ගොවිපොළයි ස්මාර්ට් පන්තියයි යා කළ අපූරු පාසලක්

 ඡායාරූපය:

ගොවිපොළයි ස්මාර්ට් පන්තියයි යා කළ අපූරු පාසලක්

රජිනිකාන්ත් අරුශනන්දිගෙ පුතා බ්රිද්මාන් ඉගෙනුම ලබන්නේ පස් වන ශ්‍රේණියේ. නමුත් ඔහු ගෙවතු වගාව ගැන ඇයට වඩා දැනුවත්. "එයා ඉස්කෝලෙදී ඉගෙනගෙන ගෙදර ඇවිත් කාබනික පොහොර නිෂ්පාදනය ගැන, පෝෂ්‍යදායී පලා වර්ග වගා කරන ක්‍රම ගැන අපට උගන්වනවා," ඇය අප සමග පැවසුවා.

සෝබනා මුහුන්දන්ට ඇගේ පුතා සිබිරාජ් පිළිබඳව ඇත්තේත් ඊට සමාන අත්දැකීමක්: "මම මගේ ගෙවත්තේ කාබනික පොහොර යොදාගෙන එළවළු වගා කරන්නේ දිගු කලක් තිස්සේ," ඇය කියනවා. "හැබැයි දැන් නම් වත්තේ වැඩිපුරම වගා කරන්නේ මගේ පුතා."

මේ සංවාදයට පාදක වෙන්නේ කන්කසන්තුරේ නදේශ්වර කනිටු විදුහලට අයිති පුංචි බිම් කොටසක්. වසර විසි හතක් තිස්සේ වැසී තිබුණු පාසල 2016දී යළි විවෘත වන්නේ යුද්ධයෙන් අවතැන් වූ පවුල් නැවතත් කන්කසන්තුරයට පැමිණීමත් සමගයි. පළමුවන ශ්‍රේණියේ සිට පස් වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මෙම පාසල යළි ආරම්භ කළේ සිසුන් තිස් දෙනකුගේ සභාගිත්වයෙන්. එහි වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව හැත්තෑවක්.

එය යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සාම සාධන වැඩසටහන යටතේ සංවර්ධනය කිරීම සඳහා තෝරාගත් පාසලක්.

යූරෝ මිලියන 8.1ක් වැය වන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), එක්සත් ජාතීන්ගේ නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය (UN-Habitat) සමග අත්වැල් බැඳගත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක අනුග්‍රහයෙන්.

අධ්‍යාපනයට මුල් තැන

"අපේ පාසලට එන දරුවන්ගෙන් බහුතරයකගේ පවුල් මෑතකාලීනව නැවත පදිංචි වූ අය. ඒ අතරින් සමහරුන්ට පදිංචියට එද්දී නිවාස පවා නොතිබුණත් දරුවන්ගේ අධ්‍යාපනයට ප්‍රමුඛතාව ලබා දී තිබුණා," එසේ කියන්නේ පාසල් විදුහල්පතිනි වී. සුදර්ශන් මහත්මියයි. මෙම පවුල්වලට වසර ගණනාවක් මුළුල්ලේ තැනින් තැනට සංක්‍රමණය වීමට සිදු වුණා. ඔවුන්ගෙ ගමනාන්තය වූයේ අවතැන් වූවන් සඳහා ඉදි කළ කඳවුරු. එහි ප්‍රතිඵල වූයේ දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීමයි.

ගැටලුවට පිළියමක් සැපයීමක් වශයෙන්, UNICEF සහ UNDP එක්ව පාසලට උපකාර කිරීමට දායක වුණා. UNICEF අරමුදල, දොර ජනෙල් පවා අහිමි වූ ගොඩනැඟිලි පිළිසකර කර 'ස්මාර්ට් පන්තිකාමර' (smart class) පද්ධතියක් හඳුන්වා දුන්නා.

