මධූෂ්, අමල් සහ අරුන්

 ඡායාරූපය:

මධූෂ්, අමල් සහ අරුන්

අපේ නූතන තාරුණ්‍යය අනාගතය දකිනුයේ සිල්ලර සිහින සහිතවය. ජීවිතය දිනීම යනු නිවසක්, වාහනයක්, උසස් රැකියාවක් හිමිකර ගැනීමය යන්න ඔවුන්ගේ හැඟීමය. ස්මාර්ට් දුරකථන සහ ආකර්ෂණීය පෙම්වතුන් ඔවුනගේ සිහින මත සරති. මනස වෙහෙසවා හිතීමට අලස, දියුණුවේ මංපෙත් අධිවේගීව තමන් වෙත ළඟා වනවාට කැමති ඔවුනගේ අපේක්ෂාවන් උපතින්ම ඇල්මැරුණු ස්වභාවයක පවතී. කිසිදු දිශානතියක් නොමැති එවන් තාරුණ්‍යයක් ඇති රටක් තුළ දියුණුවේ හෙටක් අපේක්ෂා කළ නොහැකිය.

ඉහත කරුණ නූතන කථිකාවත් තුනකින් කියවා බලමු. ඒ මාකඳුරේ මධූෂ්, අමල් පෙරේරා සහ අරුන් සිද්ධාර්ථන් හරහාය. එම සිදුවීම් අපේ සමාජය කියවාගත් ස්වභාවය අපට ලබාදෙනුයේ මානසිකව අප ඉන්නා තැන පිළිබඳ ඉඟියකි. එකී සිදුවීම් ත්‍රිත්වය සිද්ධි ලෙස හුදෙකලා නොකොට, එකට ගළපා ගතහොත් ගොනුවේම කතාව එකකි. ඒවා කියනුයේ අප පෙළනා දුගී මානසික ව්‍යාධීන් ගැනය. උත්කර්ෂයට නංවා කර තබා යන සිල්ලර කාරණා විමසීමේදී සිහියට නැඟෙනුයේ "යන්නේ කොහෙද මල්ලේ පොල්" න්‍යායය. එළැඹි සිහියෙන් මඳ මිනිසුන් වන අප, කිසිවකු විසින් අල්ලා දෙන ලද අහුකොන් දිගේ කණවැල ඇල්ලීම සිරිතක් කොට සිටී. ඉතිහාසයේ සිටම පහසුවෙන් නොමඟ යැවූ ජාතියක් වූ අපට, මධූෂ්ලාගේ, අමල්ලාගේ, අරුන්ලාගේ කතා වෙන් නොකොට එකට ගන්නට නොතේරෙන්නේ ඒකය.

නිරෝෂන් ප්‍රේමරත්නගේ පාර්ලිමේන්තු කතාව මෙරට මධූෂ්ලා නිර්මාණය වූ ආකාරය කියැවෙන අපූරූ එකකි. නිරෝෂන් නියෝජනය කරන දේශපාලන මතවාදයේ බොල් හලා අයින් කළ විට එහි බර අති සාධනීයය. විවිධ නම්වලින් ඉතිහාසයේ සිට අද දක්වා මතුවූ සෑම දේශපාලන ප්‍රවණතාවක්ම මුල් හානිය කළේ මෙරට තාරුණ්‍යයේ කොඳු නාරටියටය. ඒවා නිර්මාණය කළ උප සංස්කෘතීන් තුළ මොට කළේ මෙරට තරුණ පරම්පරාවේ හිතීමේ ශක්තියය. තරුණ ජවය, යෞවනයේ සුන්දරත්වය කෙරෙහි තබන විශ්වාසය පසෙකලා, අවියකට, ප්‍රචණ්ඩත්වයට, පීඩනයට බලයක් ඇතැයි යන හිතළුව නිර්මාණය කළේ මෙරට අවස්ථාවාදී දේශපාලනයයි. අවි ගත්තෝ අවියෙන් නැසෙන බව සිහි කරනු වෙනුවට, අවිය සිය සවිය කරගැනීම ඉතිහාසය අපේ තරුණ පරම්පරාවට ඉගැන්වූ වැරදි පාඩමකි.

