වෙරළු ගෙනා පුංචි දෑත්

 ඡායාරූපය:

වෙරළු ගෙනා පුංචි දෑත්

ළමයින්ට උගන්නන්න ගියාම ගුරුවරයාට ළමයින්ගෙන් ඉගෙන ගන්න වෙන අවස්ථා පාසල්වලදී ඇති වෙනවා. මේ ගැන අපූරු හා ඒ වගේම තරමක වේදනාත්මක කතාවක් මොනරා‍ගල පැත්තේ ඉස්කෝලයකින් ඇහෙනවා.

නාගරික ජීවිතයට හැඩ ගැහුණු තරුණ ගුරුවරියකට ඇගේ පළමු වැනි පත්වීම ලැබුණේ ඈත ගම්මානෙක පිටිසර පාසලකට. ඉගැන්වීම හෝ ඉගෙන ගැනීම ගැන කිසිම හැඟීමක් නැති ළමා පිරිසක් ඉන්න පාසලකටයි ඇය ඇවිත් තිබුණේ. ඒ පාසලේ සෑම පන්ති කාමරයක්ම ජීවිතය විසින් දඩයම් කරනු ලැබ තිබුණා.

අකුරක් ලියන්නවත් දන්නෙ නැති ළමයි තමයි ඇයට බාර වුණ පන්තියේ සිටියේ. දඩබ්බර කොලු රෑනක්. සරා කියන්නෙ ඒ අතර සිටිය නාහෙට නාහන කොලු පැටියෙක්. එයාට මෙලෝ දැනුමක් තිබුණේ නෑ. එයා හැම තිස්සෙම කළේ ගුරුවරු කුලප්පු කරවන වැඩක්. අතොරත් නැතිව ගුටි කනවා බැනුම් අහනව. කාගෙන්වත් හොඳක් අහන්නෙ නෑ. කිසි කෙනෙක් ගණන් ගත්තේ නෑ.

ඒත් අලුත් ගුරුතුමිය සරා දිහා බැලුවේ වෙනත් ඇසකින්. ඇය දුරස්ථ ගුරු පුහුණු පාඨමාලාවක අධ්‍යාපන මනෝවිද්‍යාව හදාරා තිබුණා. ඉවසීමක් නැති අයෙකුට පාරේ මොටර් රියක් පදවන්නත් පන්තියක‍ උගන්නන්න වත් බැරි බව ඇය අසා තිබුණා. ඒක නිසා ජෝන් ඩුවී කීවාක් මෙන් ජෝන්ට ලතින් උගන්නන්ට පෙර ‍ජෝන් ගැන උගත යුතු නිසා සරා ගැන ඉගෙන ගන්න ඇය තීරණය කළා.

සරාගෙ ඇතැම් හිතුවක්කාරකම්වලට නොබැණ සිටීමෙන් ඒහි පළමු පියවර ඇය ආරම්භ කළා. ඉවසිල්ලෙන් බලා සිට සරාගේ හොඳ දේකට ඇය ප්‍රශංසා කළා. එදා පාසලෙන් පසු සරා පාසල් කඩුල්ල ළඟ දැවටෙමින් සිටියා. එතනින් යන්න ගිය ගුරුතුමිය සරා දැක නැවතුණා.

“මොකද සරා?”

“නෝනා මහත්තයා! මට කවුරුත් කවදාවත් හොඳක් කියල නෑ. මම නෝනා මහත්තයාට කැමතියි.”

ඊළඟ දිනයේදී සරා නිවැරදි ලෙස ඉලක්කම් ලියා තිබුණා. ගුරුතුමිය සරාගේ පොතේ ලොකු හරියක් දැම්මා. මෙපමණ දවසත් හොඳ කරන්න බැරි දඩබ්බරයෙක් එක දවසකින් වෙනස් වුණා. හරියට අංගුලිමාල නැවත අහිංසක වුණා වගෙ. කාටවත් මෙල්ල කරන්න බැරිව සිටි මේ දඩබ්බරයා හොඳ ළමයෙකු වෙමින් සිටියා. වෙනදා කට්ටි පැනපු කොල්ලා වෙනදාටත් කලින් පාසල් එනවා. පන්තියේ හික්මීයා වගේ ඉන්නවා. ගෙදර වැඩ කරනවා. මේක නම් මහ පුදුමයක්!

