තොප දැකුමෙන් අප පිං කළ බව දැනිණි

 ඡායාරූපය:

තොප දැකුමෙන් අප පිං කළ බව දැනිණි

පසුගිය බදදා (2019.11.04) උදෑසන මහ ඇදුරු විනී විතාරණ ශූරීන්ට අවසන් ගෞරවය දැක්වීමි. එතුමන්ට අවසන් වරට සමු දී නැවත පැමිණෙන ගමන යොදුන් සියයක දුර දැනිණ.

දීඝා ජාග රතො රත්තී

දීඝං සන්තස්ස යෝජනං

යනුවෙන් ධම්ම පදයෙහි දැක්වෙයි. නොනිදන්නාට රාත්‍රිය දිගයි. පයින් යන තැනැත්තාට යොදුන දිගයි. එලෙසම විනී විතාරණ වැනි වියතුන් නැති දිවි සැරියද දිගයි වශයෙන් අපහට දැක්විය හැකිය.

සීගිරියේ බෞද්ධ නටබුන් පිළිබඳ අප සිදු කළ අධ්‍යයනයක් සඳහා ගුරුහරුකම් ලැබීමට විනී විතාරණයන් හමුවූයෙමි. කෙසඟ ශරීරයකින් යුතු මෙම විද්වතා මහත් කරුණාවෙන් යුතුව අපහට දැනුම ලබාදුනි. ඔවුහු ඉතා සිහින් හඬින් බෙණෙති. ඉඳුරන් සන්සුන්ය. ධවල වස්ත්‍රයෙන් නිති සැරසී සිටියි. දේශයකට දුලභව පහළවන මහා පඬිරුවනකි.

ක්‍රි: ව: 1928 ජුනි මස 02 වැනිදා රුහුණු රට තංගල්ලේ පල්ලියකුඩාවේදී විතාරණ ශුරීහු උපත ලදහ. සිංහල සහ ඉංග්‍රීසි භාෂා කුඩා කල සිටම ප්‍රගුණ කර ඇත. ගාල්ල මහින්ද විදුහල ඔහුගේ පාසල් අධ්‍යාපනයේ තක්සලාව විය.

මහාචාර්ය සිරි ගුණසිංහ, පී.එම්.ඩී.එච්. ද සිල්වා, එඩ්වින් ආරියදාස වැනි පසු කලෙක මහා වියතුන් වන උතුමන් විනී විතාරණයන් සමඟ සම වයසේ අධ්‍යාපනය හදාරා ඇත. උසස් අධ්‍යාපනයේදී මහාචාර්ය මලලසේකර, මහාචාර්ය ජෝතිය ධීරසේකර වැනි පඬිවරුන්ගේ ගුරු ඇසුරු ඔවුන්ගේ දැනුමේ නිම්වළලු ප්‍රසාරණයට හේතු වූ බව නිතර සිහිපත් කෙරෙයි. යහපත් ගුරු ඇසුර යහපත් මිනිසුන් නිර්මාණය කරන බවට විනී විතාරණයන් කදිම නිදසුනකි.

බුදු දහම යුරෝපයෙහි ප්‍රචලිත වීමට බලපාන ලද එඩ්වින් ආනෝල්ඩ් ශූරීන්ගේ ලයිට් ඔෆ් ඒෂියා (Light of Asia) ග්‍රන්ථය ‘ආසියා එළිය’ නමින් සිංහලයට නඟන විතාරණ ශූරීන් ඉන්පසු විශිෂ්ට ග්‍රන්ථ රාශියක් බිහි කරයි. ව්‍යාකරණ පිළිබඳ මහත්සේ සැලකිලිමත් විතාරණයෝ එය සිසුනට පහසුවෙන් හැදෑරීමට ‘වියරණ විසිතුරු’ ‘වාක්‍ය හා ඡේදය’ ‘පබඳ අත්වැල’ ආදී ග්‍රන්ථ රචනා කළහ.

ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, අමරදේව වැනි ප්‍රතිභාසම්පන්න කලාකරුවන් ඇසුරු කළ විනී විතාරණයෝ හෙළ හවුලේ ප්‍රධාන නියමුවා ලෙස බොහෝ කලක් කටයුතු කළහ. ජයවර්ධනපුර සහ රුහුණු විශ්වවිද්‍යාලවල ආචාර්යවරයකු ලෙස කටයුතු කළ විතාරණ ශූරීන් දැක ගන්නට ලැබීම ඇසුරු කරන්නට ලැබීම අප ලද භාග්‍යයකි.

මුවදෙව්දාවත, සසදාවත, කව්සිළුමිණ, සද්ධර්මරත්නාවලිය වැනි ග්‍රන්ථ ඉංග්‍රීසියට නැගීම ඔවුන් අතින් සිදු වූ මහාර්ඝ සේවාවකි. සම්භාව්‍ය සාහිත්‍ය අතැඹුලක් සේ ඇසුරු කළ විනී විතාරණ වැනි පඬිවරු දේශයෙන් සමුගනිමින් සිටිති.

මහාචාර්ය සුචරිත ගම්ලත් මියගිය පසුව අපහට දැනුනණ මහා තනිකම මකා ගැනීමට සිටි මෙබදු පඬිවරු ඇසුරට නැති දිවිය කෙතරම් දුෂ්කරද? ගැඹුරු පර්යේෂණ, චින්තනය පුළුල් කරවන කලා සංවාද වර්තමානයෙහි සිදු වන්නේම නැත. උසස් වේදිකා නාට්‍යයක්, සිනමා කෘතියක් බිහිවනුයේ ඉතාම කලාතුරකිනි.

ටෙලිනාට්‍ය කලාව අන්තයටම පිරිහී ඇත. උසස් නවකතාවක් රචනා වනුයේ ඉතාම කලාතුරකිනි. ගීත කලාව වල් වැදී ඇත. මේ ස්වප්නයන්ගේ නිෂ්පත්ති කාලයක් නොවේ. අපට මහා සුපින ජාතකය සිහිවෙයි.

මෑත අතීතයේ වැඩසිටි පැවිදි යතිවරු තෙවළා දහම දැන හැඳින එහි හැසිර ලෝකයාටද දායාද කළහ. වල්පොල රාහුල වැනි යතිවරු එහිදී සිහියට නැඟේ. වැලිවිට සෝරත, යක්කඩුවේ ප්‍රඥාරාම වැනි යතිවරු ලාංකික අධ්‍යාපනය පෝෂණය කළ අතර භාෂා ශාස්ත්‍ර ප්‍රගමනය සඳහා මහා මෙහෙවරක යෙදුණාහ.

උන්වහන්සේලා විනී විතාරණ බඳු පඬිවරු හා එක්ව සිංහල භාෂාව ප්‍රවර්ධනය කළහ. වර්තමානයේ යතිවරුනට ඒ සඳහා කාලය නැත.

උන්වහන්සේලා දේශපාලන වේදිකාව මතම සිට රට ජාතිය ආගම භාෂාව ගොඩ නැගීමට උත්සාහ ගනිති.

මෑත අතීතයේ ජීවත් වූ සරච්චන්ද්‍ර, මලලසේකර, සිරි ගුණසිංහ, කුමාරි ජයවර්ධන වැනි ගිහි පඬිවරු හුදී ජන චින්තනයේ නිම්වළලු ප්‍රසාරණයට කාලය කැප කළහ. සමන්චන්ද්‍ර රණසිංහ, හිනිදුම සුනිල් සෙනවි, ලියනගේ අමරකීර්ති වැනි එබඳු වියතුන් කිහිප දෙනකු පමණක් වර්තමානයේ දක්නට ලැබෙයි.

බහුතර ගිහි පැවිදි පිරිසකට විනී විතාරණ වැනි වියතුන්ගේ අපිස් දිවි මඟ රුචිකර වී නැත. භාෂා ශාස්ත්‍ර විෂයයෙහි ද සාහිත්‍ය කලා ආදියයෙහි ද තාක්ෂණවේදය ජනමාධ්‍යවේදය ආදී තැන්හිද බබලන පඬිරුවන් බිහි කිරීම රාජ්‍යයක උන්නතියටම හේතුවෙයි.

එබදු උතුමන් හිඟ වීම රාජ්‍යයයේ අවනතියටම හේතුවෙයි.

තතු එසේ හෙයින් රට යහපත් වීම පිණිස දැනුමෙන් සහ ගුණයෙන් පොහොසත් පරපුරක් බිහිකර ගැනීමට වගකිව යුතු අය කල්පනා කළ යුතුය.

එබඳු අධිෂ්ඨානයක පිහිටා කටයුතු කිරීම විනී විතාරණ වැනි වියතුන්ට දක්වන උසස්ම උපකාරයයි.

මාතෘකා