නිර්සාහිත්‍යය

 ඡායාරූපය:

නිර්සාහිත්‍යය

ගත වූ කාලයේ මෙරට මුද්‍රිත මාධ්‍යයට වඩා වර්ධනය වූයේ දෘශ්‍ය මාධ්‍යයය. මෙහිදී දෘශ්‍ය මාධ්‍යය ඉලෙක්ට්‍රොනික මාධ්‍යය නොහොත් අන්තර්ජාල සමාජ මාධ්‍යයය. එහෙත් අභාග්‍යයට කරුණ එසේ දෘශ්‍ය මාධ්‍යයෙන් ලේඛනයට ඉඩ විවර වුවත් ඉන් සාහිත්‍යයට ඉඩක් විවර නොවීමය. ඉන් සාහිත්‍යකරුවන් බිහි නොවීමය. අද සාහිත්‍යකරුවන් යැයි කියන අයම මුහුණුපොත භාවිත කරන්නේ තමන්ගේ දේශපාලන මත ප්‍රචාරය හා අනෙකාට ප්‍රහාර දීම සඳහාය. එසේ නැත්නම් සාහිත්‍යයේ නාමයෙන් ඔවුන් විසින් පවත්වනු ලබන සාකච්ඡා, සංවාද ආදියේදී ගත් සෙල්ෆි ඡායාරූප ඉදිරිපත් කිරීමටය.

මුද්‍රිත වචනයේ වෙසෙස එහි වාච්‍යාර්ථයක්, ධ්වනිතාර්ථයක් මෙන් ඓතිහාසික වශයෙන් විකාශය වූ බසක්ද තිබීමය. අද සමාජ මාධ්‍යයේ පරිහරණය වන වචනයේ වාච්‍යාර්ථයම මිස ධ්වනිථාර්ථය හෝ පරාක්‍රම කොඩිතුවක්කු කවියාද වරක් සඳහන් කළ ඓතිහාසික පරිණාමික බස නැත. ඇත්ත වශයෙන් ඓතිහාසික පරිණාමික බස නොමැතිව සාහිත්‍යයක් පැනනැඟිය නොහැකිය.

මට හැඟෙන ලෙස අද රසිකත්වය කුමක්ද යන ගැටලුවද පැනනැඟී ඇත. අද රසිකයන් යැයි කියාගන්නා පිරිස් ප්‍රබන්ධවලට, සාහිත්යික මාධ්‍යයන්ට, සිනමා හා වේදිකා නාට්‍ය කෘතිවලට තීරණාත්මක විනිශ්චය දීමට ඉදිරිපත් වී ඇත. ඉකුත් සතියේ (2019.11.22) ‘ජනබලවේගය’ නමින් පළ වූ ‘මාඉම’ තීරුවට එක්තරා ලේඛකයකු සමාජ මාධ්‍යයේ ආවේගයෙන් යුතුව කියා තිබුණේ “රටක් පිළිගත් ලේඛකයන්ට” එම තීරුවෙන් ගරහා ඇති බවය. මෙහිදී ප්‍රශ්න කළ යුත්තේ රටක් පිළිගත් පමණින් කෙනෙකු ලේඛකයන් වේද යන්නය. මා සිතන්නේ කෙනෙකු සාහිත්‍යකරුවකු, කලාකරුවකු නොවීමට මූලික සුදුසුකම ඔහු රටක් පිළිගැනීමය. ඉන් ඔළුගෙඩි ගණනින් කලාව තක්සේරු වන නිසාය.

මා පෙර දැක්වූ රසිකත්වයේ සාධකය දවසින් දවස බරපතල ගැටලුවකට පත් වනු පෙනේ. රසිකයකුට, සාහිත්‍යකරුවකුට ඇත්තේ රසඥතා ශක්තිය පමණක් නොවේ, ඔහුට එමගින් ගොඩනැඟුණු සංයමයක්ද ඇත. විනයක් හා ශික්ෂණයක්ද ඇත. සමාජ මාධ්‍යයේ ලියන කියන ලේඛකයන්, කලාකරුවන් කියන අයගේ නොමැත්තේ මේ ශික්ෂණය හෝ විනය බව කිව යුතුය. මෙරට නිරාගමික කලාකරුවන් නිතර කියන දෙයක් නම් බෞද්ධාගම විතරක් මෙරට ප්‍රමුඛ නොවිය යුතු බවත් සෙසු ආගම්වලටද ඉඩක් පැවතිය යුතු බවත්ය. එහෙත් සැබැවින්ම සෙසු ඇදහීම්වලට, මතවාදවලට ඉඩක් නොදෙන්නේ කවුරුන්ද? ඒ, ඒ කියන නිරාගමිකයන්මය. ‘ජනබලවේගය’ තීරුවට විරෝධය පළ කළ ජයතිලක කම්මැල්ලවීර සාහිත්‍ය මිතුරා මුහුණුපොතේ ලියමින් පවසා තිබුණේ “ආගම හා රාජ්‍ය පාලනය වෙන්ව පැවතිය යුතුය යනුවෙන් අප කළ විග්‍රහය අනාගතයේ බහුවාර්ගික සාමකාමී සමාජයක් පතන අපගේ ස්ථාවරයයි” යනුවෙනි. මෙහිදී ඔහුගෙන් විමසිය යුත්තේ බෞද්ධාගම මෙරට රාජ්‍ය පාලනය හා සබැඳීම නිසා සිදු වූ අනර්ථය කුමක්ද යන්නය.

