අනෙකා නිවැරදිව කියවා ගැනීමට අප අසමත් වීම

 ඡායාරූපය:

අනෙකා නිවැරදිව කියවා ගැනීමට අප අසමත් වීම

සාමාන්‍යයෙන් සෑම විද්‍යුත් මාධ්‍යයකම සිය ජනප්‍රියත්වය ප්‍රමාණනය (Rating) කර බලනවා. ඒ අන් කිසිවක් නිසා නොවෙයි, සිය ගුවන් කාලය හා වැඩසටහන් ඉහළ මිලකට වෙළෙන්දන් සඳහා අලෙවි කර සිය ලාභය උපරිම කරගැනීම වෙනුවෙන්. කිසියම් ආකාරයකින් සිය ප්‍රමාණන ස්ථානය පහළට ගොස් තිබුණොත් ඔවුන් උපක්‍රමශීලීව එය ඉහළ ගැනීම (Boosting) සිදුකරනවා. ඒ සඳහා යොදාගනු ලබන උපක්‍රම විවිධ තලයේ ඒවා වන්නට පුළුවන්. ඇතැම් විට සරල වින්දනීය උපක්‍රම, දේශපාලනික උපක්‍රම මේ අතරින් කැපී පෙනෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි උපක්‍රමික කටයුත්තකදී සැලකිල්ල දැක්විය යුතු එක් කාරණයක් වන්නේ තමන්ගේ නාලිකාවේ ප්‍රධාන ග්‍රාහක කණ්ඩායමේ අභිප්‍රායන් හා අභිලාෂයන් හා සමපාත වෙන ඉලක්කගත අන්තර්ගතයක් නිර්මාණය කිරීම කියන කාරණය.

පසුගිය සතිය පුරාම ශ්‍රී ලාංකේය සමාජය තුළ තැන තැන කතාබහට ලක්වූ කාරණයක් තිබුණා. ඒ පශ්චාත් යුද සමයේ උතුරෙන් මතු වූ “ආවා කල්ලිය” නමින් මාධ්‍ය විසින්ම බෞතීස්ම කළ කණ්ඩායමක නායකයා ලෙස පෙනී සිටින දමිළ තරුණයෙක් රූපවාහිනී නාළිකාවක් විසින් දකුණේ සමාජයට නිරාවරණය කිරීම. අරුලානන්දම් අරූන් හෙවත් අරූන් සිද්ධාර්ත් මෛත්‍රියන් විනාඩි 42ක් පුරා මෙම රූපවාහිනී වැඩසටහනට පෙනී සිටියා. එය අහඹුවක් නොව පූර්ව සැලසුමක් සහිත වැඩසටහනක් බව සියුම්ව නිරීක්ෂණය කරන්නකුට වැටහෙනවා. එසැණින් දකුණේ සමාජයට අරූන් වීරයකු ලෙස රූපාන්තරණය වෙන්න ගන්නවා. එයට මූලික හේතුව තමයි ඔහු උතුරේ සාම්ප්‍රදායික හා සන්නද්ධ දේශපාලනය විවේචනය කිරීම. මෙම වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ඇති වූ සංවාදයන් ඉතාම හොඳින් අධ්‍යයනය කිරීමෙන් මෙය අවබෝධ කර ගන්න පුළුවන්.

එහෙත් මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ නිපුණතාවක් ඇති ග්‍රාහකයකු මෙම වැඩසටහන නිරීක්ෂණය කරන්නේ වෙනත් ඇසකින්. මැතිවරණ පිළිබඳ කතාබහට ලක්වී ඇති සමාජයක, රටේ ඊළඟ දේශපාලන නායකයා කවුදැයි මහජනතාව විසින් තීරණය කරමින් සිටින සමාජ වටපිටාවක, මෙතෙක් මාධ්‍යක් ඉදිරියට නොපැමිණි අරූන් මාධ්‍යයෙන් නිරාවරණය කෙරෙන්නේ ඇයි? ඒ පිටුපස ඇති දේශපාලන/මාධ්‍ය යාන්ත්‍රණය කුමක්ද? ඔහුගේ අදහස් දැක්වීමේ යටිපෙළ කියවා ගන්නේ කෙසේද යන්න මාධ්‍ය සාක්ෂරතාවක් සහිත ග්‍රාහකයකු අතින් සිදුවෙන දෙයක්. කෙසේ වෙතත් මෙම මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවට බහුතරය හැඟීම්බරව ආකර්ෂණය වීම නිසා මෙම දමිළ තරුණයා මතුකරන පශ්චාත් යුද සමයක උතුරේ සමාජය අත්විඳින කටුක යථාර්ථය දකුණේ අවධානයට ලක්වුණේ නැහැ. වැඩිම අවධානයට ලක්වුණේ උතුරේ සාම්ප්‍රදායික හා සන්නද්ධ දේශපාලනය විවේචනය කිරීම කියන කාරණය. නමුත් අරූන් මතක් කළ, එහෙත් දකුණේ සංවාදයට අමතක වූ කාරණා කිහිපයක් අප මිත්‍ර නුවන් ලියනගේ ඔහුගේ මුහුණුපොතේ මෙසේ ලියා තිබුණා.

