බඩ පිරෙන්න ගුටි කන්න!

 ඡායාරූපය:

බඩ පිරෙන්න ගුටි කන්න!

මාත් ඩිංගිත්තක් ගැස්සිලා හිටිපියෝරෙ එහෙම්මම හිටියා මැණිකෙ නැන්දා ඇහුවම ගුටි කනවද කියාලා. මොකදෑ මං උපන්තේකට හල්ගුටි කාලා තියා දැකලාවත් තිබ්බෙ නැහැ නොවැ. හල් ගස් ගැන නම් අහලා තිබ්බා. එව්වයෙ මුල් පොතු පිපිරිලා වෑස්සෙන ලාටුනෙ හල් දුම්මල කියන්නෙ. ඇල් තෙලිජ්ජ ඩිංග පැහිල්ල නවත්තා ගන්ඩ ඕනනම් හල් පොත්තක් මුට්ටියට එක්කාසු කෙරුවම හරි කියලත් කතාවක් මල්කාරයො අතරෙ තියෙනවා.

හා ඉතිං බක් මහේ වාගෙ වෙද්දි හල් ගස්වල පල උපදිනවා හැම අවුරුද්දෙම. එව්වා පට්ට පැලෙන්ඩ පැහිලා බිං වැටෙන්නෙ නිකිණ්නෙන් පස්සෙ. ගුටි කන්ඩ හරි පිට්ටු නැත්තං වෙන කැවුමක් කන්ඩ හරි මනාපනම් කරන්ඩ ඕන මේ හල් ගෙඩි එක්කාසු කරන එක තමයි. ඕක වැඩියෙං කෙරුවෙ බවලත් උදවිය. මොකද හල් ගෙඩි එක්කාසු කරාන ආපු පලියට කනවා බොරු. එව්වයෙං පිටි ඇන්න කන්ඩ පුළුවං විදියට තිත්ත ඇරගන්න එකත් එක්තරා විදියක ජාති කරුමාන්තයක්. හල් පිටිය ගන්ඩ කලියෙං එව්වයෙ කටු ලෙල්ල අයින් කරන්ඩ ඕනිමයි. ඊටපස්සෙ හම්බුවෙන්නෙ හල් ගෙඩියෙ ජාති මදේ. දැන් මේ මදේ තමයි හීනිවට ගාගන්ඩ ඕන. ඔය කතාව කිව්වම පස්සෙන් පහු තේරෙයි මේ හල් පිටිය කියන්නෙ රැල් හීනියට ගාගත්ත මදේ කියලා.

ඒ කාරියට ගෑවිල්ලක් හදාගන්ඩ ඕනෑ. ඒක ඒ හැටි කාරියක් නෙවෙයි ‍බෙලෙක්ක පියනක් හොයාගත්තම. ‍බෙලෙක්ක පියන කොලොම්බක් උඩ හරි ලී කොටේක උඩ හරි තියලා ඇණයක් ඇරන් ගාවින් ගාව හිල් හදාගන්නවා. එක පැත්තක හිල් ඇතුළට නෙරද්දි අනෙක් පැත්තෙන් යම්තමට තහඩුව ඉස්සෙනවා නෙව. දැන් මේක ඇඟිලියක් වාගෙ නමා ගත්තම ඇඟිලි රුවාගෙන අර සුද්දබුද්ද කරාගත්තු හල් ගෙඩිය හීනියට ගා ගත්තැකි. ගෑවිල්ල ලේසි වෙන්ඩ හල් ලෙල්ල ඇරපු හල් ගෙඩි ටිකක් දියේ පොඟා ගන්ඩ ඕන. ඕං ඔයාකාරෙට හල් ගෙඩි දහයක් දොළහක් ගා ගත්තම හල් රැල් හුණ්ඩු දෙකතුනක් හරිගස්සා ගත්තැකි. දැන්නම් ඔය කාරණාවට බෙලෙක්ක පියන් මොකටද? ගෙවල්වල ග්‍රේටර තියෙන්නෙ.