"ස්මාර්ට්" පන්තිකාමර

"මේ දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම රැඳිල තියෙන්නෙ ඉස්කෝලෙ මත," මෙම පවුල්වලට දරුවන් අමතර පන්ති සඳහා සහභාගි කරවීමට තරම් වත්කමක් නැති බව පැහැදිලි කරමින් විදුහල්පතිනිය සඳහන් කළා. ඉගෙනුම ලබන දරුවන් විවිධ මට්ටම්වල පසු වන අයයි. අධ්‍යාපන කටයුතුවලදී දුර්වලතා දක්වන සිසුන් හඳුනාගැනීමටත් ඔවුන් කෙරෙහි ප්‍රමාණවත් තරම් අවධානය යොමු කිරීමටත් 'ස්මාර්ට් ක්ලාස්' සංකල්පය උපකාරී වෙනවා. දුර්වල තත්ත්වයේ පසුවන සිසුන් සම්බන්ධයෙන් නිරතුරුවම අවධානයෙන් සිටීමට පාසල මහත් පරිශ්‍රමයක් දරනවා. සපයා ඇති පාසල් උපකරණ, ක්‍රීඩා උපකරණ, ගෘහ භාණ්ඩ, අධ්‍යාපනික කටයුතුවලට හා පුහුණුවීම් සඳහා යොදා ගන්නා සෙසු උපකරණ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට යෝග්‍ය, ප්‍රීතිමත් පරිසරයක් නිර්මාණය කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ යටතේම මවුපියන් සහ ආදි ශිෂ්‍යයන්ගේද සහභාගීත්වය ඇතිව පාසල් සංවර්ධන ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක වෙනවා.

ආර්ථිකය ශක්තිමත් කිරීම

සෝබනා හා අරුශනන්දි යන දෙදෙනාම නිරතුරුවම පාසලට පැමිණි ගෙවතු වගාවටත් පාසලේ අනෙකුත් කටයුතුවලටත් ඔවුන්ගේ නොමඳ සහයෝගය ලබා දෙනවා. පෝෂණය සහ පිරිසුදුකම පිළිබඳව පාසල් දක්වන අවධානය වැඩි දියුණු වී ඇති බවයි ඔවුන් පවසන්නේ. UNDP හා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරවන OfERR Ceylon ආයතනයේ අනුග්‍රහයෙන් පිහිටුවනු ලැබූ ආදර්ශ ගෙවතු මෙම සැලසුමෙහි සාර්ථකත්වය පිළිබඳ ප්‍රබල සාක්ෂියක්.

පවුල් අතරින් බොහාමයක් ආර්ථික දුෂ්කරතා මැද දිවි ගෙවන අයයි. ගෙවත්තේ එළවළු වගා කිරීම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට අමතරව අමතර ආදායමක් ලබා ගැනීම සඳහාත් උපකාරී වෙනවා. UNDP ව්‍යාපෘතිය ශාක, බීජ, පැකට් කළ කරල්, ජලය ඉසින යන්ත්‍රයක්, කෘෂි උපකරණ ඇතුළුව වගා කිරීමට අවශ්‍ය සියලු දේ සපයා තිබෙනවා. පාසල් වත්තේ මායිම් ලකුණු කරමින් වැටක් ඉදි වෙනවා. පාසල හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර සබඳතා ගොඩනැඟිලා. කාබනික ගොවිපළක් නඩත්තු කිරීම පිළිබඳව සිසුන් දැනුවත් කරන්න පාසලට පුහුණුකරුවන් එනවා. UNDP හා OfERR Ceylon ආයතනවල අධීක්ෂණය සහ උපදෙස් නිරතුරුවම හිමි වෙනවා.

"අපේ දරුවෝ ඉස්කෝලෙ එන්නෙ හරිම කැමැත්තෙන්, "විදුහල්පතිනි සුදර්ශන් මහත්මිය පැවසුවා.

-මූලාශ්‍රය-UNDP Sri Lanka

පරිවර්තනය [අරුන්දි ජයසේකර]

 

මාතෘකා