1. යුද වැන්දඹුවන් 18000ක් උතුරේ ඉන්නා බව (සමස්තය ලක්ෂයකට ආසන්නයි.)

2. ඔවුන්ට නිසි හව්හරණක් නොලැබීමෙන් කුඩා ගැහැනු දරුවන් පවා දූෂණයට ලක්වෙන බව

3. තමන්ගේ තාරුණ්‍යය ගත කරන්නට නිවැරදි අවස්ථාවන් හා සුදුසු ස්ථාන නොමැති බව

4. තවමත් ඔවුන් දැඩි ආරක්ෂිත කලාපයක පීඩනයකින් කල් ගෙවන බව

5. තමන්ගේ අතුරුදන් නෑයන් පිළිබඳව තාමත් තොරතුරු නොමැතිව පීඩා විඳින බව

6. තමන්ගේ වගා බිම් තවමත් ඔවුන්ට හිමි වී නොමැති බව

7. ආරක්ෂක අංශවලින් නිරන්තර පීඩනයන් එල්ල වන බව

8. යුද්ධයේ අවසාන සමයේ ඔවුන් දිවි ගෙවූයේ අතිශය බිහිසුණු මොහොතක බව

9. යුද්ධයක් අවසන් වීමේ සතුට දකුණ වසර 10කට ආසන්න කාලයක් වින්දත් තාමත් උතුරට එය හීනයක් වී ඇති බව

පශ්චාත් සිවිල් යුද සමයක ප්‍රම්‍රඛතාව ලැබිය යුතු, එහෙත් රාජ්‍ය විසින් උවමනාවෙන් මඟහැර ගිය මෙම කාරණා අදටත් දකුණේ සමාජය විසින් සංවාදයෙන් බැහැර කරනවා. නන්දිකඩාල් කළපුවෙන් උතුරේ යුද්ධය දකුණට ජයග්‍රහණය අත්පත් කර දුන්නා. නමුත් පරාජයෙන් පෑරුණු සිත් සතන් සුවපත් කර, යුද්ධය නිසාම උතුරේ ප්‍රමුඛවත් දකුණේ ද්විතීයීකවත් නිර්මාණය වූ වෙනස් ගැටලුවලට විසඳුම් නොසොයා පාලම්, බෝක්කු, මාර්ග, ගොඩනැඟිලි වැනි භෞතික ඉදිකිරීම්වලට ප්‍රමුඛතාව හිමිවුණා. ලොව සිවිල් යුද්ධයන් පැවති සෑම රටක්ම භෞතික ගොඩනැඟීම්වලට ප්‍රථමව හෝ සමගාමීව තිරසර සාමයක් වෙනුවෙන් සමගි සන්ධාන (Reconciliation) ක්‍රියාවලියක් දියත් කළේ එහි වැදගත්කම ඔවුන් දන්නා නිසා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය ටියුඩර් සිල්වා මහතා වරක් මා සමඟ පැවසුවේ එවැනි සමගි සන්ධාන ක්‍රියාවලියක් පිළිබඳව යුද්ධය නිමා වූ වහාම ඔහු ඇතුළු පිරිසක් යෝජනා කළද රජය විසින් එය නොසලකා හැරි බවයි. ඔහු පැවසුවේ යුද්ධයේ පසුබිමේ සිටි ජනතාවට පමණක් නොව ගරිල්ලා සහ හමුදා සාමාජිකයන් වෙනුවෙන්ද මේ ක්‍රියාවලිය දිගු විය යුතු බවයි. එසේ නොවුණුහොත් අනාගත ප්‍රතිඵල සමාජයට සුබදායී නොවන බවයි.

ජනමාධ්‍යයන්ද එවැනි ක්‍රියාවලියක් වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා මේ වසර 10ක කාලය තුළ යුද ජයග්‍රහණය උත්කර්ෂයට නඟමින් සිටියා. අඩුම වශයෙන් උතුරේ හා නැඟෙනහිර පශ්චාත් යුද ගැටලුවලට විසඳුම් මතුකර ඒවාට අවධානය ලබාදීමටවත් ඔවුන් මැදිහත් වුණේ නෑ. නමුත් මේ මොහොතේ ඔවුන්ට “අරූන්” වැදගත් වෙනවා. ඒ වැදගත් වීම අතිශය දේශපාලනිකයි. හැබැයි උතුරට නොවේ දකුණට පමණයි.

[කපිල එම්. ගමගේ]

 

මාතෘකා