ගීතයයි මලයි සිහින ලෝකයයි

 ඡායාරූපය:

ගීතයයි මලයි සිහින ලෝකයයි

ඔබ ශබ්දය සහ නිශ්ශබ්දය විඳ තිබේද? මිනිසුන්ට විවේක බුද්ධිය අවශ්‍ය වන්නේ අවට පරිසරයේ ඇති ශබ්දය සහ නිශ්ශබ්දය අතර ඇති පරතරය කියවා ගැනීම පිණිසය. ශ්‍රව්‍ය සහ දෘශ්‍ය කියවීම මඟින් මිනිසකු තම පරිකල්පනයන් දියුණු කරගැනීම සිදු කරයි.

හුදකලාව පරිකල්පිත මිනිසාට වටින දායාදයකි. ඔහු තීර්තකයෙක් බවට පත්කරන්නේ හුදකලාවයි. හුදකලාව කියවන්නා නිසැකයෙන්ම ශබ්ද අතර නිශ්ශබ්දයේ වටිනාකම කියවයි. එම කියවීමම රිද්මයකි. ස්වරයන්ගේ අපිළිවෙළ හසුරුවන නිර්මාණවේදියා එම අපිළිවෙළ තුළ පිළිවෙළ නිර්මාණය කරයි. ශබ්දයෙහි සහ නිශ්ශබ්දයෙහි සංකලනය බිහිකරන්නේ ලොව අපූර්ව රිද්මයන්ය . රිද්මයන් ඔපවත් කරන්නේ සංගීතයයි. අනාදිමත් කාලයක සිට ස්වර සප්තකය තුළ අපිළිවෙළ සොයමින් මිනිසා නිර්මාණයන් එළිදක්වයි. නිර්මාණයක් නම් අපූර්ව විය යුතුය. අපූර්ව යන්නෙයි සරල අර්ථය පෙර නොවූ විරූ යන්නයි. ඒ අනුව නිර්මාණය යනු අලුත් දෙයකි. නැතහොත් පෙර ආකෘති බිදිමින් අලුත් ආකෘති ගොඩනැඟීමකි. මානව හැඟීම ප්‍රකාශනයෙහි ලා සංගීතයෙන් ඇති කරන මෙම බලපෑම ප්‍රභලය. ඔබ ගීතයක් හෝ සංගීතයක් රස විඳින්නේද ඒ මොහොතේ ඔබේ මොළයද මනසද එක්වෙයි. එහි ප්‍රතිඵලය මනෝ මූලිකය. යමෙක් ගීයක් හෝ සංගීතයක් රසවිඳීමෙන් යම් අර්ථ නිරුපණයක් අවශෝෂණය කරගන්නේද එය තමන් ජීවත්වන පරිසරයෙන් ලද අත්දැකීම් මත රඳා පවතියි.

පොදු රසවින්දනය බිහිවන්නේද ඔවුනගේ සංස්කෘතියේ සහ අත්දැකීමේ පොදු භාවයන් අනුවය. එය යම් සමාජ ස්ථරයක පොදු ලක්ෂණයන්හි නිරුපණයයි. අධ්‍යාපනය, දැනුම, ජාතිය, ආගම, භූගෝලීය වෙනස්කම්, රැකියාවෙහි ස්වභාවය, සමාජ තත්ත්වය සහ තමන් විසින් නඩත්තු කරනා සමාජ පන්තිය ආදී ලක්ෂණ මත රසවින්දනයේ කැමැත්ත වෙනස්වෙයි.

ගීතයක් රස විඳීමේදී ඇතමෙක් එහි වචනවලට ඇලුම්කරන අතර ඇතැමෙක් එහි තනුව සහ සංගීත සංයෝජනයේ ස්වභාවයට ඇලුම් කරයි. ඉතා ඉහළ සංගීත රසයක් දෙන තනු නිර්මාණ බිහි වුවත් ලංකේය රසිකයා ගීතයේ සුභාවිතය මනින්නට පුරුදුව ඇත්තේ එහි පද රචනයේ සාහිත්‍යමය ගුණයන් අනුවය. නිර්මාණයේදී භාවිතය සාහිත්‍ය වන්නේ ගීතයෙහි අරුත් උද්දීපනයටය. සංකීර්ණ සිද්ධි දාමයක් සරලව ප්‍රකාශ කිරීමට සාහිත්‍යයේ භාවිතය වැදගත්ය. ජැක්සන් ඇන්තනීට අනුව සුභාවිතයට අරුත් දෙකකි. “සුභාවිත යනු සුලභ භාවිතයයි. නැතහොත් භාවිතයට වඩාත් සුදුසු යන්නයි” ලොව බොහෝ දෙනෙක්ගේ කැමැත්ත පරස්පරය. ඔවුහු විවිධ ලෙස තම කැමැත්ත සඳහා රසවින්දනයේ යෙදෙති.

