සැළාගේ ගසල් කලාව බොහො...ත් සුන්දර් හා

 ඡායාරූපය:

සැළාගේ ගසල් කලාව බොහො...ත් සුන්දර් හා

ඉරිදා උදේම මගේ ඥාති සොයුරිය අර්චනීගෙන් ලැබුණු දුරකථන ඇමතුමෙන් කියැවුණේ ජාතික රූපවාහිනියේ සජීවී ගසල් වැඩසටහනක් ගැනයි. ගසල් කියන්නෙ හින්දුස්ථානි සංගීත සම්ප්‍රදායේ ඉතා විශිෂ්ට ගායනා විශේෂයක්. කොහොමටත් ගසල් ගැන මට තිබුණේ එක්තරා ආකාරයක උන්මාදනීය කැමැත්තක්. ඒ ආශාව මා තුළ ජනිත වුණේ 80 දශකයේ අග භාගයේදී පමණ. මෙබඳු ශාස්ත්‍රීය වැඩසටහන් කලකට ඉහත රූපවාහිනියේ ඉඳහිට හෝ දැකගත හැකි වුවත් දැන් දැන් චැනල් අයි නාලිකාවට පමණක් ඒවා සීමා වී ඇති බව පෙනෙනවා. ඒ අනුව විවේකී ඉරිදා උදෑසන විකාශිත මේ ගසල් වැඩසටහන, සතියේ දිනවල සවස 7ට ‘සොමිබර ජරමර’ වැනි අසූචි ගොඩවල් ප්‍රේක්ෂකයන්ගේ මූණේ උලන ජාතික රූපවාහිනියෙන්ම රසිකයන්ට පිදුණු අපූරු තිළිණයක්.

පූරක නිලාර් එන්. කාසිම් විසින් මෙහෙයවූ මේ සංගීතමය කතාබහට එක්වුණේ මහාචාර්ය උපුල් රංජිත්, සංගීත් නිපුන් මංජුලා සෙනෙවිරත්න, විශාරද අසිත අතපත්තු සමඟ විශාරද සුදත් සමරසිංහ යන පිරිසයි. නිලාර් පූර්ව සූදානමක් සහිතව වැඩේට ඇවිත් ඉන්න බව මුලදීම පැහැදිලි වුණා. වැඩසටහනට වී. හේමපාල පෙරේරා සංගීතවේදියාගේත් ඩී. ඩී. ගුණසේන අපේ ප්‍රවීණතම වයලින වාදකයාගේත් දායකත්වය අපූරු සැරසිල්ලක් බඳුයි.

ගසල් යනු ශෘංගාරාත්මක ගී විශේෂයක් යනුවෙන් අපි අසා තිබුණත් උපුල් රංජිත් ගසල් යන වදන පිළිබඳවත්, සම්ප්‍රදාය පිළිබඳවත් ඉතා විචිත්‍ර හැඳින්වීමක් ඉදිරිපත් කළා. මෙහිදී හසන්, ජග්ජිත් සිං, චිත්‍රා සිං වැනි අය මුල් යුගයේ සිට ගසල් ගායන ශෛලිය ජනප්‍රිය කරවන්නට විශාල මෙහෙවරක් ඉටුකළා. සාමාන්‍ය රසිකයන් ගසල් පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන්නට වූයේ ඉන් පසුවයි. මේ වන විට ගුලාම් අලි, පංකජ් උදාස්, අනූප් ජලෝටා වැනි ජනප්‍රිය ගසල් ගායකයන් රැසක් බිහිවී තිබෙනවා. උස්තාද් ජග්ජිත් සිං සහ උස්තාද් ගුලාම් අලි වැන්නන් යුරෝපා රටවලත් ප්‍රසංග පවත්වමින් ගසල් කලාව ලොව පුරා රැගෙන ගියා. මා පෞද්ගලිකව වඩා ප්‍රිය කරන්නේ ගුලාම් අලි ගයන ‘චුප්කේ චුප්කේ රාතදින්’ ගීයටයි. මෙහෙදි හසන් තමයි ගසල් ගායනාව සිනමාව තෙක් රැගෙන අවේ. තබ්ලාව සහ සර්පිනාව මූලික වාද්‍ය භාණ්ඩ ලෙස යොදා ගැනෙන එක් ගැයුමක් සාමාන්‍යයෙන් මිනිත්තු 7 සිට මිනිත්තු 10, 15 දක්වා ගලා යන අවස්ථා බොහොමයි. ගැයුමෙහි කාලයට ඍජු ලෙසම හේතුවන්නේ ගායකයාගේ අනන්‍ය හැකියාව සහ රාග පිළිබඳ අවබෝධයයි. මුල් යුගයේ ගසල් ගායනාවන් දෝරා හෙවත් තාල රහිත ආලාපයකින් ඇරඹී මැදදී යළි තාල රහිත දෝරා කොටසක් සහිතව ඉදිරිපත් කෙරුණා. අවසානය ගැයුණේ යළි තාල වාදනය සහිතවයි. නමුත් දැන් දැන් තාල රහිත දෝරා කොටස යෙදෙන්නේ ගායනය ආරම්භයේදී පමණයි.

