පාසල් විනය වේවැලෙන් ඔබ්බට

 ඡායාරූපය:

පාසල් විනය වේවැලෙන් ඔබ්බට

 

“වේවැල්කෝටු නාරං සියඹලා අතු
තුල් පොල් ඉරටු වැල් කහඹිලිය අතු
මෙහැම ඉපල් මගෙ දෑතට නොපෑ යුතු
පමා නොවී එමි අකුරට මෙයින් මතු”

ජනශ්‍රැතියේ එන ජන කවියකින් ගුරුවරයා හා විනය පිළිබදව දක්වා ඇත්තේ එසේ ය.

තිලමුට්ටි ජාතකයේදී ආචාරීන් සමීපයේ සිටි එක්තරා කුල කුමරුවෙක් විසින් ස්නානය පිණිස යන අතරවාරයේදී මැහැල්ලක අව්වේ දමා තිබූ තල මිටක් ගෙන කටේ ලා ගත්තේ ය. වරක් දෙවරක් මේ මැහැල්ල “කොලුකමටයැයි” සිතා ඉවසා සිටියාය. කීප දවසක් කුල දරුවා එකී වැරැද්දම කරන නියායෙන් ගුරුවරයාට දන්වා, දඬුවම් පමණුවාලීය. “මං කෙදිනක හෝ මෙහි වාඩුව ගන්නමි”යි සිතා කල් හැරීය. කල් ඉක්මගොස් කුල දරුවා රාජකුමාරයෙක් නියායෙන් රජ පදවියට පත් විය. තමන්ට දඩුවම් කළ ගුරුවරයා මරා දමමි’යි සිතා වරක්, දෙවරක්, තෙවරක් එන්නටයැ’යි පණිවිඩ යැවීය. ගුරුවරයා නොපැමිණියේය. කල් ගතව රජු බොහෝ වයසට එලැඹි කල, ගුරුවරයා රජු අබියසට පැමිණ මෙසේ කීවේ ය. "නුඹට මා එදින දඬුවම් නොකළේ නම් නුඹ දැන් සොරෙකි, රජකු වී සිටින්නේ දඬුවම් කොට වරදට බියක් ඇතිකළ නිසා”යැයි කී විට රජු සිහියට එලැඹ ගුරුවරයා පසසා තෑගි බෝග පිරිනැමීය. බෞද්ධ සාහිත්‍යයෙහි ගුරුවරයා ළමයාව හික්මවිය යුතු ආකාරය දක්වා ඇත්තේ එසේය.

පාසල, ළමයින්, ගුරුවරුන් හා විනය ගැන කථිකාවතක් නැවත ඇති වී තිබේ. ගුරුවරු පාරට බැස තව දුරටත් පාසලේ විනය රැකිය නොහැකි බව දක්වමින් උද්ඝෝෂණ කරමින් සිටිති. ඇතැමුන් ප්‍රකාශ කරන්නේ ගුරුවරයකුට පමණක් නොව, වෙන කිසියම්ම කෙනකුට දරුවන්ට තැළීමට අවසර දෙන්න යැයි ඉල්ලීමට අයිතියක් නැති බවකි. එමෙන්ම එලෙස තැළීම සාධාරණීකරණය කිරීමටත් නොහැකිය. දෙමාපියන් පාර්ශ්වයෙන්ද ගුරුවරුන්ගේ පාර්ශ්වයෙන්ද පරස්පර විරෝධී අදහස් ඉදිරිපත් වෙමින් පවතී.