නිර්මාණකරුවා රසික හදවත් තුළ පුපුරවා හරින්නේ තම අත්දැකීමය. නිර්මාණකරුවා සහ රසිකයා, ජීවිත අත්දැකීම්වලින් සමාන වුවහොත් එම නිර්මාණය එම සමාජයේ සම්මතය බවට පත්වන්නේ නිරායාසයෙනි. ඇතැම් අවස්ථාවල නිර්මාණවේදියා උසුලා සිටින අත්දැකීමෙහි බර අතිශය සංවේදීය. ඔහු ඉන් ලබන වේදනාව තමා තුළම සිරකර ගනිමින් දුකෙහි මිහිරියාව අපමණ අගයක් ඇති ආකෘතීන් බවට පත්කරයි. අප අසන රසවිදින ඇතැම් ගී තුළ මෙම දුකෙහි මිහිරියාව ස්ථාවර තැම්පතු ලෙස සඟවා තිබේ.

ක්ලැරන්ස් විජේවර්ධන යනු එලෙස ප්‍රයෝගික දෘෂ්ටිය විතැන් කර සෞන්දර්ය දෘෂ්ටිය තම නිර්මාණ තුළින් සමාජයට මුදාහල වාග්ගේය කරුවෙකි. අත්දැකීම සෞන්දර්යාත්මකව රචනා කර එහි සැඟවූ හැඟීම සංගීතයට මුසුකර, සංවේදනා දැනවෙන පිණිස ක්ලැරන්ස් ගයනා කළේය.

ඒ 1973 වර්ෂයයි. ක්ලැරන්ස්ගේ අපමණ බලාපොරොත්තුව වූයේ පුතකු ලැබීමය. ශීලා විජේවර්ධන ඒ සඳහා කල්තියාම සූදානම් විය. උපදින්නට පෙරුම් පුරන තම කුඩා පුතු වෙනුවෙන් බිලිඳු ඇඳුම් සැකසීම සිදුවූයේද ශීලා විජේවර්ධන අතිනි. එහෙත් සංවේදී කලාකරුවකු ලෙස තම ජීවිතයේ ඛේදනීය අවස්ථාවට මුහුණ දීමට ක්ලැරන්ස්ට සිදු විය. ශීලාට දාව ක්ලැරන්ස්ගේ සිඟිති පුතු උපදින විටම මියගොස් තිබිණි. ඉතිහාසයේ කිසිදා නොහැඬු ක්ලැරන්ස් තම පුතුගේ මරණය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කඳුළු සැලීය. ශීලාද තම පුතු වෙනුවෙන් නිර්මාණය කළ ඇඳුම් සිප ගනිමින්, දුක දරාගනිමින් සිටියේය.

එකල කණ්ඩායම් සංගීතයට මහත් මෙහෙවරක් කළ විජය කොරයා සමඟ ක්ලැරන්ස්ට තිබුණේ සමීප සබදත්වකි. විජය කොරයාටද පුතෙක් ලැබෙන්නේ මේ කාලයේදීය. ක්ලැරන්ස්ගේ බිරිඳ තම බිලිඳු වෙනුවෙන් සැකසූ සියලු ඇඳුම් ක්ලැරන්ස්, විජය කොරයාගේ පුතු වෙනුවෙන් පරිත්‍යාග කළේ ශීලාටද නොදැනෙන්නටය. විජය කොරයාගේ පුතු බලන්නට ක්ලැරන්ස් ගියේ ඇඳුම් ටික පමණක් රැගෙන නොවේ. ඒ කළ ලෝටස් ලේබලය වෙනුවෙන් අලුත් ගීත හතරක් නිර්මාණ කරන්නට ක්ලැරන්ස් සූදානම් කරගෙන තිබිණි. ක්ලැරන්ස් ඉන් එක ගීයක් විජය කොරයාගේ පුත් විරාන් වෙනුවෙන් නිර්මාණය කර රැගෙන විත් තිබිණි.

“විරාන් බිලිඳු පුතේ

පැතුම සිතේ

මගේ...”

යනුවෙන් එය ගායනා විණි. එහෙත් කොරයාගේ ඉල්ලීම වූයේ ගීතය පොදු අත්දැකීමක් කරන ලෙසය. සමස්ත උපදින දරුවන් වෙනුවෙන් සෙනෙහස දනවන ලෙස වචන වෙනස් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. ක්ලැරන්ස් ගේ පෑනයි, කොළයයි, හිතයි, තනුවට කිසිදු වෙනසක් නොකර මුල් වචන පෙළ වෙනස් කළේය. එහි වූයේ ක්ලැරන්ස් ගේ සැබෑ අත්දැකීමයි.

“කිරි මුහුද කලඹාලා ගෙනා මගේ කුඩා පුතුටයි

මුතු මාලිගාවෙන් මා ගෙනා මගේ කුඩා පුතුටයි”

ක්ලැරන්ස් උසුලා සිටි අතිශය සංවේදී අත්දැකීමෙහි බර, අපමණ අගයක් ඇති නිර්මාණයක් බවට පත් කළේය ..

“ඔබේ කුඩා නෙතේ කැලුම් බැලුම් පුතේ

සදා අපේ සිතේ රැඳී තිබෙයි පුතේ”

ක්ලැරන්ස් මේ ලිපිය ලියන්නේ උපදින විටම මියගිය තම පුතුටය. ඔහු සුරංගනා ලොවකය. එහෙත් හෙට උපදින දරුවන් වෙනුවෙන් ගීතය ඉතිරිව තිබේ. නිර්මාණකරුවාගේ වේදනාවන් එසේය...

මාතෘකා