ඉරණමට එරෙහිව...

 ඡායාරූපය:

ඉරණමට එරෙහිව...

අද මට යන්න තිබුණේ එක්සත් මාවතට. එක්සත් මාවතට මගේ ගෙදර ඉඳලා ටිකක් දුරයි. උදෙන්ම හින්දා මම හිතුවා පයින්ම යනවා කියලා. පයින් නොදන්නා කෙනෙක් සොයමින් යන එකත් එක්තරා විදිහකට විනෝදජනකයි. ඒ බව මට හිතුණේ රැකියාවට පැමිණි මුල් කාලයේදීම. මා රාජකාරි කරන ග්‍රාම සේවා වසම අර්ධ නාගරික ග්‍රාම සේවා වසමක්. රබර් වතු, කුඹුරු යායවල් අතරින් දිවෙන කාපට් අතුල මාර්ග සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසකුත් මගේ ග්‍රාම සේවා වසම තුළින් දිවෙනවා. මෙහි සිටින ජනයාත් විවිධාකාරයි. විවිධ වෘත්තීන්, විවිධ ආදායම් මට්ටම්, විවිධ අධ්‍යාපන මට්ටම් ආදියෙන් ඔවුන් සපිරි සිටින්නේ.

මේවා ගැන සිතමිනුයි මම යන්න පිටත් වුණේ. උදෑසනම නිසාදෝ පාරේ පවතින්නේ දැඩි මාර්ග තදබදයක්. මිනිසුන් තමන්ගේ ජීවිත එකම රේඛාවක දුවවන්න පටන් අරගෙන නේද කියල මට වාහන තදබදය දුටුවාම හිතුණා. කළුවරත් සමඟම පාසල වෙත යන දරුවාගේ පටන් තමන්ගේ නිවසේ එදිනෙදා කටයුතු කරන ගෘහණිය දක්වාම ජීවිත අද මේ ආකාර නොවේද? කොහොම වුණත් මේ අධිවේගී ජීවිතයට පිවිසුණාම ඒ හරහා දුවනවා ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. අපි හැමෝටම අඩු වැඩි වශයෙන් මේ ධර්මතාව පොදුයි. මේ සිතුවිලි මට දැනුණේ මා එක්සත් මාවතට යන අතරමඟයි. පයින් යනවා කියල හිතාගෙන ආවාට ගමන ටිකක් අමාරු බව මට තේරෙන කොට පාරේ ත්‍රීවිල් එකක්වත් හොයාගන්න නැහැ. කකුල් කෙඩෙත්තුව කොහොම වෙතත් මගේ ගමන යා යුතු නිසා වේගෙන් යන්න පටන් ගත්තා. වෙනදාට නම් මම යනකොට කවුරුහරි හම්බවෙනවා. කථා කරනවා. ඒත් අද කවුරුත් මට මුණ නොගැසුණේ වේලාසනින්ම මඟට බැස්ස නිසා වෙන්න ඇති.

සිතුවිලි සමඟ පොරබැඳි මම නොදැනීම එක්සත් මාවතට ළං වෙලා. පාරේ නම ගැසූ නාම පුවරුව දුටු මම සැනසුම් සුසුමක් හෙළුවා. මේ මාවත උදෑසනට හරි අපුරු සුන්දරත්වයක් මවනවා. එහෙම වෙන්නේ පාරේ කෙළවර මගේ වසමේ ප්‍රධානම වෙල්යායට සම්බන්ධ වෙන නිසා. ඒ වගේම මේ මාර්ගය පුංචි කඳුගැටයක ස්වරූපයකුත් විදහා පානවා. ටිකින් ටික කන්ද නැඟගෙන මා සොයන නිවස යැයි සිතිය හැකි තැනක මම නතර වුණා. මේ මොහොතේ අසල මා දුටුවේ පාරේ දිගු අඩි තබා ඇවිදින තරුණියක්. ඇය රැකියාවට යන යුවතියක් විය හැකියි.

“පොඩ්ඩක් මට සිරිපාලගේ ගේ පෙන්වන්න පුළුවන්ද?

මම ඇගෙන් විමසුවා. ඇගේ මුවෙහි සිනා කළඳක් නෑ.

“ඔන්න ඔය ගේ සිරිපාලගේ”

ඇසු පැනයට මට ලැබුණේ දඩස් ගා උත්තරයක්. මා අද වේලාසන වැඩ ඇරඹුවාට ඇයට උදේ ඇහැරගන්න බැරි වෙන්න ඇති. කළ යුතු රාජකාරිය ගැන සිතමින් මම සිරිපාලගේ මිදුලට ගොඩ වුණා. මා ඉදිරිපස වූ‍යේ තවමත් බිත්ති බැඳ නැති අත්තිවාරම් කොටසක් සහිත වැඩ අවසන් නොකළ පරණ පහේ ගෙයක්.

