මැකෝ වර්ගයේ ගිරව්

 ඡායාරූපය:

මැකෝ වර්ගයේ ගිරව්

ජාතක කතා සංග්‍රහයේ "සත්ථිකුම්භ" නම් ජාතක කතාවක් වෙයි. සුළඟක පාව ගොස් සොර මුලකටත්, තපස් අරමකටත් වැටුණු ගිරවුන් දෙදෙනකු ගැන කියවෙන්නේ එහිය. මෑතකාලීන අතීතයේ පවා එවැනි "පලා ගිරවුන්" ගැමි නිවෙස් ආශ්‍රිතව වාසය කරනු දැක්ම සුලභ දසුනක් විය. එහෙත් අද වන විට ජාතික සත්වෝද්‍යානයේ පවා වැඩිමනක් ඇත්තේ "මැකෝ" වර්ගයේ ගිරවුන්ය. පලා ගිරවුන්ට වඩා උන් පෙනුමින් සහ හඬින් "පොෂ්" බැවින් සුරතලයට වුව මැකෝලා ඇති කිරීමට බොහෝ අය ප්‍රියය.

ඇතැම්හු අප මාධ්‍ය නාළිකාවන්හි සංනිවේදක වෘත්තියේ යෙදෙන ඇත්තෝද "ගිරා පෝතකයන්" ලෙස හඳුන්වති. ගිරවුන් සහ නූතන සංනිවේදක වෘත්තිය කෙසේ සැසඳේදැයි සිතා බලද්දී, යම් උපකල්පන කිහිපයකට පැමිණිය හැක. ගිරවුන් සෘජුව සුරතල් සතුන් ගනයේ ලා ගිනිය නොහැකි වෙතත් උන් කූඩුවක දමා සුරතල් කළ හැකිය. නිදහසේ පියාසර කළ නොහැකි හෙයින්, උන් සියලු කරණම් ගසනුයේ කූඩු කළ සීමාවේය. කූඩුවේ දමා සිටියද සියලු සත්කාර හිමිවන බැවින් ඌ තම ස්වාමියාට කීකරුය. පෙනුමින් වෛවර්ණ බැවින්, හඬ ළගන්නාසුලු බැවින් තරමක් උද්ධච්ඡය. ස්වාමියාගේ හඬට අවනත බැවින්, කියන එකදු මලදානයක් නොතේරෙන නමුත් ස්වාමියන් සිතන්නේ උන් කතා කරනවා කියාය. ගෙදරට එන අමුත්තන්ට රවා, ගොරවා, හපා හෝ සිය ස්වාමී භක්තිය රැකීම සුරතලුන්ගේ සිරිතය.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහභාගි වූ රූපවාහිනී වැඩසටහනක් නරඹා, පැරණි සිංහල කියමනක් සිහියට නැඟිණි. එය "කෙසෙල් ගසට කොටා හොට පැටළුණු කොට්ටෝරුවාගේ" කතාවය. පැය දෙකකට ආසන්න කාලයක් මෙම වැඩසටහන මහින්ද දේශප්‍රිය විසින් මෙහෙයවනු ලැබූයේ, එය මෙහෙයවන්නට නිවේදකයන් තිදෙනකු සැදී, පැහැදී සිටියදීය. මාධ්‍ය ජීවිතයෙන් උකහාගත් අත්දැකීම්වලට පිංසිදු වන්නට සුදේව හෙට්ටිආරච්චිට ඉඳහිට කට ඇරගන්නට අවස්ථාවක් ලැබුණද, අනෙක් දෙදෙනා වැඩිපුරම කළේ හූ මිටි තැබීම පමණය. මෙය මහින්ද දේශප්‍රියගේ පිට කැසීමක් නොවේ. ඇත්තෙන්ම ඔහු හිතාමතාම බොහෝ තැන්වලින් රිංගා ගියේය. නිවේදකයන් සිය හඬින් නිහඬ කළේය. වරද ඔහුගේ නොවේ. පරිණත රාජ්‍ය පරිපාලකයකු, නූගත්, කට වාචාල දේශපාල‍යකුගේ තත්ත්වයෙන් තක්සේරු කළ සංනිවේදකයන් අතය. කූඩුවේ ප්‍රමාණයට හෝ කරණම් ගැසීමට දන්නා සුරතලුන් ස්වාමියන්ට වටින්නේ මේ නිසාවෙනි.

