මෙනේරි බත්ටික කාපං ඕලු බතට ඇට හොයපං

 ඡායාරූපය:

මෙනේරි බත්ටික කාපං ඕලු බතට ඇට හොයපං

අදටත් මෙනේරි බත් ඩිංගක් බුදින එක ඒ හැටි අමාරු කාරියක් නෙමෙයි ඕං. බණ්ඩාරවෙල හරි බලංගොඩ හරි ඉරිදා පොළක ඩිංගක් හක්කලං කෙරුවනම් තණමල්විල, බලහරුව නැත්තං කල්තොට පැත්තෙන් මෙනේරි කුරහන් ඇන්න එන උන්දැලාගෙන් එව්වා ගන්ඩ පුළුවන්. හැබැයි ඩිංගක් ගණං. ඒකට මොකදෑ හැමදාම මෙනේරි කනවා කියලා එකක්යැ. රජරටත් බින්තැන්නෙත් මේ භෝග යහමින් තියෙන හින්දා කාට වුණත් හිතේ මනාපෙට ගන්ඩ පුළුවන්. එච්චරක්යැ උඩවළව පැත්තෙ අලි බලන්ඩ හෙම යනවානම් අමතක කරන්ඩ එපා පාර දෙපැත්තෙ මේ වායෙ පාරම්පරික ඇටබැට ජාති විකුණන්ඩ තියෙන විත්තිය.

තණ හාල් මෙනේරි වාගෙ ජාති කැඳ හදන්ඩ පංකාදු වෙච්චි කොට ඊටත් වඩා මල්හතයි එව්වයෙං කිරිබත් උයා කන එක. පෑහැපු මෙනේරි බතක් උයාගන්න එක කාට නමුත් හරිම පහසුයි. කටට කෙළ උනනවා තෙල් බේරෙන මෙනේරි කිරි බතක් මතක් වෙන කොට. මෙනේරි කොහොමටත් ඩිංගක් තෙල් ගතිය තියෙන ඇට වර්ගයක් නෙව. ඉතිං එව්වයෙ වැලි ගල් අයින්වෙන්ඩ ගරලා ඇරං මුටිටි පොඩියකට දාල වතුර ටිකක් වැඩියෙන් තියාගෙන තැම්බෙන්ඩ වහලා තියන්ඩ ඕනෑ. ඒ අතරෙ රැල් තියෙන්ඩ පොල් ටිකක් ගා ගෙන තැම්බුණ මෙනේරි බතට දාලා කූරු ගා ගන්නවා. කොච්චර පහසුද මෙනේරි කිරිබතක් උයාගන්න එක නේද? පමණක් ඇත්තොනම් පොල්කිරි මිරිකාගෙන දානව මේ බතට. ඒ වුණාට රහ පොල් රැළි පිටින් දැම්මම කියලයි මයේ කල්පනාව. මේ බත කන්ඩ ලුණුමිරිසක් තලා ගත්තනම් අහවරයි. ඒත් කිතුල් පැණි ඩිංගක් වක්කරගත්තනම් හරි හකුරු ඩිංගක් කුඩු කරලා ඉහගත්තානම් හරි දැනෙන රහ දිවියලෝක රහක් ආයුබෝවන්ඩ.

