අප්‍රකට කැරලිකරුවෝ

 ඡායාරූපය:

අප්‍රකට කැරලිකරුවෝ

ගෙවී යන්නේ නිදහස ගැන වැඩි වැඩියෙන් කියවෙනා සමයක්ය. මේ කියන්නට යන්නේ නිදහස ගැන කියවෙනා විට අසන්නට නොලැබෙන නමුත් ඊනියා නිදහසේදී කතා කළ යුතුම පිරිසක් ගැන කතාවකි. රැල්ෆ් පීරිස් විසින් රචිත සිංහල සමාජ සංවිධාන නමැති ග්‍රන්ථයේ සෙංකඩගල රාජධානිය දිසාවනිය නම් පරිපාලන කොට්ඨාස 12කින් හා ඊට වඩා කුඩා වූ “රට ” නමින් හඳුන්වන පරිපාලන ඒකක 9කින් යුක්තව පාලනය වූ බව සඳහන්ය. මේ අනුව වර්තමාන දිගාමඬුල්ලේ බින්තැන්නපත්තුව උඩරට රාජධානියේ බින්තැන්න දිසාවට අයත්ව තිබුණි. මෙකල බින්තැන්නපත්තුව තොටඔය (මගලවටානආරු) සිට මාදුරු ඔය දක්වා විහිද පවතින අතර එකල තොටඔය සිට මහවැලි ගඟ දක්වා පැතිර තිබිණි. බින්තැන්නපත්තුව, වැව්ගම්පත්තුව හා පානම්පත්තුව 1871 සිට ජන සංඛ්‍යා ලේඛනවල හඳුන්වා ඇත්තේ කැන්ඩියන් සිංහලීස් (Kandyansinhalese) යනුවෙනි.

1815 දී උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ගේ පාලනයට යටත් වීමෙන් පසු ස්වාධීනත්වය අවැසි වූ දේශප්‍රේමී ජනතාව ඉංග්‍රීසීන් පලවා හැරීම සඳහා වෙහෙසුණහ. වෙල්ලස්සේ හා බින්තැන්නේ විසුවන් අතර මෙම නිදහස් හැඟීම වඩාත් ඉස්මතුවනු දැකිය හැකි විය. ඉතිහාසඥයකු වූ ජී.සී. මැන්දිස් මහතාගේ “ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය” නම් ග්‍රන්ථයේ බ්‍රිතාන්‍ය පාලනයට බොහෝ සෙයින් විරුද්ධ වූවෝ බින්තැන්නේ හා වෙල්ලස්සේ සිංහලයන් යයි සඳහන් කර ඇත.

දිසා දෙකක් ලෙස පැවතුණද වෙල්ලස්සත් බින්තැන්නත් එකම සංස්කෘතික කලාපයක් විය. දිසාවන් දෙක එකිනෙකට යාබදව පිහිටි නිසාම අවාහ විවාහ සහ ඥාති සබඳතාවන් ඇතුළු මානව බැඳියාවන් පැතිර ගොස් තිබුණි. එනිසාම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ඔවුහු එක්ව සංවිධානය විය. 1818 වෙල්ලස්ස - බින්තැන්න කැරැල්ල එම සංවිධානය වීමේ ප්‍රතිඵලයයි.

වෙල් ලක්ෂයක් තිබූ වෙල්ලස්ස සේම බින්තැන්නද ඉතා සශ්‍රීක ප්‍රදේශ විය. විමලානන්ද තෙන්නකෝන් ලියූ “උඩරට මහකැරැල්ල” ග්‍රන්ථයට අනුව වී අමුණු 584ක වපසරියෙන් යුතු කෙත් යායක් බින්තැන්නේ පැවතියේය. එනිසාම අහේනියෙන් තොර කලක් ගෙවූ මෙහි වැසියෝ අහිම් වූ ස්වාධීනත්වය උදෙසා සටනට බටහ. බින්තැන්නේ කතරගම දේවාලයක් වූ බව කියැවේ. මේ ස්ථානය මහා බලගතු තැනක් ලෙස ජනතාව විශ්වාස කර ඇත. මෙම දේවාලයට ඉහගම හාමුදුරුවන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවට විනාශය යදිමින් පුද පඬුරු යැවූ බවට උන්වහන්සේට විරුද්ධව 1818 කැරැල්ල පිළිබඳ නඩු විභාගයේදී තෙල්දෙණියේ මහ එලියවිදානේත් පොල්වත්තේ උන්නාන්සේත් බින්තැන්න කතරගම දේවාලයේ කපුරාලත් සාක්ෂි දී ඇත.

