කටට උඩින් මොළය පිහිටා ඇති බව නොදැන සිටීම

 ඡායාරූපය:

කටට උඩින් මොළය පිහිටා ඇති බව නොදැන සිටීම

තේරුමක් නැතිව ඔහේ කියවීම අපේ පැරැන්නන් හැඳින්වූවේ ‘කටකම සෙයියාවක් නැතිව කියවීම’ කියලා. ඒකට හේතුව ඒ කියවන දෙයට කිසිම තේරුමක් නැති වීම. සාමාන්‍යයෙන් “දොඩමලු වීම” කියන්නෙත් නිෂ්ඵල දේ කියවීම. වර්තමානයේ ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍යකරුවකු වීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සුදුසුකම වන්නේ කටකම සෙයියාවක් නැතිව කියවීම හා දොඩමලු වීමට හැකිවීම. රූපවාහිනී මාධ්‍යට නම් රූපය ගැනත් වර්තමාන මාධ්‍ය ප්‍රධානින් හා අයිතිකරුවන් හරියට හිතනවා. නමුත් ඇත්තටම අවශ්‍ය විය යුත්තේ කට නමැති ශරීර අවයවයට ඉහළින් ස්වාභාවයෙන්ම පිහිටා ඇති මොළය නිවැරදිව ක්‍රියාත්මක වන, භාවිත කරන හා එසේ කළ යුතු බව දන්නා මාධ්‍යකරුවන් මයික්‍රෆෝනය හා කැමරාව ඉදිරියට කැඳවීම.

එක් රූපවාහිනී නාළිකාවක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ලවා තමන්ට අවශ්‍ය දේ කියවා ගැනීමට ගත් උත්සාහයේ විසුළු ස්වරූපය සමාජයේ හාස්‍යයට ලක්වීම මේ මෑතක අප දුටු අපූරු උදාහරණයක්. ඇත්තටම විද්‍යුත් මාධ්‍යයක ආරාධිතයකු සම්මුඛ සාකච්ඡාවකට බඳුන් කිරීම යනු දියුණු වෘත්තීයමය කාරණයක්. ඒ පිළිබඳව ලියැවුණු පතපොත මෙන්ම ලිපි ලේඛනද බහුලයි. බහුතරයක් මේවා ලියැවී තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඊට අමතරව ඉංග්‍රීසි භාෂිත මාධ්‍ය වෘත්තිකයන් නිවැරදිව විද්‍යුත් මාධ්‍යයේ සිදුකළ සම්මුඛ සාකච්ඡාවන් අන්තර්ජාලයේදී ඇතිතරම් හමුවෙනවා. සැබැවින්ම ජනමාධ්‍ය වෘත්තිකයා යනු සමාජයට වගකියන හා වගවන වෘත්තිකයකු බව පිළිගන්නා දියුණු සමාජයක් මෙවැනි කාරණා ගැන ඇත්තෙන්ම වඩාත් සැලකිලිමත් වෙනවා.

ජනමාධ්‍යයේදී සම්මුඛ සාකච්ඡා යන ආකෘතිය බහුලව භාවිත වන ආකෘතියක්. ගුවන් විදුලි, රූපවාහිනී පමණක් නොවේ මුද්‍රිත මාධ්‍යයේ පවා මෙය නිරන්තරයෙන් භාවිත වෙනවා. එයට හේතුව තමයි තොරතුරු ලබාගැනීමේ වඩාත් ප්‍රචලිත හා විශ්වසනීය මූලාශ්‍රය වන්නේ පුද්ගලයන් වීම. මුද්‍රිත මාධ්‍යයේදී නම් යම් සම්මුඛ සාකච්ඡාවක් කළ පසු ලේඛකයාට එය සකසා ලිවීමේ හැකියාව තිබෙනවා. නමුත් විද්‍යුත් මාධ්‍යයේදී එයට ඉඩක් ලැබෙන්නේ නැහැ. විද්‍යුත් මාධ්‍යයක සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමේ අරමුණ වන්නේ කිසියම් නිශ්චිත මාතෘකාවක් සම්බන්ධව, ඒ පිළිබඳ දැනුම ඇති ප්‍රාමාණිකයකු ලවා නිවැරදි තොරතුරු ඔහුගේ හෝ ඇයගේ කටහඬින්ම ග්‍රාහකයාට ප්‍රශස්ථ තීරණයකට එළැඹිය හැකි ආකාරයෙන් ඉදිරිපත් කිරීමට අවකාශය නිර්මාණය කර දීම. බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ (BBC) කළමනාකරණ පුහුණු අංශයේ ප්‍රධානියා වූ රොබට් මැක්ලීෂ් (Robert McLeish) පවසන්නේ සම්මුඛ සාකච්ඡාවක් මෙහෙයවීමේදී මෙහෙයවන්නාගේ මතය කිසිසේත්ම එයට අදාළ නොවන බවයි. එසේම සම්මුඛ සාකච්ඡාවක් යනු ඝට්ටනයක් නොවන බවත් සහභාගි වන ආරාධිතයා තමන්ගේ ප්‍රතිමල්ලවයා නොවන බවත් මැක්ලීෂ් පවසනවා. ඔහු පවසන වැදගත්ම කාරණය වන්නේ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්විය යුත්තේ මෙහෙයවන්නාගේ හෝ ආයතනයේ මතය ජයග්‍රහණය කරවීමට නොවන බවයි.

