හට්ටියේ කුණු නෑඹිලියෙන් වැසීම

 ඡායාරූපය:

හට්ටියේ කුණු නෑඹිලියෙන් වැසීම

කාන්තාව සම්බන්ධ ගැටලුවලදී ඉන්දියාව ආන්තික සමාජයකි. කුලවාදයත් නූගත්කමත් එකට බැඳුණු සාධක සහිත ඉන්දියානු සමාජය තුළ කාන්තාව, විවාහය, මාතෘත්වය හා බැඳෙන දෑවැද්ද, ගෘහීය කාර්යයන්, තීරණ ගැනීම සම්බන්ධ කටයුතුවලදී කායිකවත් මානසිකවත් කාන්තාවන් පෙළන අවස්ථාවන් ගැන ඕනෑ තරම් හෙළිදරව් කරයි. නමුත් එම ඉන්දියානු සමාජයම තවත් අතකින් ලෝකයේ බොහෝ රටවලට වඩා දියුණු යැයි හැඟෙන්නේ ඊට එරෙහි සෘජු නැඟී සිටීම් පිළිබඳවද බහුලව අසන්නට ලැබෙන නිසාය. එරට කාන්තාවට එරෙහි හිංසන ගැන හඬ නගන සංවිධානද සමාජ ක්‍රියාකාරිකයන්ද මාධ්‍යද කිසි විටක නිහඬ නැත. එම නිසාම ඉන්දියාව විසින් ඉන්දියානු කාන්තාවගේ ඉරණම වඩා සාධනීය පැත්තකට ගෙන යනු ලබන බවක්ද දිස්වේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවට සාපේක්ෂව ඉහළ සාක්ෂරතාවක් සහිත මෙන්ම කුල ප්‍රශ්න හා දෑවැදි ප්‍රශ්න ජීවිත හානි කිරීම් දක්වා දරුණුවට පෙන්වා නැති සමාජයකි. මෙනිසාම ලෝක කාන්තාව ගැන කතිකාවලදී අප ඉන්දීය උදාහරණ ගෙන හැර දක්වමින් සැම විටම සිත සනසා ගන්නෙමු. නමුත් ලාංකික සමාජයේ කාන්තාව මානසික අතින් පෙළීම කායික හිංසනයන්ට වඩා දරුණු තැනක වේ. බාහිර සමාජ ඇසුරෙහි විද්‍යමාන නොකරන මෙය සාම්ප්‍රදායිකවම ලාංකික සමාජය පුහුණු කර සිටින හට්ටියේ කුණු නෑඹිලියෙන් වැහීම බඳු පුරුද්දකි. සමාජ ක්‍රියාකාරකයන් සහ ඇතැම් මාධ්‍යද කාන්තාව සම්බන්ධ බොහෝ කාරණාවලදී අනුගමනය කරන්නේ එවැනි පිළිවෙතකි.

ලාංකේය සමාජයේ බොහෝ කාන්තාවන් විවාහයත් සමඟ නුපුරුදු ගෘහ ජීවිතය, නව නෑදෑයන් හා සමාජ සබඳතා සමඟ බොහෝ ගැටලුවලට මැදි වන්නේ එකවරම පවුල හා සමාජය විසින් විශාල වගකීමක් හා එතෙක් පවත්වා ගෙන ආ හැසිරීමේ, ඇවතුම් පැවතුම්වල වෙනසක් ඈ වෙත අපේක්ෂා කරමිනි. පිරිමින් සම්බන්ධව මෙය එතරම් දැඩි නොවන අතර කාන්තාව විෂයයෙහි ඉතා තදබල ලෙස බලපෑම් කරයි.

උදාහරණ ලෙස නිවසක ආදරයෙන් හෝ කෙළිලොල්ව ඇති දැඩි වූ දියණියක විවාහය වීමත් සමඟ නව පවුලත් සමාජයත් ඇයගෙන් තලතුනා ගැහැණියකගේ හැසිරීම්, භාව ලීලාවන් අපේක්ෂා කරන්නේය. ඇඳුමක් ඇන්ඳද ගමනක් ගියද මිතුරු ඇසුරකද ඇයගේ විවාහකත්වය සීමාවක් ලෙස දකින්නේ කාලයත් සමඟ වෙනස්වීමට ඉඩ නොතබා ක්ෂණිකව හැසිරීම වෙනස් විය යුතුය යන ආකල්පයෙනි. මෙනිසා මානසික අතවරයන්ට ලක්වන කාන්තාවෝ බොහෝ වන අතර ඒවා සමාජයෙන් සඟවා තබා ගන්නටද වන්නේය. නැත්නම් ඇයට සිදුවන්නේ නරක නාමයක් ලැබීමටය. එමෙන්ම නිවසේ කටයුතු, පෝෂණය, යුතුකම්, දරුවන්, ආර්ථිකය ගැන වගකීම් කෙසේ වුවද දෝෂදර්ශනා නම් වැඩිපුරම එන්නේ කාන්තාවගේ පාර්ශ්වයටය. මෙය නූතන කාන්තාව තම වගකීම් හා භූමිකාව සම්බන්ධ වික්ෂිප්තභාවයටත් මානසික ගැටලුවලටත් මැදි කරන්නකි. හුදෙක් බාහිර සමාජ හැසිරීමකින් තොරව පවුල පමණක් පළමු අරමුණ කරගත යුතුය සහ එහි වගකීම් ඉතා බරපතල ලෙස ගත යුතුය යන අදහසක් විවාහක කාන්තාව විෂයයෙහි තහවුරු කෙරෙන්නේ එතෙක් ඇගේ සිතෙහි පැවති සතුට හා සැහැල්ලුව නැති කර දමමිනි.

අනේක විධ ඥාති මිත්‍ර සබඳතා සහ ගෘහ කාර්යයන් අතරේද ගැහැනිය මත වැඩත් යුතුකමුත් වැඩිපුර පැටවෙන අතර කුමක් හෝ අඩුවක් වන තැන විවේචනයට ලක්වීමටත් සිදුවන්නේය. මේ නිසා මුහුණු පොත වැනි සමාජ මාධ්‍ය ඇසුරු කරන ඇතැම් පීඩිත නූතන ගැහැනු තම පෞද්ගලික ගැටලු විවිධ සමූහ ඔස්සේ ඉදිරිපත් කරති. පුවත්පත, රූපවාහිනී මාධ්‍ය පමණක් ප්‍රචලිත වූ දෙදහසට පෙර යුගයේ මෙවැනිම ගැටලු තැපැල් මඟින් යම් ගැටලු තීරු හෝ වැඩසටහන් වෙත බොහෝ ගැහැනු යොමු කළද අනන්‍යතාව පැහැදිලිව තහවුරු නොවීම හේතුවෙන් ඒ කාරණා එතරම් සමාජගත නොවීය. නමුත් සමාජ මාධ්‍ය හරහා එළි දක්වන ගැටලු ඊට වඩා වේගයෙන් සමාජය පුරා විසරණය වන අතර ඒවා තවත් පවුලේ ගැටලුවක ආරම්භයද විය හැකිය.

මෙ නිසාම විවිධ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍යයන්හි පළවීම නොහොබිනා කටයුත්තක්ය යන අදහසක් සමාජය තුළ මුල් බැස ඇති නමුදු මේ සියල්ලට යටින් ඇති නූතන ලාංකික කාන්තාව විවාහය හෝ පවුල තුළ ගෙවන අතිශය වෙහෙසකර මානසික පීඩාවන් බැහැර කළ නොහැකිය. කුමන මොහොතේත් සමීපයෙහි ඇති ස්මාර්ට් දුරකථනයකින් ක්ෂණිකව හැඟීම් පළ කරන්නට මේ වන විට සමාජය හුරුව සිටිති. පවුලේ විවෘතව කතා කිරීම කාන්තාවක විසින් කරන අශෝභන කටයුත්තක්ය හෝ අදහස් පළ කරන්නට ඉඩ නොලබන, කාන්තාව නිෂ්ක්‍රීය ලෙස සිතන පරිසරයක කාන්තාව සිය පෞද්ගලිකත්වය දෙවරක් නොසිතා සමාජ මාධ්‍යයේ ලිහා දමන්නේද මේ භාවිතාව විසිනි. නමුත් තාක්ෂණය උපයෝගයෙන් පළ කරන හැඟීම් තවමත් නොදියුණු සමාජ පරිසරයක පීඩනයන් වෙතින් මතු වන ඒවා වීම කනගාටුවට කරුණකි. කාන්තාවට එරෙහි හිංසනයන් ගැන වගකිවයුතු විද්‍යාර්ථීන්, ආයතන හෝ සමාජ සමූහයන් වෙතින්ද හට්ටියේ කුණු නෑඹිලියෙන් වහනවා වෙනුවට වහා අවධානය යොමු කළ යුතු සමාජ ගැටලුවක් ලෙස සලකා මෙය ආමන්ත්‍රණය කළ යුතු වන්නේ එනිසාය.

[සජිනි උයන්ගොඩ]

මාතෘකා