මේ සියල්ල අනෙකක් නොව අර්ධ රසිකත්වයේ ගැටලුවය. සංස්කෘතික විඥානයක් නොමැතිව සාහිත්‍යකරුවකු වීමේ ගැටලුවය. සමාජ සංස්කෘතික විඥානයක් නොමැතිව කතාකරුවකු බවට පත් විය නොහැකි බව විශ්ව සාහිත්‍යකරුවන් දෙස බැලීමෙන්ද පැහැදිලි වනු ඇත. අප මෙරට මහත් ඉහළින් පිළිගන්නා ගේබ්‍රියෙල් ගාර්සියා මාර්කේස්, ඉසාක් බෂෙවිස් සිංගර් ආදී කවර නවකතාකරුවකු ගත්තද ඔවුන් ප්‍රබල සංස්කෘතික විඥානයකින් හෙබි ලේඛකයින් බව පැහැදිලි වේ. දොස්තොයෙව්ස්කි, තෝල්ස්තෝයි, ගොගොල්, පුෂ්කින් ආදීන්ද විමසීමෙන් මේ බව අවබෝධ වනු ඇත. එහෙත් අප පළමුකොට බැහැර ලන්නේ ඒ සංස්කෘතික සාධකයය. සැබෑ රසිකත්වයක් ඇති කිසිවෙකුට සංස්කෘතික සාධකය බැහැර ලිය නොහැකිය. හේතුවාදියකු වූ මාර්ටින් වික්‍රමසිංහ පවා සමාජ සංස්කෘතික සාධකය ඉහළින් සැලකූ බව ඔහු ඒ පිළිබඳව ලියූ සුවිශාල පොත් ගොන්නෙන් සනාථ වේ. සරච්චන්ද්‍රයන්ගේ ‘ධර්මිෂ්ඨ සමාජය’ කෘතියේ වුව පසුතලයෙන් ඇත්තේ සංස්කෘතික සාධකයය. මින් පැහැදිලි වන්නේ එකම දෙයකි. අද අප රසිකත්වය ලෙස, සාහිත්‍යය ලෙස වෙන යමක් පිළිගන්නා බවයි. ලේඛකයා ලෙසද වැරදි කෙනෙකු දොරට වඩමවා ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ මුද්‍රිත මාධ්‍යය හෝ මුහුණුපොත හෝ සාහිත්‍යයෙන් බැහැර වීම අරුමයක් නැත.

ප්‍රංශ නවකතාකරු ප්‍රංශුවා මොරියැක් ‘පැරිස් රිවීව්’ සම්මුඛ සාකච්ඡාවකදී දැක්වූ කරුණක් කිව යුතුය. ඔහු පවසන්නේ තමාගේ විරුද්ධවාදීන් සිතනුයේ තමාට ඇවැසි වනුයේ කුමන හෝ පාවා දීමක් කර ප්‍රසිද්ධ වේදිකාවේ රැඳී සිටීමට යැයි වුවත් ඔහුට ඇත්තටම ඇවැසි වනුයේ ඒ සියල්ලෙන් ඈත් වී හුදකලාව සිය ගෙදරට වී ‘ගඳ’ හමන දිශාව ගැන විමසිල්ලෙන් සිටීම බවයි. මින් කියන දේ අවබෝධ කර ගැනීම උගහට නැත. එහෙත් අප කරන්නේ කුමක්ද? මොරියැක්ගේ විරුද්ධවාදීන් මොරියැක් ගැන සිතන දේමය. එනම් ජන නියමු කලාකරුවන් වී දේශපාලන වේදිකාවේ රැඳී සිටීමය. ඇත්ත වශයෙන් ලේඛකයකුට වුවමනා වන්නේ ගඳ ගසන සමාජ දේශපාලනයෙන් ඈත් වී හුදකලාව විසීමටය. සාහිත්‍යය බිහි වන්නේ හුදකලාව බැවිනි.

ලේඛකයකුට, සාහිත්‍යකරුවකුට තමාගේ ජීවිතය සමඟ මිස සමාජය සමඟ අරගලයක් තිබිය නොහැකිය. සමාජය ගැන අරගලයක් තිබුණාට කම් නැත. එහෙත් ඒ අරගලය සාහිත්‍යකරුවකුගේ සාහිත්යික ජීවිතයෙන් වෙනස් එකකි. එහි ලිවීමට ඇති සබඳතාවක් නැත. ලිවීමට ඇවැසි වන්නේ කඩදාසි සහ පෑන පමණි. එම අමුද්‍රව්‍ය දෙක ජාතික ජනබලවේගය අනුයන සමාජවාදී ඒකාධිපති රාජ්‍යයකදී මිස අන් පාලනයකදී උදුරා දැමෙන්නේ නැත. නැත. හිට්ලර්ගේ ජාතික සමාජවාදී කම්කරු පක්ෂය බලයට ආවහොත්ද පොත් සහ පෑන් උදුරා ගනු ඇත - ජාතික ජනබලවේගය ආදර්ශ කරගත්තේ ඒ ජාතික සමාජවාදයද?

