වෙත යොමු කරන අතර, එයින්ද නිරවද්‍යතාව තහවුරු වෙයි. ඉහත දකුණ පස ඡායාරූපයේ පෙනෙන්නේ 2002 වසර වන විට ෂබාත් ගුලාගේ පෙනුමයි.

පුදුමයට කරුණ නම් 13 වියේදි ගත් තමාගේ ඡායාරූපය පළමු වරට ඇය දකින්නේ දහඅට වසරකට පසු වීමයි. ඒ වන විට ඇය තිස් හැවිදිරි කාන්තාවකි.

ෂබාත්ගේ පවුල සෝවියට් දේශය ඇග්ෆනිස්ථානය ආක්‍රමණය කිරීමෙන් විනාශ වූ පවුල් දහසක් අතරින් තවත් එක් පවුලක් විය. ඇයගේ දෙමාපියන් මිය ගොස් තිබුණේ බෝම්බවලට හසුවීමෙනි. තම උපන් ප්‍රදේශය වන නැගෙනහිර නාන්ගර් වෙතින් 1984 වසරේදී මිත්තණිය ඇයව, ඇයගේ සොහොයුරා සහ සොහොයුරියන් තිදෙනා රැගෙන පළා යන ගමනේදි ඔවුන්ගේ නැවතුම වන්නේ පකිස්ථානයේ නසීර් බෑග් අවතැන් කඳවුරයි. මැක්රේගේ තෙවැනි ඇසට ඇය හසුවන්නේ එහිදිය. රහමාත් ගුලා සමඟ විවාහ වන ඇය නැවත 1992 වසරේදි තම මව්බිම කරා පිටත්වෙයි.

කාලය සහ දුෂ්කරතාව ඇය වයසට වඩා වයස්ගත කර තිබිණි. තවමත් රළු ඒ දෙනෙතේ කිසිදු තෙතමනයක් දක්නට නොතිබිණි. ඇය ගතකර තිබුණේ අතිශයින්ම පීඩාකාරී දිවි පෙවතකි. දියණියන් හතරදෙනෙකුට ෂබාත් උපතදී තිබිණි. ඉන් එක් දියණියක් බිළිදු වියේදිම මියගොසිනි. ඇයට තිබූ එකම අරමුණ සිය දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි.

මැක්කරිට ෂබාත්ව මුණගැසෙන විට ඇග්ෆනිස්ථානය තලේබාන් සංවිධානයෙන් පාලනයෙන් මිදී ඇමරිකානු ග්‍රහණයට නතුව තිබිණි. දැන් ඔබ ආරක්ෂිතව සිටිනාවාදැයි අයෙක් ඇසූ ප්‍රශ්නයට ඇය දුන් පිළිතුර වූයේ ”නැහැ. තලේබාන් පාලනය හොඳයි. එහි අවම වශයෙන් අපිට සාමය හා නීතියේ පාලනයවත් තිබුණා”

නැෂනල් ජියෝග්‍රැපි ආයතනය ඇයව මුණගැසීම අළලා 2002 වසරේදි වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන අතර, ඇෆ්ගන් දරුවන් සහ කාන්තාවන් අධ්‍යාපනයෙන් සවිබල කිරීමේ අරමුණින් ඇෆ්ගන් තරුණියන්ගේ පදනම නමින් සංවිධානයක් පිහිටුවිය. එහි ප්‍රතිලාභ පිරිමි ළමයින්ටද ලබාදී හැකි අන්දමට වඩාත් පුළුල් කිරීමේ අරමුණින් 2008 වසරේදි එම සංවිධානයේ නම ”ඇෆ්ගන් දරුවන්ගේ පදනම” ලෙස වෙනස් කරන ලදි.

ඇෆ්ගන් දැරියගේ සැබෑ අනන්‍යතාව එසේ හෙළිදරව් වුවත් ඇයගේ ජීවිතය වෙළා පැවති අවාසනාව නම් එයින් කෙළවර වූයේ නැත. ඇෆ්ගන් දැරිය හෙවත් ෂබාත් ගුලාගේ වත්මන් කතාව සමඟින් ලබන සතියේ හමුවෙමු.

මාතෘකා