කිරි රහට මෙනේරි බතක් කාපු කටකට නැවුම් කුරහන් එක්ක නාඩු රතු සම්බා රහක් හරිහරියට දැනෙන කෑමක් තියෙනවා නම් ඒ තමයි ඕලු බත‍. ඕලු බත් කන්ඩනම් ඕලු හාල් ඕන. අපි ඕලු හාල් තිව්වෙ ඕලු ඇටවලට. අබ ඇට වලට වැඩිය ටිකක් ලොකු රතු දුඹුරු ඕලු ඇට දුර්ලභ කෑමක්. තණමල්විල උඩවලව පැත්තෙන් තමයි ඕලු ඇට ඇන්න එන්ඩ ඕන. ඕලු ඇට එක්කාසු කරනවා කියන්නෙ පහසු වැඩක්නම් නෙමෙයි. පූජා කරන්ඩ මල් කඩන්නෙ නැති කැලෑබද වැවක් වෙන්ඩත් එපායැ. මොකද නොකැඩූ මල් පරවෙලා පෙති හැලිල ඉතුරුවෙන ගෙඩියෙනෙ ඇට තියෙන්නෙ. මේ ඇට හුණ්ඩුවක් දෙකක් නැත්තං සේරුවක් එකතු කරගන්ඩ කොච්චරවත් මහන්සි වෙන්ඩ ඕන. ඉස්සර ඉතිං ඔය ඕලුඇට මෙනේරි කොයිවත් දුන්නෙ කිරලා නෙවෙයි හුණ්ඩු ගාණට. අදත් අපේ ගම්බද පොළවල කොච්චි, සියඹලා මල්, මී මල්, තිත්ත තිබ්බටු විතරක් නෙවෙයි කව්පි, මුං ඇට පවා හුණ්ඩුවෙන් මැනලා දෙනවා. වැල්ලවාය පොළේ වෙද මුං ඇට කියලා කියන පොඩි කහ මුං දුන්නෙත් හුණ්ඩුවෙන්. අපේ ගමේ කොයි ගෙදරත් හුණ්ඩුවට සම්මතයක් තිබ්බා. කාගෙත් හුණ්ඩුව වුණේ නෝනා මාක් කිරි ටින් එක තමයි. ඒක හින්දා අතමාරුවට ණයට හාල් හුණ්ඩුවක් දෙකක් ඉල්ලා ගත්තම ආයෙ ඒක ගෙවද්දි හොරයක් පාඩුවක් වුණේ නෑ. ඇහුවෙ කපලද පුරවලද කියල විතරයි. ඒ කිව්වෙ හුණ්ඩුව දාගැබ වගේ පුරවලා දෙනවන කටගාවින් පෙත්තට කපලා දෙනවද කියලා.

හා ඉතිං කොයික හරි ඔය ඕලු හාල් නම් තෘණ පවුලේ භෝගයක් නෙවෙයිනෙ. ඒ හින්දා එව්වයෙ වැඩියෙන් ඇත්තෙ පිෂ්ඨ ධාතුව නෙවෙයි වෙන්ඩ ඇති. කොහොමටත් ආයුර්වේදෙ කියන්නෙ ඕලු හාල් දිවිය අවුසදයක් කියලා. ඕලු හාලත් බතක් උයනවානම් රහ, පොල් රැළි දාලා කූරු ගාගන්ඩ බලාගෙන උයන එක. හැබැයි ඕලු හාල කියන්නෙ බත හුගක් බෝ වෙන ජාතියක්. ඒ හින්දා හරියට වතුර අහනවා. මැදඟිල්ලෙ මැද පුරුකට වතුර තියල බත් උයනවා වගේ වතුර දාලා උයාගන්ඩ බෑ. තැම්බෙන විදිය බලලා ආයෙත් සැරයක් වතුර ටිකක් දාගන්ඩම වෙනවා. පදමට තැම්බුණාම පිට්ටු ගෙඩිය වගේ පිපිලා එන ඕලු බත බලන්ඩ ලස්සනයි. ඉතිං මෙව්වා උයන්ඩත් ඒ හැටි අමාරු කෑම නෙවෙයි. මහ ලොකු විච්චූරණ වට්ටෝරුත් නෙවෙයි. එහෙව් එකේ ගමනක් බිමනක් යද්දි මේ වාගෙ ජාති ඇස් මුණේට මුණ ගැහුණොත් ඇන්න ඇවිත් කාලා බලන එක හොඳයි නේද?

එතකොට කියන්ඩ ඕනෙ ඕලුවල විතරක්යැ ඇට පල ගන්නෙ. ඇයි නෙළුම්වලත් ඇට තියෙන්නෙ. පන්නගමුවෙ වැවේ ඇති පදම් තියෙනවා නෙළුම් බට්ටො. එව්වා බිඳලා ඇට කන්ඩ අපි ගැටවු සන්දියෙ පුළුවන්කම ලැබුණෙ වාසනාවට. පස්සෙන් පහුකාලෙක පොතුවිලදි හුණ්ඩු ගාණට ගත්ත නෙළුම් ඇට තම්බලත් කෑවා. මීගහජඳුරෙ කොල්ලො එක්කාසු කරන වේලිච්ච නෙළුම් ඇට කටේ දාලා හපන්ඩ බැරිතරම් හයියයි යකඩ වාගෙ. එව්වා සල්ලි දීලා ගන්නෙ ගාල්ලෙ මුස්ලිම් වෙළෙන්දෙක්ලු. ඒ කුඩු කරලා සුද්දන්ට නෙළුම් තේ දෙන්ඩ. ඔය තේ කෝප්පයක්නම් හරිම ගණං රජෝ.

[ලසන්ත ද සිල්වා]

මාතෘකා