මා සිතන්නේ මේ කී ජනබලවේග දේශපාලනය හා මෙරට අද සාහිත්‍යය එකිනෙකින් වියුක්ත දේ නොව එකිනෙක සබැඳුණු දේය. මෙරට සාහිත්‍යය හා සමාජ මාධ්‍යය නස්කික වන්නේ කවර වේගයකින්ද ඒ වේගයටම මෙරට ප්‍රගතිශීලී යැයි කියන දේශපාලනය නස්තික වෙමින් ඇත. අභාග්‍යය එහි කොටස්කරුවන් බවට සාහිත්‍යකරුවන්ම පත් වීමය. කලාකරුවන්ම පත් වීමය. මෙනිසා ඉදිරියේදී අරගලය වනු ඇත්තේ සාහිත්‍යය ‘සාහිත්‍යකරුවන්ගෙන්’ බේරා ගැනීමය. කලාව ‘කලාකරුවන්ගෙන්’ බේරා ගැනීමය.

එහෙත් කාලය සමඟ සියලු දේ වෙනස් වන අතර සාහිත්‍යයද වෙනස් වේ. සාහිත්යික මාධ්‍යයේ ස්වභාවයද වෙනස් වේ. මුද්‍රිත පොත තරම් අන් කිසි සාහිත්යික මාධ්‍යයක් නැතැයි කීවත් ජංගම දුරකථනයෙන් පොත් කියවීම වැළැක්විය නොහැකිය. ඒවා වැළැක්විය යුතුද නැත. සිදු විය යුත්තේ ඒ කවර හෝ ආකාරයකින් සාහිත්‍යය බිහි වීමය. සාහිත්‍යකරුවන් බිහි වීමය. මා දකින ලෙස අද සමාජ මාධ්‍යය පරිශීලනය කරන සාහිත්‍යකරුවන්ගේ අභියෝගය දේශපාලනය නොව එහි රජයන ව්‍යාජ සාහිත්‍යයෙන් එය මුදවා සැබෑ සාහිත්‍යකරුවන්ට හා සැබෑ සාහිත්‍යයට එහි ඉඩක් හැදීමය.

සැබැවින්ම අන් කවරදාටත් වඩා අද අපට සාහිත්‍යය ඕනෑ වී ඇත. සාහිත්‍යකරුවන් හා කලාකරුවන් ඕනෑ වී ඇත. කලා සාහිත්යික පිළිසඳරද ඕනෑ වී ඇත. සැබෑ රසිකයා ඒවා පිපාසයකින් පෙළෙන බැවිනි. සමාජ මුහුණුපොත රසිකයන්, එහි සාහිත්‍ය අඩවි පවත්වා ගන්නන් පෙනී සිටිය යුත්තේ කාගේවත් අතකොලු නොවී සැබෑ සාහිත්‍යය වෙනුවෙන් පෙනී සිටීමටය. සැබෑ රසිකයන් තමාගේ සුහද සංවාදකරුවන් කර ගැනීමටය.

අද සාහිත්‍යකරුවාට සමාජ වගකීමක් ඇත්නම් ඒ අන් කිසිවක් නොව සතර අත ව්‍යාප්ත වී ඇති මේ නස්තිකවාදී ව්‍යාජ සාහිත්‍ය ප්‍රවණතාව පරාජය කිරීමය. එහිලා නිර්මාණ සාහිත්‍යයේම යෙදීම මිස අන් මඟක් ඇතැයිද මා සිතන්නේ නැත. එහෙත් නිර්මාණය ඇත්තේ සමාජ මාධ්‍යයේ නොව හුදකලාවේය. එසේ බැලූ විට කෙනෙකු හුදකලාව තමා වෙත හැරීම තරම් සමාජය වෙත හැරෙන අන් මාර්ගයක් ඔහුට නැත. සමාජ මාධ්‍යයෙන් ඇමතෙන්නේ මේ මොහොත් ඒ වටා ගොනු වූ පිරිසකි. එහෙත් තමා වෙත හැරුණු සාහිත්‍යකරුවාගෙන් ඇමතෙන්නේ අතීත, වර්තමාන, අනාගත සර්වකාලීන සමාජයකි. ගොගොල්, තෝල්ස්තෝයි, දොස්තොයෙව්ස්කි, ඇලන් පෝ අදත්, හෙටත්, අනිද්දාත් අප අමතනු ඇත. එසේ අමතන උදාර මිනිසුන් වීම වෙනුවට මේ මොහොතේ ගැලරිය අමතන ජන නියමු කලාකරුවන් වීම ව්‍යාජ සාහිත්‍යකරුවන්ගේ ලකුණක් මිස අනෙකක් නොවේ.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා