හිත රිද්දන වැරදි විනිශ්චයන්

 ඡායාරූපය:

හිත රිද්දන වැරදි විනිශ්චයන්

මේ ගෙවෙන්නේ ජීවිතයේ අතිශය දුෂ්කර දවස්ය. නින්දක් නැත. කෑමක් නැත. හිරි වැටෙන හිසත් ඇදුම් දෙන ගතත් ඇඳ මත සතපා ගෙවන කාලය වැඩිය. වසර තිස් දෙකක් කඩින් කඩ වුවද දීර්ඝ කාලයක් ජීවිතේ ගෙවූ නවාතැනෙන්ද නික්ම හුදෙකලාව සියලු වේදනාවෝ දරා කැබලි වූ ජීවිතයද ගෙන විත් තට්ට තනියම ගෙවන මේ ජීවිතය සැබැවින්ම දුෂ්කරය. සමාජ මාධ්‍ය ජාලාවලින් ඉවත් වීමද දුරකථනය භාවිත කිරීම නවතා දැමීමද සිදුවී දැන් ටික කලක්ය. ඒ නිසාවෙන් දවසට මුවින් නිකුත් වන්නේ වචන දහයකට අඩු ප්‍රමාණයක් වන දිනයන්ද දැන් ජීවිතේ ඇත. කාලය කෙමෙන් කෙමෙන් ගෙවෙන්නේ මේ ලෙසය.

සතියේ දින හතෙන් හයක්ම ශාරීරික හා මානසික වේදනා වෙනුවෙන් සුසුම් හෙළන්නට ඉඩ සාදා දී ඇත. එහෙත් දින හයම කෙසේ ගෙවුණද ඉරිදාව නම් කෙසේ හෝ දරාගත යුතුය. අපහසුවෙන් හෝ සිනාසිය යුතුමය. දහසකුත් ප්‍රශ්න විසඳිය යුතුමය. ඒ මගෙන් අකුරු කරන භද්‍ර යෞවන යෞවනියන්ගෙන්ය. අද මතකය ලියන්නේ එවන් මානවිකාවක ගැනය.

ඇය තවමත් මගෙන් ඉගෙනුම ලබන්නියකි. නිශ්ශබ්ද යුවතියක ලෙස පන්තියේ බොහෝ දෙනා අතර ඇය ප්‍රසිද්ධය. ඒ වග මමද තේරුම් ගන ඇත්තේ වරක් දෙවරක් ප්‍රශ්නයකට පිළිතුරු අසන්නට මා අසල ගැවසුණු ඇය කතා බස් කළේ ඉතා අඩුවෙන් බැවිනි. වරෙක පන්තියේ අනික් කෙල්ලන් විසින් ඇය ගැන කියූ කතාවක්ද මගේ කණ රැඳුණේ ඇය පිළිබ‍ඳ අපහැදිලි සිතුවමක් සිතේ මවමිනි. ‘‘ඔය ඔහොම හිටියට කොල්ලෙක් එක්ක ලව් එකක් තියෙනවලු බං. පන්තියේ නම් ඉන්නෙ නිකම් දහයට ගනින්න බැහැ වගේ” ඒ ඇය ගැන මට ඇසුණු කතාවය. මෙතෙක් කල් ඇය පිළිබද සිතේ පැවැති ප්‍රතිරූපය ඉන් පළුදු නොවුණේ යැයි මා පැවසුවහොත් එය මුසාවක්ය. එහෙත් ඇය පිළිබඳ වූ යහපත් ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම විනාශ කරන්නට එවන් කතාවකට නොහැකි විය. මේ සියල්ල අතර කාලය ගෙවී යමින් තිබිණි.

සියල්ල වෙනස් වන්නේ පසුගිය දිනකය. එදිනද සුපුරුදු පරිදි මම පන්ති පවත්වන ආයතන වෙතට යමින් සිටියෙමි. ඇය සිටියේ ආයතනයේ දොරටුව අසලය. ඊට ටික වේලාවකට පසුව ඇය මගේ පන්තියට සම්බන්ධ වීමට නියමිතව තිබුණු බැවින් ඇය පන්තිය සඳහා කලින් පැමිණ ඇතුවා විය යුතුය. මම කිසිවක් නොකියාම පන්තියට ගියෙමි. නමුත් පන්තිය අරඹා ටික වේලාවක් ගිය කල ඇය පන්තියේ නොවන බව මම දුටිමි. පන්තිය සඳහා ආයතනයට පැමිණි සිසුවිය පන්තියේ නැත. මම කිසිත් නොකියා ඉගැන්වීම් කරගෙන ගියෙමි. යම් හේතුවක් නිසා ඇය ආපසු යන්නට ඇත.

