අමතර සැතපුමක්

 ඡායාරූපය:

අමතර සැතපුමක්

ජීවිතයේ යම් තැනකට එන්න නම් ගොඩාක් කැපකිරීම් කරන්න ඕන කියලා අපි කතාබහ කළානේ. මෙන්න මේ කතාව කට්ට කාගෙන ඉස්සරහට අඩියක් තියන්නේ කොහොමද කියලයි. ඉදිරිය සුබ කරගන්න නම් අද දවසේ යමක් කරන්නම වෙනවා. ඔන්න ඔය තේරුම අඩුකමිනුයි හුඟාක් අය කාලය කා දමා ගන්නේ.

හොඳ තැනකට එන්න පුළුවන් රිදී හැන්ද අතේ අරන් ඉපදුන, යමක් කමක් තියෙන කියන අයට විතරක් නෙවෙයි කියලා මුලින්ම අවධාරණයෙන් කියන්න ඕන. මොකද කිව්වොත් අද තියෙන තැනින් ඉස්සරහට අඩියක් නොතිබ්බොත් ඒ කියන්නේ තියෙන සමාජෙට හරියන විදියට යාවත්කාලීන නොවුණොත් ඔයාටත් වැටෙන්න වෙන්නේ අතීතය කර බැඳගෙන ඉන්න පුරාණයට පෙම් කරන්නන් ගොඩටයි. මේක තියෙන දේ රැකගෙන ඉදිරියේ දේ රැස් කරන්න වැදගත් වෙයි.

ඇත්තෙන්ම කට්ටක් කාගෙන ඉස්සරහට එන කෙනෙක්ට පුදුමාකාර අත්දැකීම් තියෙන බව වචන කිහිපයක් කතා කළාම දැනගන්න පුළුවන්. තැළිලා පොඩිවෙලා, ගානට තෙම්පරාදු වුණාම ඒ රසේ සියල්ල ජයගන්න අවශ්‍ය ශක්තිය ගේනවා.

ජීවිතයේ සුවපහසු සහ දුෂ්කර කියලා ප්‍රධානව බෙදුවොත් ඇත්තෙන්ම අපි ඉන්නේ සුවපහසු කලාපයේ. මෙහෙම කිව්වාම අපිට කොයින්ද සැප කියලා අහන්න එපා. හිතලා බලන්න, මං මේ කියන කතාව. අපි සුවපහසු කලාපයේ කියන්නේ අපි පුරුදුවෙලා ඉන්න සුපුරුදු රටාවකට ජීවිතය ගලාගෙන යන්න ඉඩ හරිනවා කියන එකයි. අපි සාමාන්‍ය රටාවෙන් පිටත දෙයක් කරන්න යනවා නම් හරි, කරද්දි හරි කියන්නේ "මාව මරන්න වගේ" කියලා. ඉතින් ඒකෙන්ම පේනවනේ කොයිතරම් අමාරු දෙයක්ද කියලා.

කට්ට කාගෙන හරි ඉස්සරහට යන්න ඕන කරන්නේ Growing Mindset එකක්. ඒ කියන්නේ වර්ධනය ඉලක්කගත වුණු අදහස් සපිරි සිතක්. අනෙක් සියල්ල පරද්දවලා අපට ඉස්සරහට එන්න නම් අපේ සිතිවිලි හරියාකාරව හසුරවා ගන්න වෙනවා.

මිත්‍රයා, ඔබ අද දවසේ විඳින වේදනාව සහ දුෂ්කරතාව සදාකල් පවතින්නේ නැහැ. සුවපහසු කියලා කාලය ගෙවන අතරතුරේ ඔබේ දැනුම හෝ යම් දක්ෂතාවක් දියුණු කරගත්තොත් ඔබට නොදැනීම එහි ප්‍රතිඵල ගෙනෙන දවසක් එනවා. කිසි දෙයක් නොකර ඉන්නවට වඩා අමතර අඩියක් තියන එකේ වාසිය සමහර වෙලාවට හිතාගන්න බැරි තරම්.

අද වෙනකොට අපිට ඕනෑම දෙයක් අත ළඟට සමීපයිනේ. ඉන්ටර්නෙට් එකෙන් සිතන ඕනම අදහසකට අදාළ තොරතුරු හොයාගන්න, දැනුම මුවහත් කරගන්න ඉඩකඩ ඇති තරම් තියෙනවා. මෙන්න මෙහෙම ලේසියෙන් දෙයක් ලැබෙද්දිත් ප්‍රයෝජනයක් ගන්න තරම් කල්පනා නොකරන එක නම් ප්‍රශ්නයක් තමයි.

