දිල්ලියේ 'ෆිට්' එක

 ඡායාරූපය:

දිල්ලියේ 'ෆිට්' එක

මා සිටියේ නවදිල්ලි ගුවන් තොටුපොළේය. ගෙදර එමින් ගමනය. අත තිබූ ගමන් මලුවල විදුලි උපාංග නැවත එළියට අදිමින් පෙන්වමින් අවසන අපද ස්කෑන් පරීක්ෂාවෙන් පසු බඩු අසුරමින් සිටින අතර මා දුටුවේ දැන් පසු කර ආ ස්කෑන් යන්ත්‍රවලට ඔබ්බෙන් යමෙක් වැටී ගැහෙන අයුරුය. මට උන් තැන අමතක විය.

“මම වෛද්‍යවරියක්! උදවු උවමනාද?" මා ඇසූ සැණින් “එහි එන්න” යැයි ඔවුහු කීවෝය.

බෑග් ටික එතැනම දමා මා ඔහු අසලට යද්දී යමෙක් ඔහුගේ කට පුරා වතුර බෝතලයක් වත් කරමින් සිටියේය. ඔහු සිටියේ උඩුබැලි අතටය. සිහියක් නැතිව ගැහෙමින් ඇස් උඩ ගිහින් සිටි ඔහුගේ කටට වතුර වත් කරන කෙනා නවතා, “ඉක්මනින් මොහු වම් පැත්තට හරවන්න, වම් පැත්තට හරවන්න!” යැයි කියමින්, මා ඔහුගේ උඩු කය කොටස විගසින් වම් ඇලයට හැරවූයේ කටේ පිරී තිබුණු වතුර, කෑම සහ වමනය සියල්ලම එළියට ඒමට ඉඩ සදමිනි.

මතක තියාගන්න..., යමෙක් මීමැස්මොරය නිසා, අඩු රුධිර සීනි තත්ත්වය නිසා, වලිප්පුව නිසා, විජලනය නිසා හෝ මොළයට ඔක්සිජන් සැපයුම අඩාළ වීමක් නිසා ගැහෙමින් සිහිසුන්ව වැටෙන්නට පුළුවන්. “ෆිට්” එකක් කියන්නෙත් එයටමයි.

එවිට ඔබ කළ යුත්තේ ගැහෙන වැඩිහිටි බාල මහලු කවරෙක් හෝ වේවා, වම් ඇලයට හිස සහ කඳ හැරවීමයි. ඉන්පසු අත් හෝ කකුල් කඳ නොසෙල්වී අල්වාගෙන ෆිට් එක ඉවර වන තුරු හිඳින්න. කටට කිසිවක් දමන්න එපා. අවට සිටි ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් කළේද මා එම පුද්ගලයා අල්ලාගෙන ඉන්නා අතර ඔහුගේ අතට යකඩ කෑලි තැබීමය. එහි විද්‍යාත්මක පසුබිම මම නොදනිමි. මා අනන්තවත් ෆිට් එක හැදුණු මිනිසුන්, දරුවන් සමග වෙහෙසී තිබේ. එහෙත් මම කිසි දිනක යකඩයක් නම් අතට නොදුන්නෙමි.

දැන් මොහුද මිනිත්තු 5 -10ක පමණ වේලාවක් ගැහෙමින් සිට ඉන්පසු කෙමෙන් එය අඩු වී සිහිය විත් හිඳ ගන්නට හැදුවේය. මම එය වළක්වමින් ඔහු එලෙසම තියා ගන්නට වෑයම් කළෙමි. ගුවන් තොටුපොළ වෛද්‍යවරයා සහ පිරිස පැමිණියේ ඉන් පසුය. ඔහු එවිට හිඳගෙන සිටියේය. ඔවුන් ඔහුගේ සීනි මට්ටම සහ රුධිර පීඩනය, හෘදස්පන්දනය මැන බලන්නට ගත් හෙයින් මම එතැනින් පිටවී නැවත වරක් අර ස්කෑන් පරීක්ෂා මැදින් එළියට ආවෙමි.

ඇත්තටම මා දුටුවේ එතැන ප්‍රථමාධාර දැනුමක් නොමැතිකම නිසා ජීවිතයක් අනතුරේ හෙලන අයුරුය. එතැන වෛද්‍ය දැනුමක් තිබූ කෙනෙක් නොසිටින්නට අර පුද්ගලයා ගැහෙන අතරතුරේම කටට වත් කළ වතුර නිසා ගිලී මැරෙනු ඇත. මන්ද, එවැනි අවස්ථාවක පෙණහලුවලට එම දියර සහ තරල ඇතුළු වීමේ වැඩි අවදානමක් තිබෙන හෙයිනි.