එහෙත් පන්තිය නිමවී ඊළඟ පන්තිය ඇරඹෙන තුරු විවේක කාලය තුළ මා ආයතනයේ මිදුලට එන කළ ඇය යළිත් දොරටුව අභියසය. එක්වරම හිතට පිවිසියේ ඇය පිළිබද වරින් වර එහෙන් මෙහෙන් ඇසුණු කතාවන්ය.

‘‘පන්ති කට් කරලා කොහේ හරි කොල්ලෙක් එක්ක රස්තියාදු ගහන්න යන්න ඇති.”

මගේ සිතට පිවිසියේ එවැන්නකි. අනෙකුත් බොහෝ තැන්වල නැති විනයක් මගේ පන්තියේ ඇත. ඒ නිසාම විනය කඩ කළ සිසුවියක් ලෙස මම ඇගෙන් කිසිවක් නොඅසාම ඇය පිළිබඳ සිතින් තීන්දුවක් ගතිමි. ශිෂ්‍ය තොරතුරු ඇතුළත් ලිපිගොනුවෙන් ඇගේ භාරකාරයාගේ දුරකථන අංකය ගෙන එයට ඇමතුමක් ගතිමි.

‘‘මේ... .... ලාගේ ගෙදරින් ද?” මම එයාගේ ටියුෂන් ක්ලාස් එකේ සර් කතා කරන්නෙ“

‘‘ඔව් සර්. මං එයාගේ අම්මා”

‘‘දරුවා අද පන්ති ආවද?” මම එසේ ඇසුවෙමි.

‘‘ඔව් සර්, මම උදේ ක්ලාස් එකට ගෙනත් බැස්සුවා. හවස අර අනික් සර්ගේ ක්ලාස් එක ඉවර වුණාම ඇවිත් අරන් යනවා. ඇයි සර්?”

හරි එසේ නම් මගේ උපකල්පනය නිවැරදි විය යුතුය. ඇය එසේ නම් අද මව සහ ගුරුවරුන් රවට්ටා ඇත. මගේ කේන්තිය නිම් හිම් නැත.

‘‘ළමයා අද මගේ පන්ති ආවේ නැහැ... යැයි කියමින් මම සිදුවූ සියල්ලම කියුවෙමි.

සිදුවීම එසේ අවසන් විය. ඉන් පසුව මට හවස පන්ති දෙකක් තිබුණු බැවින් ඇය පිළිබඳවද අමතක විය. රාත්‍රියේ නින්දත් නොනින්දත් අතර හිඳින කල මගේ ජංගමයට කෙටි පණිවිඩයකි. මම නින්දේම තිරයට දෑස් ළං කළෙමි.

‘‘සර්. මට සමාවෙන්න පන්ති කට් කළාට. අම්මත් මට නොසෑහෙන්න බැන්නා. සර් මං වැරදි ගමනක් ගියේ නැහැ. මං පන්සලට ගියේ. මගේ හිත ටිකක් නිදහස් කර ගන්න ඕන වුණා, ඒ නිසා.“

ඒ මොහොතේ නින්දේ සිටි මට මා ගැනම ඇති වූයේ කනගාටුවකි. අපරාදේ මට තිබුණේ ඇගේ ගෙදරට කතා නොකර ඇය සමඟ මදක් කතා කරන්නටය. එහෙත් දැන් සිදුවූ දේ සිදුවී හමාරය. පසුදින මට ඇගේ අම්මා කතා කළාය.

‘‘මට මේක ලොකු ප්‍රශ්නයක් සර්. පුංචි කාලේ ඉඳන් මේ ළමයා කියන්නෙම එයාට මෙහෙණියක් වෙන්න ඕන කියලා. ඊයේ ගිහින් තියෙන්නෙත් පන්සලට.”

මගේ ඇස් තෙත් විණි. අපි මිනිසුන් විනිශ්චය කිරීම කවර තරම් වරදක්දැයි සිතෙන්නේ මෙවන් මොහොතකය.

[ගයාන් අබේසිංහ]

මාතෘකා