දවසක් ඔහු තමාගේ දෙව්දුවට අපූරු පඬුරක් ගෙනාවා. ඒ පලතුරක්.

“මොනවද සරා?”

“අපේ ගෙදර වෙරළු ගහක් තියෙනව නෝන මහත්තයා. දැන් ගහ පුරා වෙරළු හැදිලා. මම නෝනා මහත්තයට වෙරළු ගෙනාව.”

ගුරුතුමිය කී ලෙස පන්තියේ යාළුවන්ටත් ඔහු වෙරළු බෙදා දුන්නා. ඔහු කෙරෙහි තිබූ මිතුරන්ගේ අමනාපකම් නැතිව ගියා. ඒ පන්තිය අලුත් තැනක්, ප්‍රිය මනාප තැනක්, ලෙස සරාට දැනුණා.

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය රඳා පවතින්නේ ආදරය හා විශ්වාසය මත බව බොහෝ ගුරුවරුන්ට අමතක වී යෑම නිසා පන්තිකාමරයේ ගැටලු ඇති වීම වැළැක්විය නොහැකියි.

එහෙත් දෛවය වෙනස් වුණේ කළු වලාවකින් හිරු වැහුණා වගේ. සරා හිටි ගමන් පාසල් ගමන නැවැත්තුවා. කිසිම තොරතුරක් නෑ. බැරිම තැන ඇය ගියා ඔහු සොයා ගෙන.

කැලෑ රොදක් මැදින් වැලි පාරේ හැතැප්ම බාගයක් ගියාම ඇය දුටුවා වෙරළු ගහක්. ඒ අසල පුංචි පැල්පතක්. මිදුලේ තණ මත්තට රෙදි කඩක් ඇඳ සිටි ගෑනු කෙනෙක්. ඒ සරාගෙ අම්මා.

“අපේ කොලුව නෝනා මහත්තය ගැන නිතර හොඳ කියනවා. පහුගිය ටිකේ හරි සතුටින් ඌ ඉස්කෝලෙ ගියෙ. නෝනා මහත්තයට පිංසිද්ධ වෙනවා උගේ හිත පිරෙන්න කතා කළාට.”

“ඉතින් කෝ සරා? ඇයි එයා ඉස්කෝලෙ එන්නෙ නැත්තෙ?”

“මං හිතුවා නෝනා මහත්තය දන්නව ඇති කියල . කොලුව නැති වුණා නෝනා මහත්තය!”

ගුරුතුමිය ආපස් හැරුණේ දැඩි සිත් වේදනාවකින්. සියල්ල අවසාන බව ඇයට තේරුණා. "ඌරන්ට මානන තුවත්කුවෙන් කුරුල්ලෙකුට වෙඩි තියන්න ගිහින් මුණිස්සම හැරිල ඇවිත් ඔළුවෙ වැදුණා". ඇයට සරාගෙ මවගෙ වචන යළි යළි සිහි වුණා. ඇය ආපහු හැරිල අර වෙරළු ගහ දිහා බැලුවා.

දරුවෙකුට ඉගෙනීම විතරක් නොවේ. ඒ සමඟම ආදරයත්, රැකවරණයත් අවශ්‍ය වෙනවා. ඒවා අධ්‍යාපන ක්‍රියාවලියෙදි අවශ්‍යම සාධක. සරාට ආදරය පහුවෙලා හරි ලැබුණට රැකවරණය අහිමි වෙලයි තිබුණෙ.

මාතෘකා