සාමාන්‍යයෙන් සම්මුඛ සාකච්ඡාවක් මෙහෙයවීමේදී මෙහෙයවන්නා සිදුකළ යුතු පළමු කාර්යය වන්නේ අදාළ මාතෘකාව පිළිබඳ තමන්ගේ ග්‍රාහකයා දැන ගැනීමට කැමති හා දැන ගතයුතු කරුණු මොනවාදැයි අවබෝධ කර ගැනීම. ඒ තුළින් තමන්ගේ ග්‍රාහකයා නිවැරදිව අවබෝධ කරගන්න පුළුවන්. අනෙක් අතට ආරාධිතයාගේ ගති ස්වභාවයන් පිළිබඳවද මෙහෙයවන්නාට පූර්ව අවබෝධයක් තිබිය යුතුයි. තවත් වැදගත් කාරණයක් වන්නේ අදාළ මාතෘකාව පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු රැසක් තමන් විසින් සොයා, කියවා රැස් කොට තබා ගැනීමයි.

එදා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදී මෙහෙයවන්නන් තිදෙනා මේ “ගෙදර වැඩ” කර තිබුණේ දැයි සැකයක් උපදිනවා. අනෙක් අතට මෙහෙයවන්නන් තිදෙනකු තනි ආරාධිතයකු සම්මුඛ සාකච්ඡාවට බඳුන් කරන්නේ ඇයිදැයි මුහුණුපොතේ රසිකයකු අසා තිබුණා මතකයි. අදාළ නාළිකාව පවසන ආකාරයට නම් එය ඔවුන්ගේ වැඩසටහනේ ස්වරූපයලු. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට සිය අදහස පරිපූර්ණව ඉදිරිපත් කිරීමට ඉඩ නොදී මෙහෙයවන්නන් එයට බාධා කිරීමට ගත් උත්සාහයන් කිහිප වතාවකදී දැක ගන්නට පුළුවන් වුණා. එය සම්මුඛ සාකච්ඡාවක් මෙහෙයවීමේ මූලික සිද්ධාන්තයක් උල්ලංඝනය කිරීමක්. සහභාගිවන්නා ඉදිරිපත් කරන කාරණයකින් යළි ප්‍රශ්නයක් නිර්මාණය වන්නේ නම්, තමන්ට ප්‍රශ්නයක් ඇති බව ඉඟිකර ඒ සඳහා ඉඩ ලබාගත යුතුවෙනවා. එදා වැඩසටහනේදී මූලිකම අවුල්වීම ගොඩනැඟෙන්නේ මේ වැරැද්ද හේතු කරගෙන. එතැන් සිට වැඩසටහන අවුලෙන් අවුලට යනවා. මෙහෙයවන්නන් දෙදෙනෙක් දුර්මුඛ වෙනවා. වැඩසටහනේ අරමුණ විසිරෙනවා. ආරාධිතයා වෛරක්කාරයකු බවට පත් වෙනවා.

සම්මුඛ සාකච්ඡාවක මූලික ආචාර ධර්මයක් වන්නේ සහභාගිවන්නා කෝප ගැන්වීමෙන් වැළකීම. නමුත් අවාසනාවට අපේ විද්‍යුත් මාධ්‍යයන්ගේ, විශේෂයෙන් රූපවාහිනී මාධ්‍යයේ අප දැක ඇත්තේ තමන්ගේ මතයට ප්‍රතිවිරුද්ධ අදහසක් ඉදිරිපත් වූ සැනින් මෙහෙයවන්නා ආරාධිතයාව කෝප ගන්වන ආකාරයේ සම්මුඛ සාකච්ඡාවන් හා සාකච්ඡාවන්. එය නිවැරදි තොරතුරු සොයනා ග්‍රාහකයාට කරන බලවත් අසාධාරණයක්. බීබීසී ආයතනයේ Hard Talk සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන ටිම් සෙබස්තියන් හා CNN රූපවාහිනියේ සුප්‍රකට Larry King Live මෙහෙයවන ලැරී කිංග් එම වැඩසටහන් මෙහෙයවන නොබැඳි නැත්නම් මධ්‍යස්ථ ස්වරූපය අපට බොහෝ දේ උගන්වනවා. හැබැයි ඒ අප “හැදෑරීමට කැමැති” මාධ්‍යකරුවන් නම් පමණයි.

වරක් ලැරී කිංග් පවසන්නේ “ආරාධිතයා යනු මට අන් හැමකෙනකුටම වඩා වැදගත් පුද්ගලයා.” කියායි. ඒ නිසා ආරාධිතයා යනු බොක්සිං වළල්ලක තමන්ට සම්මුඛ වන ප්‍රතිවාදියා නොවන බව අප ඉගෙනගත යුතුයි.

[කපිල එම්. ගමගේ]

මාතෘකා