සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම

 ඡායාරූපය:

සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම

දින උදාවෙයි. නැවත රාත්‍රිය ලබයි. සැම තැනකම ඇත්තේ වංචාවන්ය, බොරුකරුවන්ය, දූෂණයන් ය. හාල්මැස්සෝ අල්ලා තෝරුන් මෝරුන් නිදහස් කරන බවට ආඩපාළි ඇසෙයි. මුළු සමාජයම ව්‍යාජයෙන් වැසී තිබියදී වුව ද අතරින් පතර සත්‍ය යේ රිදී රේඛාවන් වැටෙමින් තිබේ.

ඉතා ඈත අතීතයේදී බොහෝ කල් මිනිස්සු දේවදූතයකු එනතෙක් පෙර මං බැලීය. ඉහළ ආකාශයේ තාරකාවන් දිස් විය. ක්‍රිස්තුස් වහන්සේ කුඩා බිලිඳකු ලෙසින් උපදින්නේ එවන් දිනකය. රජ තුන් කට්ටුවම බියෙන් ඇලළී ගියේ ලෝකය ගලවා ගන්නා දේව දූතයා පැමිණීමෙන් ඔවුන්ගේ බලය හීනවනවාය යන නිගමනය නිසාය. එදින උපදින කුමාරවරුන් මරා දැමීමට නියෝග කෙරිණි. ගව ලෙනක උපන් නිසා ක්‍රිස්තුස් වහන්සේ දිවි ගලවා ගති. තරුණ වියට එළැඹ ඥානය ලැබ, නව දේශනාවක් අවිහිංසාවාදී ඉගැන්වීමක් දේශනා කරන්නට විය. ක්‍රිස්තුස්වහන්සේ වටා වැඩි වැඩියෙන් ජනයා ඒකරාශී වන්නට විය. රජුට මෙය මහත් හිසරදයක් විය. ක්‍රිස්තුස්වහන්සේ අල්ලා ගෙනවිත් දෙන්නකුට තෑගි දෙන බවට නිවේදනය කළේ ය. අවසන් රාත්‍රී භෝජනයෙන් පසුව “ජුදාස් ” විසින් ක්‍රිස්තුස්වහන්සේ පාවා දෙනු ලැබීය. හොරුන්, තක්කඩියන් ඇණ ගසා මරා දමන අයුරින් උන් වහන්සේ ඇණ ගසා මරා දැමීය. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ හෙළි කළ අවිහිංසාවාදී ජීවන පරමාදර්ශය අද දක්වාම ලොව පුරා පැතිර යයි.

සොක්‍රටීස් ග්‍රීසියේ සිටි දාර්ශනිකයෙකි. ප්ලේටෝ ඔහුගේ ශිෂ්‍යයා විය. එතෙක් ලෝකයේ විශ්වාසය වූයේ මේ මහ පොළොව පැතලි වස්තුවක්ය යන්නයි. එහෙත් සොක්‍රටීස් එම මතය දැඩි සේ විවේචනය කළේය. ලෝකය රවුම් බව සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්නට ඔහු සමත් විය. එහෙත් සොක්‍රටීස් ව්‍යාජ කරුණු දේශනා කරමින් තරුණයන් නොමඟ යවන්නේය යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත්තේය. ඔහු කළ වැරැද්දට දඩුවම් වසයෙන් වස පානය කිරීමට දී මරා දැමීමට තීරණය කෙරිණි. වස පානය කළ යුතු දිනය උදාවීමට පෙර දිනයේදී සොක්‍රටීස් සිරකර තබා සිටි සිරකුටියේ සිටි මුරකරු මෙසේ කීවේය.

“සොක්‍රටීස්, ඔබ දැන් පලා යන්න. මට පුළුවන් ඔබට උදවු කරන්න. ඔබට පැන යාමට හැකිවන ආකාරයට දොර හැර දෙන්නම්” එවිට සොක්‍රටීස් මෙසේ කීවේය.

“මට එසේ යන්න පුළුවන්. ඒත් මිනිස්සු තව දුරටත් ලෝකය පැතලි වස්තුවක් බවට සිතාවී. සත්‍ය වෙනුවෙන් මම වස පානය කරනවා.”