ඉතිං මේ හීනි හල්රැලට තමයි හල් පිටි කියව්වෙ. එව්වා ඉතිං ඕන පිටියකට මුහු කරලා අර කලිම්ම කිව්ව කෑම ජාති හදාගන්ඩ හරි නැත්නම් කැකුළු හාලක් එක්ක කලවමේ කිරි බතක් උයාගන්ඩ හරි පුලුවන්. හැබැයි මෙහෙම ගා ගත්තට හල් පිටිය කට අහළකට ගන්නවා බොරු. කරවිල මොන තිත්තක්ද හල්නෙ කට කාරන්ඩ තරම් තිත්ත. දැන් ඔං එහෙනම් හල් පිටියෙ තිත්ත ඇරගන්ඩ ඕන. ඒකට නම් ඉතිං දවසක් හමාරක් යනවා. හැබැයි මහ අමාරු කාරියක් නෙවෙයි. කරන්ඩ තියෙන්නෙ මේකයි. එක්කාසු කරගත්ත හල් පිටි පන්මල්ලකට හරි කොට්ට උරයකට, රෙදිමල්ලකට උනත් කමක් නෑ පුරවලා කට බැඳලා වක්කඩක හරි වෙන ගලන දොල පාරක හරි වතුරෙ එබෙන්ඩ එල්ලලා තියෙනවා. ඒකෙන් වෙන්නෙ වරුවක් දෙකක් අර ගලන වතුරට හල් තිත්ත දියවෙලා යන එක. පුදුමෙ කියන්නෙ මේ ප්‍රතිකර්මෙන් තිත්ත ඇරෙනවා ඇරෙන්ඩ වෙන ආසනාසියක් වෙන්නෙ නෑ අමාරුවෙන් තනා ගත්ත හල් පිටියට.

දැන් ඉතිං තිත්ත ගෙහුං තෙත බරියම් වෙලා තියෙන හල් පිටිය ගොඩ ඇරං දිය මිරිකගත්තම ඕං පුළුවන් කෑම හදන්ඩ ගන්ඩ. ඒකෙදි මුලිම්ම කරන්නෙ මේ හල් රැල් නැත්තං හල් පිටි හල් මුල් විදියට තම්බගන්න එක. ඒක මහ අමාරු කාරියක් නෙවෙයි. කොළපත්වල පොට්ටනි බැඳලා මුටිටියක දාලා තම්බගන්ඩ පුළුවන්. සමහර නැන්දම්මලා මේ හල්පිටි පොට්ටනි තැම්බෙන මුට්ටියටම කඩපිම්මක් බැඳලා අරක තැම්බිලා එන හුමාලෙන්ම හල් හැලපත් එකවිඩේම තම්බගත්තා. ඒකට තමයි ආයුබෝවන්ඩ ගෑනුන්නෙ සීරුව කියන්නෙ. තම්බාගත්ත හල් මුලුත් සීනි ටිකක් ඉහාන කන්ඩ බැරිවාද?

තනාගත්ත හල්පිටිය හාල් පිටි හරි තව ජාතියක් එක්ක හරි කලවම් කරාන කඩපිම්මෙ නැත්තං බම්බුවේ දාලා පිට්ටු හදාගන්ඩ ගං ගෙවල උන්දැලා මනාපයි. මොකද රෑ වේලකට හල් පිට්ටුවක් දෙනවට කොයි මිනිහද අකැමැති. හල් කෑවම දළ ඌරගෙ හයිය කියලනේ කිව්වෙ. මේ හල් පිටිවලට හාල් පිටි හරි පාන් පිටි හරි දාලා පදමට ලුණු සීනි එක්ක මුද්දරප්පලං ඩිංගකුත් දාලා කොස්කොළ හරි මිල්ල කොළ හරි ගොටුවල දාලා කඩපිම්මෙ තම්බගත්තම හල් වණ්ඩු නැත්නම් හල් ගොටු පිට්ටු කන්ඩ පුළුවන්. ගොටුවල දාන්නෙ නැතිව ටිකක් දියාරුවට කඩපිම්මෙම වක්කරලා නෑඹිලියෙන් වහලා තම්බගත්තනම් හල් පුස්නාඹු. කැටේපොළදි කාපු 'හල්ගුටි' මටනම් දැනුණෙ කැවුමක් වගේ. ගෙදර රොටී හදද්දිත් හල් පිටි තියෙනවා නම් සමෝසමේ කලවම් කරලා හල් රොටී හදාගන්ඩ පුළුවන්. හල් තලප නැත්නම් හල් කිරියා හදන්නෙ ඔය ගම් තුලානවල කිරියා හදාගන්න විදියමට තමයි. ඔය ගැන කියද්දි මට මතක් වෙන්නෙම අපේ අම්මා පොල්කිරියි රතු සීනි නැත්තං හකුරුයි දාලා හදන කිතුල් තලප.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා