මගේ රට

 ඡායාරූපය:

මගේ රට

කෙටි කාලයකට යුරෝපයේ රටක පුහුණුවකට සම්බන්ධ වන්නට හැකි විය. දකින දකින අත ඇත්තේ

සිත හඬවන සුලු දැකුම්ය. ඒ හැඬුම් මගේ රට ගැන දුකෙනි. රටක බදු මුදල් ජනතාවගේ වීර්යයෙන් හම්බ කරන දේ රට තුළ ඉතිරි කරගෙන රටේ දියුණුවට යොදාගන්නා අයුරු දැකීමත් අපූරුය.

“මේ කොරිඩෝ දිගේ ඇවිදිනකොට ඔයාට ඔයාගෙ රටේ ඉස්පිරිතාල මතක් වෙනවද?”

මා අසලින් යන වෛද්‍යවරිය විමසයි.

පතුල බිඳුණු සිමෙන්ති පොළොවේ වල ගොඩැලිවල වැටි වැටී ට්‍රොලි තල්ලු කරන, රෝද ගැලවෙන්න ඔන්න මෙන්න තිබෙන මල බැඳුණු පා පුවරු නැති රෝද පුටු මගේ මතකය හාරා අවුස්සයි. එහෙව් කොරිඩෝවල ට්‍රොලියක යන එන අතර පිට කොන්දට දැනෙන අමාරුව අකුරු කළ පිළිකාවකින් රෝගී වී දුක් විඳ අප අතරින් වෙන් වූ අනුදි රන්මුතු සොයුරියගේ

ෆේස් බුක් සටහන් මතක් වේ.

“මට මගේ රට ගැන දුක හිතෙනවා” කියා ඔවුන් හට මම කොහොම නම් කියන්නද? ඔවුනට අපේ රට පාරාදීසයකි. ඔවුන් දකින්නේ සුදු මුදු රළ පෙරළි පෙරළී සිප වැලඳ ගන්නා රන් වැලි අතුළ වෙරළ තීරයන්ය. ගන කොළ පැහැති වනාන්තර, තේජවන්ත ඇත් සේනාය. සියලු දේ විනාශ වෙමින් අගාධයකට යන මේ සුන්දර මුතු ඇටයේ අසුන්දර කතාව ඔවුන් දන්නේ නැත. උත්තරීතර යැයි සැලකෙන පාර්ලිමේන්තුවේ සිදුවන දේ ඔවුන් දන්නේ නැත. බෙහෙත් නැතිකමින් පීඩා විඳින රෝගීන්ගේ කතා ඔවුන් දන්නේ නැත.

බල්ලන් බුරා හැලෙද්දී වල ගොඩැලි පිරි තාර පාරවල් මතින් එහා වාට්ටුවලට, ශල්‍යාගාරයට දිව ගිය අයුරුද බල්ලන් සපා කෑම්වලට ලක් වූ සෞඛ්‍ය සේවකයන් හට ජළ භීතිකා එන්නත විදගන්නට සිදුවූ අයුරුද දැන් මගේ මනසෙහි ඇඳේ. මෙහි කිසිම තැනක බල්ලන් පූසන් නිදැල්ලේ සැරිසරනවා නොදුටුවෙමි. හැම තැනම පිළිවෙළ සහ කාර්යක්ෂම බව දුටු මම දුක් වීමි. අපේ රටවල් මේ තත්ත්වයට කවදා ඒවිදැයි දුක් වීමි.

“දේශපාලකයෝ මේවා නොදැක්කා වෙන්න බැහැනේ. අනික ඔවුන් බොහෝ දෙනා යුරෝපයේ ඉගෙන ගෙන තියෙන්නෙත්. ඔවුන්ගේ දරුවෝ ඉගෙන ගන්නෙත් යුරෝපයේ.”

වැඩිහිටි අයෙක් පවසයි. රටක පුරවැසියන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ හැකියාව තිබියදීත් ඒ රටට කිසිදු මෙහෙයක් නොකර රට තව තවත් වළපල්ලට ඇදී යන අයුරු ගැන දුක්වෙමි.

අන් අයෙක් වෙනුවෙන් කරන ලද මෙහෙය බොහෝ සෙයින් වටිනවාය. රටේ මුළු මහත් මිනිස් සම්පතටම වගකිව යුතු රටේ භාරකාරයන් ලෙස ඔබට මහත් වූ වගකීමක් තිබේ. ඒ, මේ රට ණය නොකර විනාශයක් නොකර අනාගතයට භාර දීමය. එයම මහා පුන්‍යකර්මයක් වී ඔබේ ඉදිරිය එළි පෙහෙළි කරනු ඇතැයි මම කියමි.

මේ රටවල සෞඛ්‍යය නිදහස් නැත. ඔවුන් වසර පුරා තම සෞඛ්‍ය රක්ෂණය සඳහා මුදලක් වැය කළ යුතුය. සෑම පුරවැසියකුම බදු ගෙවිය යුතුය. ඒවා ඉතා ඉහළ අගයක් ගනී. නමුත් ජීවන මඟ පහසු බැවින් කිසිවකුගෙන් මැසවිල්ලක් නැත.

ඉවත දමන කුණු ගෙන යෑමට පවා ඔවුහු විශාල මුදලක් වැය කරති; එනමුත් මැසිවිලි නොකියති. රටේ කිසිදු බිම් අඟලක් අපිරිසුදුව පැවතිය යුතු නොවේ යැයි ඔවුහු සිතති. අවට අසල්වැසි රටවල ඇති බෝ වන රෝග පවා මේ රටේ පැතිරෙන්නේ නැතිව පවත්වා ගැනීමට ඔවුහු ක්‍රියා කරති.

මැලේරියාව අප රටෙන් තුරන් වී ඇතැයි කියා අපි උදම් ඇනුවෙමු. දැන් නැවත මැලේරියා රෝගියකු හමුවී තිබේ. ඔහු අසල්වැසි රටකින් මෙහි ආ බව කියැවේ. පෝලියෝ රෝගය තුරන් කිරීමේ අවසන් අදියරෙහි අපි සිටින්නෙමු. එහෙත් පෝලියෝ යළි හිස ඔසවයි කියා තව අවුරුදු කිහිපයකින් අසන්නට සිදුවුණහොත් එහිද පුදුමයක් නොමැත.

කලක් වැඩ කළ මූලික රෝහලේ පසු ප්‍රසව ඒකකයේ අලුත උපන් බිලිඳුන් පරීක්ෂා කරන්නට යන අපට ඇතැම් විට “මගේ ළදරුවා එන්නත් කරනවාට විරුද්ධයි” කියා කියන තරුණ අම්මලා මුණ ගැසේ. කුඩා දරුවන්ට ලබාදෙන එම එන්නත් මඟින් සිරුරේ ඇති කරන්නේ ප්‍රබල බෝ වන රෝග කිහිපයකට එරෙහි ප්‍රතිශක්තියයි. එම ප්‍රතිශක්තිකරණය නොමැති වූ විට සිරුරට ඇතුළු වන රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන්ට නවාතැන් සපයනවා මෙන්ම රෝගී වීම, ළදරු කාලයේදීම මියයාම, සංකූලතාවලට ලක්වීම මෙන්ම රෝග පැතිරීමද සිදු වේ. ඒ වගේම අප සමාජයේ සිටින ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගන්නට බැරි අය, එනම් තම ශරීර ප්‍රතිශක්තිය දුර්වල අයද රෝග පැතිරීම තුළින් අගතියට පත්වනවා ඇත. දැන් ලංකාවේ ප්‍රතිශක්තිකරණ එන්නත් පෙළ නොදුන් පිරිස් ඇති වෙනවා නම් එය සමාජයක් වශයෙන් අපට කොයි තරම් හානිකරදැයි ඔබ දන්නවාද? නීලා වික්‍රමසිංහයන් පෝලියෝ රෝගයෙන් පීඩා විඳින කෙනෙක්. “රුදුරු පෝලියෝ රකුසා... බේරාගන්න ඔබේ දරුවා” නමින් අප කුඩා කාලයේ ප්‍රචාරය වූ ඇගේ හඬින් ගැයෙනා ඒ පැදි පෙළ මගේ මනසේ රැව් පිළි රැව් දේ. කක්කල් කැස්ස, පෝලියෝ වැනි රෝග අද දකින්නට ලැබෙන්නේ නැත්තේ මේ ප්‍රබල ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ නිසාය. රටක් වශයෙන් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන අපට ආඩම්බර විය හැකිය. කෙසේ නමුත් අපගේ පැහැදිලි කිරීම් හමුවේ ඔවුන්ගේ මතය වෙනස් කරගනිති.

වෛද්‍ය [බෝධිනී සමරතුංග]

මාතෘකා