යුගල පේළි ලෙස රචනා කෙරෙන ගසල් පබැඳුමක් වචන පේළි ඔත්තේ සංඛ්‍යාවකින් සමන්විතයි. සමහර විට එක් රාගයකින් සැකසුණු ගී තනුවකට අනුව ගැයුම ඇරඹුණත් ඒ රාගයට සමීප ස්වර සංඝති සහිත තවත් රාගයක් හෝ රාග කිහිපයක් ඇසුරු කර යළි මුල් තනුවට පැමිණෙන අවස්ථා ගසල් ගායනයේදී සුලබව දැකිය හැකියි. වර්තමාන ගසල් තනු රාගවලින් තොරව ස්වාධීන තනු ලෙසත් නිර්මාණය කෙරෙනවා. මුල් යුගයේ ජග් ජිග් සිං ඉදිරිපත් කළ ගායනාවන් හි ස්වර අලංකාර ගායනා කෙරුණේ අල්ප වශයෙන්, එහෙත් එය ශෛලියක් බවට පත් කළේ ගුලාම් අලි විසිනුයි. එකල ජග් ජිග් සිංගේ ගසල් ප්‍රසංග නැරැඹීමට ඉන්දියානු ගීත කෝකිලාව ලතා මංගෙශ්කාර් පවා නිතර ආ බව කියැවෙනවා. ගසල් බොහෝ විට රචනා කෙරුණේ හින්දුස්ථානි භාෂාවෙන්. එහි පුරාවෘත්තය මෙහෙමයි. වරක් මෝගල්වරුන් ඉන්දියාව ආක්‍රමණය කරමින් දිල්ලිය සිය පරිපාලන මධ්‍යස්ථානය බවට පත්කරගත් අතර දිල්ලියේම කඳවුරු බැඳගත්තා. විශාල භට පිරිසක් එහි සිටි නිසා ඔවුන්ට අවශ්‍ය බඩු භාණ්ඩ අලෙවියට වෙළෙඳපොළක් නිර්මාණය වුණා. එහිදී භටයන් කතා කළ අරාබි, තුර්කි සහ පර්සියානු බසට ඉන්දියානුවන් කතා කළ හින්දි බස මිශ්‍ර වී බිහිවුණු ‘කඳවුරු භාෂාව’ උර්දු යනුවෙන් හැඳින්වෙනවා. උර්දු බස තවදුරටත් හින්දි බස සමඟ මුසු වීමේ ප්‍රතිඵලය ‘හින්දුස්ථානි’ භාෂාව බිහිවීමයි. වර්තමාන හින්දි බොලිවුඩ් චිත්‍රපට ගීත බොහෝ විට රචනා කෙරෙන්නේ මේ ‘ධ්වනිපූර්ණ’ සුමධුර හින්දුස්ථානි භාෂාවෙන්.

රූපවාහිනී සජීවි වැඩසටහනෙහි ඉදිරිපත් කෙරුණු මංජුලා, අසිත සහ සුදත් වැනි ශාස්ත්‍රධාරීන්ගේ ගසල් ගැයුම් ඉතා උසස් මට්ටමක පැවතුණා. ගසල් සම්ප්‍රදාය ඇසුරින් නිර්මිත සිංහල ගී පිළිබඳවත් හඳුන්වා දෙනු ලැබුවා. මනා සංයමයකින් යුතු උපුල්ගේ රසවත් කරුණු පැහැදිලි කිරීම් හරි බරසාරයි. ගුණසේනයන්ගේ ගැයුම් ගැන අමුතුවෙන් කුමක් කියන්නද? ඉරිදා උදෑසන ජීවිතය ප්‍රබෝධමත් කළ නිලාර් ඇතුළු ජාතික රූපවාහිනියේ නිෂ්පාදක මඬුල්ලටත් අපේ සෙනෙහස. ‘සොමිබර ජරමර’ වැනි පව් සෝදා ගන්නටවත්, සතිපතා නොහැකිනම් මසකට වරක්වත් මෙවැනි සත්ක්‍රියාවක් කරන්නට ජාතික රූපවාහිනියට සිත් පහළ වේවා.

පුෂ්කර වන්නිආරච්චි

මාතෘකා