මධූෂ් පිළිබඳ කථිකාවත අමල් පෙරේරාට ලඝු වූයේ ඇයි..? පළමුවැන්න, තරු කෙරෙහි අපේ රටට ඇති අන්ධ ඇදහීමයි. දෙවැන්න, පෙර සිදුවීම් ආසන්න සිදුවීම හා ගැළපීම යන පොදු මිනිස් ගතියයි. "අමල් හොඳට කන-බොන එකෙකය", "අමල් ගියේ සිංදු කියන්නටය", "පුතා එක්ක යයිද දන්නවනම්" වැනි කතා මෙන්ම "අමල් බබෙක්ද" කියා අසන්නේද ඇතැමුන් චෝදනා කරන සාමාන්‍ය ජනයා නොවේ. මේවා කරන්නේද අමල් ගායකයකු ලෙස ඔසවා තැබූ මාධ්‍ය අවකාශයමයි. විකිණිය හැකි ඕනෑම පුවතක් වැඩි ලංසුවට විකිණීම මේ සමාජයේ ක්‍රමයයි. එබැවින් අමල්ට පහර නොගසන්නැයි අප ඉල්ලිය යුත්තේ සාමාන්‍ය මිනිසාගෙන් නොව, මෙරට මාධ්‍ය මාෆියාවලිනි. අප සිටිනුයේ පියාගේ හිසට කොන්ක්‍රීට් ගල් පෙරලා මැරූ පුතුන් ඇති සමාජයකය. වැදූ මව සිය දියණිය මරා වතුරට විසිකළ සමාජයකය. ඔබ නෙළාගන්නේ ඔබ වැපිරූ දෙයෙහි අස්වැන්නය. සුදනන්, දුදනන් වෙන්කර හඳුනාගත හැකි මිම්ම ඔවුනගේ අතීත ක්‍රියාකාරකම්ය. අමල් වෙනුවෙන් නාහෙන් ඇඬීමද ඔහුව විකිණෙන ක්‍රමයේම එක් විලාසිතාවකි.

"ආවා" නමින් වචනයක් දමිළ භාෂාවේ නැතැයි අරුන් සිද්ධාර්ථන් පුන පුනා කියද්දී, ඔහුව රූපවාහිනී සාකච්ඡාවකට කැඳවන නාලිකාව ඔහුව හඳුන්වනුයේ "ආවා කල්ලි සාමාජික" ලෙසිනි. කුලය නිසා දකුණේ සිංහල සමාජයෙන් බැට කෑ හැටි නිරෝෂන් ප්‍රේමරත්න පවසද්දී, අනෙක් පසින් අරුන් සිද්ධාර්ථන් තමන් කුලය නිසා උතුරේ දමිළ සමාජයෙන් බැට කෑ වග කියයි. නිරෝෂන්ගේ, අරුන්ගේ කතාවල ඇත්තේ කල්ලිවාදය උතුරටත් දකුණටත් පොදු බව නොවේද..? සංනිවේදනයේ ප්‍රධාන මූලය භාෂාවයි. දකුණේ දරුවාට දෙමළ භාෂාව උගන්වා, උතුරේ දරුවාට සිංහල උගන්වන්නේ නැත්නම්, ඔවුන් එකිනෙකා සන්නිවේදනයෙන් බැඳෙන්නේ කෙසේද...? ජාතික ගීය පමණක් භාෂා දෙකෙන් ගැයූ විට ජාතික සමගිය වර්ධනය වේද..? යුද්ධය හුස්ම ගත් බිමක, අවි ආයුධ කතාකළ බිමක ඉපදුණු අරුන්ට ප්‍රභාකරන් මෝඩයකු ලෙස දැකිය හැකිනම් එවන් අරුන්ලා දස දහස් ගණනක් මේ බිමේ උපත ලද යුතුය. දේශපාලන හුරතලුන් වන්නට තවත් මධූෂ්ලාගේ උපත් සිදුනොවන්නේ එවිටය.

විරුවන් දෙවියන් ගණයේ ලා පුදන රටක, මාලී රාජ්‍යයේදී දිවිදුන් අපේ විරුවන්ට අමල් පෙරේරා වෙනුවෙන් වැටෙන කඳුළු වැටුණේ නැත. මධූෂ්ලාගේ පාතාල ක්‍රියාකාරකම් පවා උත්කර්ෂයෙන් වනන සමාජයක, දකුණේ ජන සමාජයට සහෝදරත්වයේ දෑත දිගු කරමින් පැමිණෙන අරුන්ලා පිළිගන්නට අපේ සූදානමක් පෙනෙන්නට නැත. අපට ඇත්තේ බිඳුණු පෙම වෙනුවෙන් "ෆේස්බුක් ලයිව්" පැමිණ සියදිවි නසාගන්නා හැටි පෙන්වන තාරුණ්‍යයකි. එවන් මන්ද මානසික තරුණ පරම්පරාවක් ඇති රටක් හෙටත් පාලකයන්, පූජකයන් සහ ආගම් විසින් දිගින් දිගටම රැවටෙනු ඇත.

[ධනුෂ්ක බස්නායක]

මාතෘකා