“ගෙදර කවුද? ගෙදර කවුද?”

මගේ විමසුම් හඬට පිළිතුරු සැපයුවේ වියපත් දෙනෙතක්.

“කවුද නෝනා හොයන්නේ?”

“මම හොයන්නෙ සිරිපාල කියල කෙනෙක්.”

“ඒ මගේ මනුස්සයා. නෝනා පොඩ්ඩක් ඇතුළට එන්නකෝ.”

ඇගේ ආරාධනාවෙන් මම නිවසට ඇතුල් වුණා. එය දෙදෙනෙකුට පමණ සිටිය හැකි කුඩා සාලයක්. ගුවන්විදුලි යන්ත්‍රයේ ආරම්භක යුගය සනිටුහන් කරන පරණ රේඩියෝවක් සහ ප්ලාස්ටික් පුටු තුන හතරක් සාලයේ දක්නට ලැබුණා. අනතුරුව මගේ සවනත වැකුණේ වේදනා විඳින රෝගියෙකුගේ දුබල හඬක්. ඒ වේදනාබර හඬින් මගේ සිත සසලව ගියා.

“නෝනා, තියෙන හැටියට වාඩි වෙන්නකෝ”

ඇය මට වාඩි වෙන්න ආරාධනා කළා. එතකොටත් ආරාධනා නැතිවම මම ප්ලාස්ටික් පුටුවකට බර වෙලා. මම වියපත් කාන්තාව දෙස බැලුවා.

“අම්මේ, රජයෙන් දෙන නිවාස ආධාර දෙන්න මේ සැරේ අම්මලාව තෝරගෙන තියෙනවා. ඒක බලන්නයි මං ආවේ.”

“අනේ පිං සිද්ධ වෙනවා! පොඩි වැස්සටත් මේ ගේ තෙමෙනවා. ළමයින්ගේ තාත්තත් එකතැන් වෙලා දැන් මාස හයක් වෙනවා.”

ඇය බොහෝ දේ කියන්න උත්සාහ කළත් වචනවලට වඩා පිට වුණේ දරිද්‍රතාවේ කඳුළු.

“දරුවෝ නැද්ද අම්මලාට?”

“එක පුතෙක් ඉන්නවා නෝනා. ඒ ළමයා තමයි අපිව බලා ගන්නේ. පුතා රස්සාවට කරන්නේ වඩු මඩුවක බඩු පොලිෂ් කරන එක. තාත්තාගේ ආවතේව ඔක්කොම කරන්නේ එයායි. ඒ වැඩ ටික ඉවර කරලා දැන් තමා වැඩට ගියේ.”

“පුතා බැඳලා නැද්ද?” වෙනත් ප්‍රශ්නයක් මා යොමු කළා.

“නෑ නෝනා. දරුවා කියනවා අපිට සලකන්න කෙනෙක් නැති වෙයිලු එයා බැන්දොත්. ඒ නිසා අපට සලකගෙන ඉන්න ඕනලු.”

ඇය ඇසට නැගුණු කඳුළු පිටඅත්ලෙන් පිසදාගත්තා. සැබැවින්ම ඇගේ කතාව ඇසූ මට මගේ ගුරුවරයෙකු වරක් කියූ කතාවක් මතක් වුණා. දවසින් දවස අලුත් අත්දැකීම් එකතු කරමින් අපේ ජීවිත ගලා යන බව දැනෙන්නේ අපිත් ටික ටික වයසින් මුහුකුරා යන විටයි. ඒ අනුව කාලයත් එක්ක යම් යම් දේවල් දිහා අපිත් සාධාරණව බලන්න පුරුදු වෙනවා. ගුරුතුමා කියූ දේ දැනුත් සත්‍ය වෙලා යැයි මට හැඟුණා. මගේ සිතත් මේ දිළිඳු පවුල කෙරේ සාධාරණ වෙලා. රාජකාරියට ඇවැසි දේ සටහන් කරගැනීමෙන් පසු මං එක්සත් මාවතේ නිවසින් එළියට බැස්සා. ඒත් වියපත් මව අවසාන වශයෙන් මට මෙහෙම කිව්වා.

“නෝනා, මං බලාගෙන ඉන්නෙ මේ ගේ අලුත්වැඩියා කරගෙන පුතාට කොහෙන් හරි මංගල්ලයක් කරලා දෙන්න. අපි මැරිච්ච දවසට පුතාට යන එන කලක් තියෙන්න එපැයි!”

මිනිසුන් ජීවන අරගලය සමඟ පමණක් නෙවෙයි, ඉරණම සමඟත් සටන් වදිනු නොවේදැයි ඒ ඇසූ මට සිතුණා.

මාතෘකා