පසු දින පානය කිරීමට වස බඳුන සොක්‍රටීස්ගේ අතට දී රජු මෙසේ කීවේය.

“උඹ කියපං මේ ලෝකේ ගෝලාකාර නෑ කියලා.”

එවිට සොක්‍රටීස් “මට එහෙම කියන්න පුළුවන්. ඒත් ලෝකය ගෝලාකාර බව මම එහෙම කිව්වයි කියල වෙනස් වෙන්නෙ නම් නෑ” යි කීවේය. සත්‍ය වෙනුවෙන් සොක්‍රටීස් වස පානට කොට දිවි නසා ගත්තේය. සොක්‍රටීස් නොහිටින්නට අප තවමත් ලෝකය පැතලි වස්තුවක් බවට විශ්වාස කරනු ඇත.

ග්‍රීක ජාතික නාට්‍ය රචක සොපොක්ලීස්ගේ ඇන්ටිගනී නාට්‍යයෙහි ඇන්ටිගනී මුහුණ දෙන්නේ ගැඹුරු ගැටලුවකටය. ඔහුගේ සොහොයුරන් දෙදෙනාම යුද්ධයේදී මිය ගියහ. එකකු තීබයට පක්ෂව එහි යුධ සේනාවට නායකත්වය දුනි. අනෙකා තීබයට විරුද්ධව පැමිණ යුද්ධයේදී නැසිණි. රජු වූ ක්‍රයෝන් මෙම දෙදෙනාගෙන් මවු රටට පක්ෂව ආ සොහොයුරාට පමණක් ගෞරව සහිත භූමදානයක් ප්‍රකාශ කෙරිණි. මවු රටට විරුද්ධව පැමිණි අනෙක් සොහොයුරාව බලු කපුටන්ට කෑමට නියම කෙරිණි. ඇන්ටිගනී මෙම දෙදෙනාටම ගෞරවාන්විත භූමදානයක් ප්‍රධානය කිරීම වෙනුවෙන් කැප විණි. අවසන ඇයට ඇයගේ පෙම්වතා අහිමි වෙයි. සිරගත වීමටත් එතැනින් නොනැවතී දිවි තොර කර ගැනීමටත් සිදුවේ. ක්‍රියෝන් අවසානයේදී යුද්ධයේදී මියගිය පුතුන් දෙදෙනාටම ගෞරවාන්විත භූමදානයක් ලබා දීම සඳහා කටයුතු කරයි.

සත්‍ය එතරම් බිහිසුණුය. සත්‍ය සොයා ගැනීම අසීරුය. තම ජීවිතයේ ඇති අභියෝග දරමින් සත්‍ය සොයා යන මිනිසුන් එදත් අදත් හෙටත් ලොව වෙසෙණු ඇත. ඔවුන්ට පෙර මෙන්ම කුරුසයේ ලා ඇණ ගසණු ඇත. වසදී මරා දමනු ඇත. සිරගෙදර ලා මිය යන තෙක් තබනු ඇත. එහෙත් කෙදිනක හෝ සත්‍ය හෙළි වනු ඇත. සත්‍ය සදාකාලිකය. ව්‍යාජය බොරුව තාවකාලිකය. එහෙත් අප සමාජයක් වශයෙන් නෙත් දල්වා බලා සිටින්නේ ව්‍යාජය දෙසය, මිථ්‍යාව දෙසය. ජවයෙන් නැඟී සිටින ජාතියක් වෙනුවට ඉතිරි වී ඇත්තේ කොඳු ඇට සිඳගත් නිවට නියාලු ජාතියකි. සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නන් ඉතාමත් දුර්ලබය. 71 වැනි ජාතික දින සැමරුමෙහිදී අප පසක් කර ගත යුතු වන්නේ කොතරම් අසීරුකම් දැරුවත් සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමයි. ඉහළ සිට ඉතා පහළ පුරවැසියා දක්වාම අවශ්‍ය වන්නේ එයයි. එහෙත් සිදු නොවන්නේ ද එයයි.

[ගාමිණී බස්නායක]

මාතෘකා