පාසලෙහි විනය ආරක්ෂා කිරීම පිළිබඳව “ස්ථානීය බාරකරුවන්” වශයෙන් ගුරුවරුන් හඳුන්වා දී තිබුණද දරුවන්ට දඬුවම් කිරීමේ කිසිදු අයිතියක් ගුරුවරුන්ට පවරා නැත. පාසලේ විනය ආරක්ෂා කිරීම හා පවත්වාගෙන යෑම පිළිබඳව නිකුත් කර ඇති 1961/26 දරන 1961.07.21 දිනැති චක්‍රලේකය හා 2001/11 දරණ 2001.03.20 දිනැති චක්‍රලේකය අවලංගු කර තිබේ. ඒ වෙනුවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති 2005.05.11 දිනැති 2005/17 දරණ චක්‍රලේකයෙන් විනය පවත්වාගෙන යාම වෙනුවෙන් හෝ කුමන ආකාරයකින් කෙරෙන ශාරීරික, කායික, මානසික දඬුවම් වලක්වා තිබේ. එහි දක්වා ඇති ආකාරයට දඬුවම් කිරීමෙන් දරුවන් සමාජ විරෝධී ක්‍රියාවන්ට යොමු වීම, ළමා අපහරණයට ඇති අවදානම, ආක්‍රමණශීලී ක්‍රියාවන් ඇති වීම, නිෂේධනාත්මක සමාජ ආකල්ප ඇතිවීම, යහපත් සංකල්ප ඇතිකිරීමේදී අහිතකර ආකාරයෙන් බලපෑම යනාදිය සිදුවිය හැකිබව දක්වා තිබේ. එබැවින් දරුවන්ට කුමන අයුරකින් හෝ දඬුවම් කිරීම හේතුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් හෝ දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩුවක් හෝ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ විනය ක්‍රියාමාර්ගයකට ගුරුවරයාට මුහුණ දීමට සිදුවේ.

මේ තත්ත්වය මත පාසල් තුළ විනය ආරක්ෂා කිරීම ගැටලුකාරී වී තිබේ. එවැනි විනය විරෝධී කටයුත්තකදී දරුවන්ට කායිකව දඬුවම් කිරීම පමණක් නොව බැණ වැදීම, තර්ජනය කිරීම, නොසලකා හැරීම යනාදිය ද නොකළ යුතු බවට දක්වා තිබේ. ස්ථානීය දෙමාපියන්ය යන නීතිමය පදනමේ සිට දරුවන් විසින් යම් විනය විරෝධී කටයුත්තක් සිදුකළ හොත් එය නොසලකා සිටීම රාජකාරිය පැහැර හැරීමක් වේ. ගුරුවරුන්ට සිදුව ඇත්තේ “ගෙදර ගියොත් අඹු නසියි, මඟ සිටියොත් තෝ නසියි” යන කියමනට නතු වන්නටය.

දරුවන් දණ්ඩනයට බිය වන්නා සේම ගුරුවරුන්ද දණ්ඩනයට බිය වී විනය ක්‍රියාමාර්ගයන්ගෙන් ඉවත් වුවහොත් සමස්ත පාසල් පද්ධතියම කඩා වැටේ. අඩුපාඩු සහිතව වුවත් ලංකාව අද ලබා ඇති ජයග්‍රහන සියල්ලටම නිදහස් අධ්‍යාපනය සෘජු වශයෙන්ම උපකාරී වී තිබේ. දරුවන්ගේ විනය බිඳ වැටීම ගුරුවරුන්ට පමණක් නොව දෙමාපියන්ටද සමස්ත සමාජයටම විනාශයක් අත් කර දෙන්නකි. එබැවින් දෙමාපියන් දරුවන් සහ ගුරුවරු එකම මේසයකට පැමිණ සාකච්ඡා කළ යුතු කාලය එළඹ තිබේ.

විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත්වී කුසලතා හා ආකල්ප පෙරටුකොටගත් නව අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් සාකච්ඡා කළ යුතු කාලය එළඹී තිබේ. පන්ති කාමරයේ ඩෙස් පුටු එහා මෙහා කිරීමෙන්, කළු සුදු පෙළ පොත් වෙනුවට වර්ණ පිංතූර පොත් බෙදා දීමෙන් පමණක් මේ ගැටලුව ලිහා ගැනීමට නොහැකිය. අධ්‍යාපනයේ අරමුණු හා අභිමතාර්ථයන්ගේ සිට සියලු ස්ථරයන් ප්‍රතිසංස්කරණයකට බඳුන් කිරීමෙන් තොරව ගුණාත්මක දරුපරපුරක් බිහිකර ගැනීමට නොහැකිය. එබැවින් වර්තමානයේ අප සැමගේ යුතුකම් හා වගකීම වන්නේ රටේ අනාගතය තීරණය කරන "අධ්‍යාපනය ගුණාත්මක ආකාරයෙන් වෙනස් කරනු" යන සටන් පාඨයත් රැගෙන ගුරුවරුන් සමග දෙමාපියන් ද දරුවන් ද වීදි බැසීමයි. එසේ නොකර එකිනෙකට ඔරවමින්, ගස්සමින්, බෝලය පාස් කරමින් කරන විරෝධයන්ගේ කිසිදු ප්‍රයෝජනයක් අත් වන්නේ නැත.

මාතෘකා