උදේ ඉඳන් වකුටු කොන්ද දිග හැරපල්ලා අතේ තියෙන ගොයම් මිටිය බිම දමපල්ලා

 ඡායාරූපය:

උදේ ඉඳන් වකුටු කොන්ද දිග හැරපල්ලා අතේ තියෙන ගොයම් මිටිය බිම දමපල්ලා

රජරට වැසියන් මෙවර අස්වැන්න නෙළාගන්නටත් පෙර මහ වැසි ඇද වැටුණේය. වැස්ස තව දිග්ගැස්සුණොත් ගොවියන් විසින් කාලයක් පෙරුම්පුරාගෙන අස්වද්දන ලද අස්වැන්න කපා ගැනීම සිහිනයක් වීමට ඉඩ ඇත. මෙවැනි බාධා කොහොමත් ඔවුනට හුරුපුරුදුය. එහෙත් බාධා පැමිණවීම පිළිබඳ ඔවුන් මහපොළවට, පරිසරයට දොස් තබන්නට යන්නේ නැත. දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන්ව රැකබලා ගත්තේ මෙම මහපොළව බව ඔවුන් දනී. එහෙත් දෛවයේ සරදමකට මෙන් එක දිගට වසර ගණනාවක් තිස්සේ ඔවුනට හරිහමන් අස්වැන්නක් ලබාගැනීමට නොහැකි වීම යන සිතුවිල්ලෙන් ඔවුන්ගේ සිත් ආතුරව ඇත.

එහෙත් ඔවුනට විඳීමට සිදුවන දුක් පිරිපත එපමණක්ම නොවේ. සහල් ආනයනය අධෛර්යමත් කිරීම සඳහා රජය විටෙක බදු පනවයි, තවත් විටෙක එකී බදු රජය විසින්ම ඉවත් කරනු ලබයි. අපට වී ගොවිතැන ප්‍රමුඛ දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට රටක් වශයෙන් තවමත් නිශ්චිත සැලසුමක් නොමැත. මේ කිසිදු විපර්යාසයකින් මහා පරිමාණ වී මෝල් හිමියන්ට නම් කිසිදු අවැඩක් සිදුවන්නේ නැත. ඔවුන්ට අස්වනු නෙළීමට මත්තෙන් රට තුළ සහල් හිඟයක් මවා වැඩි මිලක් නියම කරමින් ආනයනික සහල් අළෙවි කිරීම සිදු කළ හැකිය. එහෙත් අස්වනු නෙළන කාලයට නැවතත් සහල් මිල පහත වැටීමත් සමග අඩු මිලකට ගොවියන්ගෙන් සහල් මිලදී ගැනීමට ඔවුන් නැවතත් පෙළ ගැසෙයි. පාඩුව විඳගනිමින් හෝ රජය විසින් සහල් මිලදී ගනු ලැබුවද එවැනි ක්‍රියාමාර්ග මගින් තවදුරටත් ගොවියන් ධෛර්යමත් කළ නොහැකිය. සත්‍ය නම් ගොවියා ක්‍රමක්‍රමයෙන් වී ගොවිතැනින් ඈත් වෙමින් සිටීමයි. වී ගොවිතැනෙහි නියැළීමෙන් ලාබයක් ලැබිය නොහැකිය යන ප්‍රවාදයද සමාජ ගතවෙමින් ඇත. කෙසේ වුවද රජරට ආදී පැතිවල පැතිර යන නිදන්ගත වකුගඩු රෝගය ආදී රෝගී තත්ත්වයන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ගොවියන් උපයන සොච්චම් මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් වැයවන බවද, අවසානයේ ගොවියාට කිසිදු ප්‍රතිලාබයක් නොලැබී දුකින් තැවුණු පීඩිත සිතක් සහ රෝගී කයක් පමණක් ඉතිරිවන බවද අප අත්දකිමින් පවතින යථාර්ථයයි.

"සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව" පිළිබඳ මිථ්‍යාව ලාංකික සමාජය මත උත්තරාරෝපණය කිරීම සිදු වූයේ හැත්තෑව දශකයේ අවසාන කාලයේය. එම කාලයේ සිටම ලිබරල්, පෞද්ගලීකරණය සහ ගෝලීයකරණ ආර්ථික ප්‍රතිපත්ති හරහා කර්මාන්ත අංශය අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරද්දී කෘෂිකාර්මික අංශ වඩවඩාත් අඩු අවධානයට ලක්වෙමින් පරිහානියට පත් වීම සිදුවිය. එම තත්ත්වය ගොවීන් විශාල ප්‍රමාණයක් තම වෘත්තිය අතහැර දැමීම ඇතුළු තවත් විවිධ සමාජ, ආර්ථික ගැටලු ගණනාවක් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ වර්ධනය වීම සඳහා බලපෑවේය. නව ආර්ථික ප්‍රතිපත්ති හරහා අත්පත් කරගත් සංවර්ධන ප්‍රතිඵල ඉහළ මධ්‍යම පාංතික සහ ඉන් ඉහළ කොටස් අත්විඳිද්දී ලංකාවේ බහුතරයක් කෘෂිකාර්මික ප්‍රජාව අයත් පහළ මධ්‍යම පාංතික සහ ඉන් පහළ නිර්ධන පාංතික මට්ටම්වල සිටින කොටස් සඳහා එකී ප්‍රතිලාභ අත් විඳීමට අවස්ථාව නොලැබීමත් සමග මෙම තත්ත්වය වඩාත් වර්ධනය වූයේය.

එමෙන්ම පැරණි කෘෂිකාර්මික සමාජ සබඳතාවය බිඳ දමා ගොවිතැන පෞද්ගලික නිෂ්පාදන වෘත්තියක් දක්වා ආන්තිකකරණය කෙරිණ. වෙළෙඳපොළ තර්කනය විසින් පුද්ගල ආත්මය පරාරෝපණය කරවීමේ තත්ත්වයට ගොවියන්ටද මුහුණ පෑමට සිදුවිය. ගොවියා දෙලොවක් තුළ අතරමන් විය. එක් ලොවක් ඔහු මේ දක්වා සුරැකගෙන ආ සාම්ප්‍රදායික හරපද්ධති සහ සමාජ සබඳතා ඇතුළත් විශ්වයයි. අනෙක සංවර්ධනය මගින් ඔහු වෙත ලබාදුන් ආර්ථික සමෘද්ධියක් පොරොන්දූ වූ ස්වප්නමය විශ්වයයි

සමාජ සබඳතා මත පදනම් වූ සාම්ප්‍රදායික ගොවිතැනද එමගින් පරිහානියට පත්විය.නිදහස් වෙළෙඳපොළ ආර්ථික මැදිහත්වීම හරහා සිදු වූ තරගකාරීත්වය හරහා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය සඳහාද නව තාක්ෂණය සහ දෙමුහුන් බීජ හඳුන්වා දීම සිදුවිය. එපමණක් නොව, වගාව වර්ධනය කරගැනීම සඳහා විවධ පොහොර වර්ග සහ වල් සහ කෘමිනාශක හඳුන්වා දීමද සිදුවිය. මෙකී සමස්ත ක්‍රියාවලිය මගින් සිදු වූයේ මෙවැනි නව නිෂ්පාදන රටාවක් භාවිතයට ගැනීම සහ ක්‍රියාවට නැංවීම හරහා එතෙක් කෘෂිකර්මාන්තය තුළ සංසරණය වූ සාම්ප්‍රදායික දැනුම් පද්ධතිය තව දුරටත් භාවිතා කිරීම තමන්ට බාධාවක් කොට සැලකූ කෘෂි නිෂ්පාදන සිදුකළ බහුජාතික සමාගම් එකී දැනුම අවැදගත් අකාර්යක්ෂම දැනුම් පද්ධතියක් ලෙස සලකා බැහැර කරවීමට ඉතා සියුම්ව කටයුතු සංවිධානය කිරීමයි. වීවලට විකල්ප ආහාර නිෂ්පාදන ශක්‍යතාවක් ඇති වෙල්මාරුක් වැනි ශාක ගොයමට හානි කරන "බජිරි, ගොජිරි, වෙල් මාරුක්" වැනි වල්පැළ කාණ්ඩයට ඇතුළත් කොට එම ශාක වල් පැළ ලෙස මුලිනුපුටා දැමිය යුතුය යන පණිවිඩය සමාජ ගත කිරීම එයට නිදර්ශනයකි.

[දිනේෂ් දේවගේ]

මාතෘකා