ඔහුගේ පෙණහලු පරීක්ෂා කළ මට ඇසුණේද ඒවා තුළ හොඳ හැටි තරල එකතු වී ඇති අයුරුය.

1. කිසිම විටෙක එවැනි අයකුගේ මුවට කිසිවක් ඇතුළු කරන්න එපා. දිව හැපෙන බව දැක්කත් කිසිම විටෙක කිසිම දෙයක් දත් ඇඳි අතරට දමන්න එපා.

2. වම් ඇලයට හරවා අල්ලාගෙන සිටින්න.

3. ගැහීම පටන් ගත් වේලාව සහ අවසන් වූ වේලාව මතක තබා ගන්න.

4. ඔක්සිජන් ඇත්නම් මුහුණු ආවරණයක් මගින් ඔක්සිජන් ලබා දෙන්න. මිනිත්තු 5-10 ඇතුළත වලිප්පුව හෙවත් ෆිට් එක නැවතුණේ නැත්නම් විගසින් වෛද්‍ය උපදෙස් ලබා දෙන්න.

5. ගැහෙන අතර රෝහලකට ගෙන යන්නේ නම් වම් ඇලයට හරවා තිරස් අතටම ඔසවා ස්ට්‍රෙචර් එකක ගෙන යන්න. ගැහෙන රෝගියෙක් හිඳවීමට හෝ සිටුවීමට උත්සාහ නොකරන්න.

6. මළ මූත්‍රා පිටවී ඇත්දැයි විමසිලිමත් වෙන්න.

මෙවැනිම සිදුවීමක් රෝහලෙන් පිටතදී මට සිදුවී ඇත්තේ එක්වරක් පමණි. ඒ වෙසක් පෝ දිනක රුවන්වැලි සෑ අබියස සිල් සමාදන් වූ දිනකය. එතැන කෙනෙක් වෛද්‍යවරයෙක් ඇත් දැයි කෑ ගසන හඬ ඇසී දිව ගොස් බලන විට දුටුවේ මේ ආකාරයෙන්ම ගැහෙන වැඩිහිටියෙකි. ඔහු අවට සිටි අය ඔහු ගැන දැනගෙන සිටියෝය. ඔහු වලිප්පුව සෑදෙන, ඊට බෙහෙත් ගන්නා අයෙකි. ඊට පෙර දින ඔහු නිදිවරා සිටි බවද අසල වූවෝ කීහ.

ඔව්. නිදි මැරීම, දැඩි ආලෝක විදුලි බුබුළු, නිවි නිවී පත්තුවෙන ආලෝක බුබුළු දෙස බලා සිටීම, වෙහෙස වීම, අධික ආතතියට පත්වීම වැනි දේ තුළින් වලිප්පුවට නිසි බෙහෙත් බොන අයට වුවද වලිප්පුව හෙවත් ෆිට් එක නැවත ඇතිවිය හැකිය. පෙර කී වැඩිහිටියාට සිදුවී තිබුණේද එයමය. නොයෙක් දෙනා එතැනදිත් උත්සාහ කළේ බෙහෙත් පෙති ගෙනැවිත් “මේවා දිය හැකිද?” කියා මගෙන් විමසීමය. වතුර බෝතල් ගෙන ඒමය. යකඩ ඇණ සොයා යෑමය. ඒවා කිසිවක් නොකර ඔහුගේ ගැහීම නතර වන තෙක් වම් ඇලයට හරවා නිදි ඉරියව්වෙන් තබා අල්වා ගතිමි. මිනිත්තු 5ක් ඇතුළත ෆිට් එක නැවතුණු අතර ඔහුගේ පෙණහලු තුළට දියර යෑමක් නම් සිදු නොවීය.

නොසිතන මොහොතක ඔබ අවට කවරකුට හෝ මෙම තත්ත්වය ඇතිවිය හැකිය. ඔබ දන්නා හඳුනන කෙනකු නොවන්නටද පුළුවන. එහෙත් මේ සරල ක්‍රියාකාරකම් දැන සිටීමෙන් ජීවිතයක් ගලවා ගැනීමට ඔබට හැකිවනු ‍ඇත.

වෛද්‍ය [බෝධිනී සමරතුංග]

 

මාතෘකා