අධ්‍යාපනය පැත්තෙන් හිතුවොත් අපි ඒ ඒ වයසෙදි කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ශිෂ්‍යත්වයෙන් පටන් අරන් උසස් පෙළින් අවසන් වන පාසල් අධ්‍යාපනය තුළ පවා කරන්න ඕන විභාග ලේසි පහසු කඩඉම් නෙවෙයි. ඕලෙවල්වලින් පාසලෙන් ඉවත්වෙන සහ ඒලෙවල්වලින් ඉවත්වෙන මොහොත හරියාකාරව හසුරුවාගන්න උපරිම උත්සාහ කළොත් අවුරුදු ගාණක් ඉස්කෝලේ ගිහින් දරපු මහන්සිය අපතේ යන්නේ නැහැ.

මේකට කියන්නේ අමතර සැතපුමක් දුවනවා කියලා. ඔබ වැඩිපුර දෙයක් කළා කියලා අපතේ යන්නේ නම් නැහැ. ඉස්කෝලේ යන කෙනෙක් නම් තමන්ගේ කාලය වැය කරල සමිතියක නැත්නම් ක්‍රීඩාවක යෙදෙනවා කියන්නේ පසු කාලෙක අවශ්‍ය වෙන නායකත්ව ගුණාංග සහ එකට වැඩකිරීමේ කලාව ඉගෙනගන්න ලැබෙන මසුරන් ඉඩක්. මොකද තාම අපේ අධ්‍යාපන ක්‍රමය තුළ එවන් පොත පතේ දැනුමකට ඉඩක් නැති නිසයි.

"අමතර සැතපුමක්" දුවලා විස්මිත ප්‍රතිඵල ගන්න අයත් ඕන තරම් ඉන්නවා. ටිකක් වැඩිපුර කාලයක් යමක් ඉගෙන ගන්න යෙදෙව්වම ඒ දේ ඇඟේ කොටසක් වෙනවා. විභාගවලින් උසස් ප්‍රතිඵල ගන්න අය කියන්නෙත් ඕකම තමයි. පන්ති ගිහිල්ලා ඇවිල්ලා පොත් ආයේ පෙරළල කරපු දේවල් ආයෙම බැලුවා කියන කතාවයි. අපි එයාලා ජයග්‍රහණයේ කතාව කියද්දී හිනාවෙන්නයි පුරුදු වෙලා තියෙන්නේ. "හැමෝම කියන්නේ එකම කතාවනේ" කියලනේ. එහෙම වුණා කියලා ඒක බොරුවක් නෙවේ. හැම ජයග්‍රහණයකම සැඟවුණු කතාව තමයි කාපු කට්ටේ සහ කරපු කැපවීමේ තරම.

මෙන්න මෙහෙම අමතර සැතපුමක් දුවපු කෙනෙක් කියලා මට මතක් වෙන්නේ සංගක්කාර. ඔහුව උදාහරණ ලෙස ගන්නේ ඔහු ක්‍රීඩාවෙන් පමණක් නෙවෙයි අධ්‍යාපනයෙන් එක ලෙස ඉහළට ආ කෙනෙක් නිසයි. මෙන්න මෙහෙම කරන්න නම් සුපුරුදු රටාව ටිකක් වෙනස් කරගෙන ඉස්සරහට යන්න අවශ්‍යයි. සංගක්කාර ක්‍රීඩා පුහුණුවේදී එයට අසීමාන්තිකව කැපවුණු ක්‍රීඩකයෙක් ලෙස ප්‍රකටයි. අනෙක් අය ඉවර කළත් ඔහු තව පන්දු දෙතුන් සියයක් සෙල්ලම් කරන්නේ ඒ කන කට්ට ඔහුගේ පිත්තෙන් ලකුණු පුවරුවේ සටහන් කරන්න ඉඩ ලැබෙන නිසයි.

අමතර මහන්සියක් යොදවන එකේ වාසිය, එහෙමත් නැත්නම් කට්ට කන තරමට ලැබෙන ප්‍රතිඵල විස්මිතයි කියලයි කියන්න තියෙන්නේ. අමාරුවෙන් උපයාගන්න දේවල්වල තියෙන රස දැන ගන්න ඒක කරලම බලන්න ඕන. ඒක කිව්වට දැනෙන එකක් නෙවෙයි. ඔයත් අමතර සැතපුමක් දුවන්න ලෑස්තිනම් ඒ රසේ අයිතිකාරයෙක් වෙනවා. මොකද කියන්නේ, දුවමුද?

[මේනක මදුජිත්]

මාතෘකා