හෝමෝ ෆේබර් හෙවත් 'තතන මිනිසා'

 ඡායාරූපය:

හෝමෝ ෆේබර් හෙවත් 'තතන මිනිසා'

තාක්ෂණය පිළිබඳ අද බොහෝ දෙනෙක් කතා කරති. එහෙත් අදින් වසර දෙසීයක් පමණ ඉතිහාසය දෙසට ආපස්සට ගියහොත් අපට ගුවන් යානාවලින් නිකුත් කළ දුම්වලාවලින් ඇඳි සුදු රේඛා සහිත අහසක් හෝ එකිනෙකට සමාන්තරව විහිදී ගිය ගණ කලු තාර පටිවලින් යුත් මහාමාර්ග පද්ධතියක් මෙපොළව මත සැකසී නොතිබුණු බව අමතුවෙන් අවබෝධ කරගත යුතු දෙයක් නොවන්නේය. මක්නිසාදයත් අප දිවි ගෙවූ ගම්වල යටිතල පහසුකම්වල සංවර්ධනයේ ඉතිහාසය පිළිබඳ මනා මතකයක් අපට ඇති බව හඟිමි. ගෝලීය තත්ත්වයද එබඳුය. ඇතමකු විසින් හඳුන්වා දී ඇති පරිදි නූතන ලෝකය බිහිකිරීම සඳහා අවශ්‍ය දැනුම මානවයින් අත්පත් කරගත්තේ කාර්මික විප්ලවයෙන් පසුවය. මෙය සාවද්‍ය ප්‍රකාශයකි. එය අද්‍යතනය තුළ ලෝකය අත්පත් කරගත් තාක්ෂණික ශක්‍යතාවන්, මානව ප්‍රගමනයට වඩා වැඩියෙන් භාවිත කරන්නට පටන්ගත්තේ කාර්මික විප්ලවයෙන් පසුවය යනුවෙන් වැහැරීම නිවැරදිය.

සැබවින්ම මානවයා විසින් අත්පත් කරගනු ලැබූ මෙම තාක්ෂණික ප්‍රගමනය වෙත පියමැනීම සඳහා පළමු පියවර තැබුවේ අදින් වසර මිලියන තුනහමාරකට පමණ පෙර කාලයකදීය. එනම් එය අප චර්යාත්මකව නූතන මානවයකු බවට පත් වන්නට වසර මිලියන 3.2කට පෙර කාලයයි. දැනට ලැබී තිබෙන පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව නැඟෙනහිර අප්‍රිකාවේ විසූ හෝමෝ හැබිලිස් මානවයා විසින් ප්‍රථම ශිලා මෙවලම සකසනු ලැබුවේය. හෝමෝ හැබිලිස් යනු ආද්‍ය හෝමෝ සේපියානුවෙකි. එනම් නූතන මානවයාගේ පුර්වජයෙකි. ඒ අනුව මානවයා විසින් සකසන ලද මුල්ම මෙවලම වශයෙන් එය හඳුන්වා ඇත. එම මානවයාට එම ශිලා මෙවලම සැකසීමට හැකි වූයේ තම අතෙහි හුරුතාව සහ තම අතෙහි ක්‍රියාකාරීත්වය සඳහා සංඥා ලබාදුන් දියුණු මස්තිෂ්ක ක්‍රියාකාරීත්වය නිසාය. ඒ වන විට හැබිලිස් මානවයාගේ මස්තිෂ්ක ක්‍රියාකාරීත්වය සැසඳිය හැක්කේ නූතනයේ සිටින සිව් වියැති මානව දරුවකුගේ මස්තිෂ්ක ක්‍රියාකාරීත්වයටය. මිනිසා තාක්ෂණික දැනුම අත්පත් කර ගැනමේ ඉතිහාසය එබඳුය.

එනම් මානවයා මානවයෙක් වීම සඳහා පියනැඟූ පරිණාමයීය ගමන් මග ආරම්භයේ සිටම ඔහු අවට පරිසරය තම අභිමතය පරිදි වෙනස් කර ගැනීමේ පරිශ්‍රමයක නියැලිණි. සැබවින්ම එය ඩාවින් විසින් පරිණාමය සඳහා වඩාත් හේතු වූ කාරණාවක් වශයෙන් දක්වනු ලබයි. උචිතයාගේ උන්නතිය එනම්, වෙනස්වන පරිසර තත්ත්වයන්ට ගැපලෙන පරිදි එම විපර්යාසයන් දරා ගනිමින් එයට අනුවර්තනය වූ සත්ත්ව කාණ්ඩයක් වශයෙන් මානවයින්ට පිරිණාමය මගින් අත්පත් කරදුන් ප්‍රජානනය භාවිත කරමින් ඔවුහු තම අවට පරිසරය වෙනස් කරගත්හ. ඇතැම් අය අප අවට ලෝකය නියාමනය සහ පාලනය කිරීම සඳහා සිතාමතාම නිමවන සහ භාවිත කරන මෙවලම් සහ ක්‍රම ‘සමස්තයිතාක්ෂණය’ වශයෙන් හඳුනා ගන්නේ එබැවිනි. සැබවින්ම මෙවැනි විග්‍රහයක් මගින් තාක්ෂණයේ පරිණාමයීය ස්වරූපය පිළිබඳ පැහැදිලි අදහසක් ලබාදෙයි. පසු කාලවලදී වසර ලක්ෂ ගණනක් තිස්සේ මානවයා විසින් දේවත්වයට අරෝපනය කරනු ලැබූ සූර්යය ශක්තිය, තාපය සහ අලෝකය, සුළං බලය, ජල තරංග යනාදිය ඔවුන් ශක්ති ප්‍රභව වශයෙන්ද අවබෝධ කරගෙන භාවිතයට ගත්තේය. එය පුරාණ ශිෂ්ටාචාර සතු තාක්ෂණික භාවිතාවන් පිරික්සන විට මැනවින් පෙනන කරුණකි. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ බලංගොඩ සමනළවැව ආදි පෙදෙස්වලින් හමුවූ පුරාණ යකඩ නිස්සාරණය පිළිබඳ සාධක ඇසුරෙන්ද එය පැහැදිලි වෙයි. ඔවුන් තම යකඩ නිස්සාරණය සඳහා උදුන් තැනුවේ ස්වාභාවික සුළංධාරා නිරන්තරයෙන් ලැබෙන කඳුකරයේ කපොලු ආශ්‍රිතවය. යකඩ නිස්සාරණය සඳහා අංශක එක්දහස් හාරසීයක් වූ ජ්වලන උෂ්ණත්වයක් පවත්වාගෙන යා යුතු බව එකී පැරන්නන් විසින් අවබෝධ කරගනු ලැබ තිබූ අතර දහනය සඳහා වාතය උත්ප්‍රේරකයක් වන බවද ඔවුන් පසක් කොට තිබුණි. ඔවුන් මෙම දැනුම අත්පත් කර ගත්තේ බටහිර රටවල් මෙම දැනුම සොයා ගන්නවාටත් වසර දෙදහසකට හෝ තුන්දහසකට පමණ පෙරදීය.

එනම් ගෝලීය වශයෙන් කුමන කලාපයකට අයත් වුවද, කුමන කාල රාමුවකට අයත් වුවද, කුමන ශිෂ්ටාචාරයකට හෝ සංස්කෘතියකට අයත් වුවද මානවයා සහ ඔහු විසින් සොයා ගනු ලැබූ තාක්ෂණය භාවිත කරමින් තමන්ටම වූ වෙනත් ද්‍රව්‍යාත්මක විශ්වයක් මවාගත්තේය. මානවයා සහ මෙකී ද්‍රව්‍යාත්මක විශ්වය අතර පවතින සබඳතාව ඓතිහාසික සහ පරිණාමයීය වන බව පැහැදිලි වෙයි. එහෙයින් තාක්ෂණය යනුවෙන් හඳුනාගත හැක්කේ කුමක්ද යන්න යමකු විසින් අවබෝධ කරගැනීමට උත්සහ කරනු ලැබීමේදී යම් අපහසුතාවකට මුහුණදෙයි. එහෙයින් තාක්ෂණය නම් සංකල්පය තුළ ඇති මෙම සාර්වත්‍රික, නිර්වචනයකට හසුකර ගැනීමට අපහසු සීමා මායිම් නිර්ණය කරගත නොහැකි බව නිසාම ෆර්නන්ඩ් බ්‍රවුඩල් නමැති ඇනල්ස් ගුරුකුලයේ සිටි ප්‍රමුඛ ඉතිහාසඥයා විසින් ඓතිහාසික සමස්තය තාක්ෂණ වශයෙන් හඳුන්වනු ලැබ ඇත්තේය.

එපමණක් නොව, මෙකී පිරිණාමයීය ගමන් මග තුළ හෝමෝ ෆේබර් හෙවත් තතන මිනිසා සැබවින්ම ඊශ්වරයෙක් සහ අධිපතියෙක් බවට පත් වූ බවද, ඔහු ස්වභාව ලෝකය තුළ ඊශ්වරභාවයට පත්වූවා පමණක් නොව, ඔහු විසින් කරනු ලබන සෑම ක්‍රියාවකම පාලකයා බවට පත්ව ඇත්තේය යනුවෙන් හානා ආර්නඩ්ට් නම් චින්තකාව පැවසුවාය. අප අවට බැලූ කල පෙනෙන්නේ ඔහු විසින් අඳින ලද එකී වියවුල් සහගත සිතුවමයි. ඇල්බට් අයින්ස්ටයින් පැවසු පරිදිම අප අත්දකිමින් සිටින තැති ගන්නවනසුලු තත්ත්වය නම් නූතන තාක්ෂණය මගින් මනුෂ්‍යත්වය අභිබවා ඇති බවයි. නමුත් ඒ සඳහා මුල්ම ශිලා මෙවලම තැනූ හෝමෝ හැබිලිස් මානවයා නම් වරදකරුවකු නොවන බව පමණක් අවසානයේ සටහන් කර තබමි.

[දිනේෂ් දේවගේ]

මාතෘකා