උවිඳු විජේවීර සමඟ චතුර අල්විස්ගේ සාකච්ඡාවද, ඩඩ්ලි සිරිසේන සමඟ ඩිල්කා සමන්මලීගේ සාකච්ඡාවද එවන් ගනයේම දෙකකි. "තාත්තගෙ නමට ජිනදාස කියලා කෑල්ලකුත් තියනවාදැයි" චතුරට උවිඳුගෙන් අසන්නට සිදුවෙයි. උවිඳු හමුදා කඳවුරේදී සපත්තුවේ මිම්ම ගත් හැටි කියද්දී, චතුරට එය අදහාගත නොහැකි විලම්භීතයක් සේ දැනෙයි. තාමත් ගමේ ගොඩේ දෙමාපියන් එසේ කරනා බව චතුර දන්නේ නැත. රබර් සෙරෙප්පු දෙකෙන් පාසල් යන දරුවන් ගැන චතුර අහලාවත් නැත. විප්ලවය ගැන බරසාර මුහුණෙන් කතා කළ චතුරට දැනගැනීමට අවශ්‍යව තිබුණේම "දැන් ජේ.වී.පී එක ඉස්සර වගේ නෑ නේද" කියාය. උවිඳු තමන් විජේවීරගේම පුතා බව චතුරට මනාව ඔප්පු කර පෙන්නුවේය. ඩිල්කා ඩඩ්ලිගෙන් අරලිය සහල් ඒකාධිකාරය ගැනම අහන්නට වටේ ගියාය. දේශපාලනය ගැනවත් මාධ්‍ය භාවිතය ගැනවත් මෙලෝ හසරක් නොදන්නා ඩඩ්ලි, ඇයට මාධ්‍ය ඒකාධිකාරය ගැන කියා දුන්නේය. ඉන් නොනැවතී ව්‍යාපාරිකයන්ට කෙතරම් විශාල දේශපාලන සහ මාධ්‍ය ආයතන සබඳතා ඇත්දැයි නම්, ගම් සහිතව පෙන්වූයේය. අවසන ඩඩ්ලි සිරිසේන වතුර වීදුරුවක් ඉල්ලනු පසුබිමෙන් අපට ඇසුණි. නිසැකවම එය ඩිල්කාට විය යුතුය.

රේගු අධ්‍යක්ෂවරිය ඉවත් කිරීම හරහා පැන නැඟි කථිකාවට ඇත්තේ වෘත්තිය සමිති සහ දේශපාලන කියවීමකි. එහෙත් කිසිදු මාධ්‍ය ඉඩකඩක මෙරට වරාය, ගුවන්තොටුපළ, ඛනිජ තෙල් සංස්ථා, රේගු නිෂ්කාශන අංශවල සිදුවන අක්‍රමිකතා සාකච්ඡාවට බඳුන් වන්නේ නැත. දුමින්ද සහ ඥානසාර හිමියන් පිළිබඳ "වාසි පැත්තට හෝයියා" න්‍යාය පවතිද්දී, ගෝනවල සුනිල්ගේ සිට එස්.බීලා, සරත් ෆොන්සේකලා දක්වා, ජනාධිපති සමාව තුළ ඇති යහපත්, අයහපත් ප්‍රවණතා වාද, විවාදවලට රූපවාහිනී සාකච්ඡා පැවැත්වෙන්නේ නැත. වසර හතළිහකට ආසන්න කාලයක් අධිකරණවල පල් වෙන මාධ්‍යවේදීන් පැහැරගත්, අතුරුදන් කළ, මරාදැමූ නඩු ගැන ප්‍රශ්න කරනා නාළිකා නැත.

නිමලරාජන්, නඩේසන්, අයියර්, කූගනාදන්ගේ සිට ලසන්ත වික්‍රමතුංග දක්වාත්, උදයන්, ලංකා ඊ නිව්ස්, සියත, සිරස, රූපවාහිනිය දක්වාත් සිය සහෝදර මාධ්‍ය ආයතන වෙනුවෙන් එකිනෙකා පෙනී නොසිටි මාධ්‍ය, රටේ පොදු මහජනයා වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි පැවසීම කෙතරම් මුලාවක්ද..? හෙට ඔවුන් ප්‍රියාන් ජෙම් මුදලාලිගෙන් රට ගොඩනඟනා හැටිත් ඌව මහඇමතිගෙන් බුලත් හුරුළු අල්ලනා හැටිත්, සුසන්ත පුංචි නිළමේ ගමෙන් ගුටි කන්නට ගිය හැටිත් රූපවාහිනී වැඩසටහන් කළොත් අප පුදුම විය යුතු නැත.

[ධනුෂ්ක බස්නායක]

මාතෘකා