වෙල්ලස්සේත් බින්තැන්නේත් කැලඹීමක ලකුණු පහළ වූයෙන් කැරලිකරුවන් සිරභාරයට ගැනීමට බ්‍රිතාන්‍යයන් විසින් හජ්ජි මුහන්දිරම් නම් මුස්ලිම් ජාතිකයා පිටත් කර හරින ලදී. හජ්ජි මුහන්දිරම් බින්තැන්නේ දංකුඹුරට ගිය බවත් ඒ වන විට ජනතාව කැරැල්ලට පොලඹවමින් සිටි භික්ෂුන් වහන්සේ හා වඩුග ජාතිකයා කෙහෙල් වැල්ලේ සිටි බවත් සන්නද්ධ වැද්දන් 200ක් පමණ මේ පිරිසට ආරක්ෂාව සැපයූ බවත් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා 1817 නොවැම්බර් 07 වැනි දින යටත් විජිත ලේකම් බැතර්ස්ට් වෙත යැව් ලිපියක සඳහන්ය. බූටෑවේ රාල විසින් අත්අඩංගුවට ගනු ලැබූ හජ්ජිමුහන්දිරම් “දෙයියෝ” නමින් හැඳින් වූ වඩුග ජාතිකයා හමුවට ගෙන ගිය බවත් එම ලිපියේ සඳහන් වේ. කැරලිකරුවන් කොකාගලදී රජකෙනෙක් පත් කළ බව බදුලුගම්මන රටේ රාලගේ සාක්ෂ්‍ය යේ සඳහන්ය. මේ අනුව පැහැදිලි වන්නේ වත්මන් දිගාමඬුල්ලට අයත් බින්තැන්නේ කොකාගල කැරලිකරුවන්ගේ මධ්‍යස්ථානයක්ව පැවති බවයි. කැරලිකරුවන්ගේ රජු ආයුධ සන්නද්ධ භටයන් 200කගේ ආරක්ෂාව ලබමින් විසූ කෙහෙල්වැල්ල වර්තමාන කෙහෙල් උල්ල යයි විශ්වාස කළ හැකිය. මේ ගම ආසන්නයේ දංකුඹුර නම් ගමක්ද පිහිටයි.

1818දී ඇති වුණ නැඟිටීම ඌවේ කැරැල්ල, වෙල්ලස්සේ කැරැල්ල, උඩරට කැරැල්ල ලෙස හැඳින්වුවද බින්තැන්නද කැරැල්ලේ මධ්‍යස්ථානයක්ව පැවති බව පැහැදිලිය. කැරැල්ල පරාජයට පත් වීමෙන් අත්අඩංගුවට ගෙන මරණ දඬුවම ඇතුළු විවිධ වද බන්ධනවලට ලක්කළ සිරකරුවන්ගේ නාම ලේඛනය හා සසඳන විට වෙල්ලස්ස, ඌව වැදිරට, පානම බින්තැන්න යනාදී පෙදෙස්වල වැසියන්ගේ නම් දැකගත හැකිය. ඌව වැදිරට යනුවෙන් එකල හැඳින්වී ඇත්තේ වර්තමාන වැව්ගම්පත්තුව හා ඊට යාබද වැදිරට කෝරලේය. එහි වැසියන් වූ මඩුගම රටේ රාල, කන්දකැටියේ රටේ රාල, කරාත්තේ රටේ රාල, පානම්පත්තුවේ වැසියන් වූ කැබලිත්තේ මහබෙත්මේ, කිරිගල්පත්තේ පුංචිරාල, විල්ලෝර මහබෙත්මේ, බින්තැන්නේ රටේරාල, මිරිස්වත්තේ අප්පුහාමි, කෙහෙල්වැල්ලේ බණ්ඩා යන අයගේ නම් අනුව ඔවුන් දිගාමඬුල්ලේ වැසියන් බව හඳුනාගත හැකිය.

1818 කැරැල්ල සමාජ පරිණාමය ආපසු හරවන්නක් යයි අදහස් කරන්නෝ ද වෙති. කෙසේ වුවද එහි පැන නැඟීම හා සමාජමය කාර්යභාරය වෙනම සාකච්ඡා කළ යුතුය. නමුත් මීට වසර දෙසීයකට පමණ පෙර පොදු අරමුණක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් පෙරට ඒම, තුවක්කු, බයිනේත්තු ඉදිරියේ දුනු ඊතලවලින් සටන් වැදීම ඒ මිනිසුන්ගේ වීරත්වයද, ආත්ම විශ්වාසයද කියාපාන්නක් වෙයි. ඒ මහා කැප කිරීම් සිදුකර ඇත්තේද තම අරමුණ වෙනුවෙන් අවංකවම කැපවී ඇත්තේද එකල සිටම රැවටීමට ලක්ව ඇත්තේද වෙල්ලස්ස, බින්තැන්නපත්තුව, පානමපත්තුව, වැනි ප්‍රදේශයන්හි ජීවත් වූ පුංචි රාලලා සහ අප්පුහාමිලාය.

මාතෘකා