රාජ්‍ය බැංකුවකින් දෘශ්‍යාබාධිතයන්ට කැපිලි

 ඡායාරූපය:

රාජ්‍ය බැංකුවකින් දෘශ්‍යාබාධිතයන්ට කැපිලි

(කලු අකුරු) ඔස්සේ බොහෝ දුරට අකුරු කළේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට පවතින ගැටලු පිළිබඳය. ඒ ඊට විසඳුම් සෙවීමට සහ සමාජය දැනුවත් කිරීම උදෙසාය. එහි ප්‍රතිඵල ද නැතුවාම නොවේ. ඒ වගේම තවමත් දැනුවත් නොවුණු, විසඳුම් නොලැබුණු තත්ත්වයන් ද පවතී.

මීට පෙර අවස්ථාවකදී අපි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට බැංකු ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු පිළිබඳ දැනුවත් කර ඇත්තෙමු. විශේෂයෙන් මේ ගැටලුව දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට සෘජුවම බලපෑම් එල්ල කරන තත්ත්වයක් පවතී.

පසුගිය සතියේ දිනක ගුරුවරයකු වන දෘශ්‍යාබාධිත මගේ මිතුරකු තම ගුරු වෘත්තියෙන් ලැබෙන වැටුප ලබාගැනීමට බැංකුවට ගිය පසු මුහුණදීමට සිදුවූයේ කනගාටුදායක තත්ත්වයකටය. බදුරලිය නගරයේ ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් වන එහි සේවය කළ නිලධාරීන් ඔහුට පළමුව පවසා ඇත්තේ ඔහු බැංකු ගිණුම ඇරඹූ ශාඛාවටම ගොස් වැටුප ලබාගත යුතු බවය. ඔහුගේ දෘශ්‍යාබාධිත බව හේතුවෙන් බැංකුවෙන් වැටුප නිකුත් කිරීමට නොහැකි බව ප්‍රකාශ කර ඇත. නමුත් ඒ හේතුව කොතරම් නම් අසාධාරණද? දැනට ගුරු සේවයේ වසර තුනකට ආසන්න කාලයක් නියැලී සිටින ඔහු මෙතෙක්කල් වැටුප් ලබාගෙන ඇති අතර ඒ ඔහු කළ සේවයට රජයන් ලද වැටුපය. ඒ වගේම ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූවෙකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ කාලයේදී කොළඹ ප්‍රදේශයේදී තම බැංකු ගිණුම අරඹා ඇති අතර මේ අවස්ථාවේ බැංකු නිලධාරීන් කියනා පරිදි ඔහු තම වැටුප ලබාගැනීමට බදුරලිය නගරයේ සිට යළි කොළඹට යා යුතුය. එය කොතෙක් දුරට ප්‍රායෝගිකද?

ඉන් පසුව ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ සාක්ෂිකරුවෙක් නැතිව මුදල් නිකුත් කිරීමට නොහැකි බවය. මේ ආකාරයට විවිධ හේතු දක්වමින් අපගේ දෘශ්‍යාබාධිත මිත්‍රයාව උදෑසන 9.00 සිට දිවා 1.00 පමණ වනතුරු බැංකුවේ රඳවාගෙන ඇත. අවසන ඔහු තම සේවයට රජයෙන් ලබා‍දෙන වැටුප බැංකුවෙන් ලබාගෙන ඇත්තේ නොවිඳිනා වැඳුම් වැඳය.

එසේම එකී රාජ්‍ය බැංකුව විසින් මෑතකදී නිකුත් කරන ලද චක්‍රලේඛනයක්ද ඔහුට කියවා ඇති අතර එහි අන්තර්ගත දෑ ශ්‍රී ලංකාවේ වෙසෙන ආබාධිත, විශේෂයෙන් දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ අයිතීන් කඩ කිරීමට පවා සමත්ය.

එම චක්‍රලේඛනයේ ඇති කරුණු අනුව දෘශ්‍යාබාධිත අයකු බද්ධ ගිණුමක් ඇරඹිය යුත්තේ තම පවුලේ සාමාජිකයෙකු හෝ වෙනත් දෑස් පෙනෙන අයෙකු සමඟය. කිසි විටෙකත් දෘශ්‍යාබාධිත පුද්ගලයන් දෙදෙනකුට බද්ධ ගිණුමක් ඇරඹිය නොහැකිය.

මෙහි ඇති ප්‍රායෝගික ගැටලු දන්නේ දෘශ්‍යාබාධිත අපි පමණි. චක්‍රලේඛණ සකසන කිසිවෙක් ඒවා දන්නවා ඇතැයි සිතීමට නොහැකිවන්නේ එහි වූ ස්වභාවය දුටු විටය.

වැටුප ද පෞද්ගලික දෙයකි. එය තවත් කෙනකු හා සම්බන්ධ වීම තුළ එම පෞද්ගලිකත්වයක් අහිමි වේ. ඒ වගේම පවුලේ සාමාජිකයන්ගෙන් වුවද දෘශ්‍යාබාධිත පුද්ගලයන් ලබන හිරිහැර සහ පීඩා අපමණය. ඉතා යහපත් පවුල් පසුබිමකින් යුතු අයකුට නම් එය ගැටලුවක් නොවුණත් මා දන්නා ඇතැම් දෘශ්‍යාබාධිත මිතුරු මිතුරියන්ට පවුලේ සාමාජිකයන්ගේ සැලකිල්ල එතරම් යහපත් නැත. බැංකුවෙන් පවුලේ සාමාජිකයකු නම් කිරීමට කියන්නේ විශ්වාසවන්ත බව මුල් කරගෙනය. නමුත් අපේක්ෂිත විශ්වාසවන්ත බව තැබීමට නොහැකි නම් මුදල් ගනුදෙනුවලදී තමාට තමා හැර වෙනත් කෙනෙක් විශ්වාස කළ නොහැකි බව සාමාන්‍ය මතයවේ. එසේ නම් මෙම ක්‍රියාවලිය ‍කොතෙක් දුරට සාර්ථක වේද?

විවාහක දෘශ්‍යාබාධිත යුවළකට ද බද්ධ ගිණුමක් ඇරඹිය නොහැකිය. තවද එම චක්‍රලේඛණයට අනුව ගිණුමක් විවෘත කරන්නේ නම් දෑස් පෙනෙන අයකු සාක්ෂිකරුවෙක් ලෙස සම්බන්ධ කර ගත යුතුය. මුදල් ලබාගැනීමේදී පවා දෑස් පෙනෙන අයකු සම්බන්ධ කර ගත යුතු බව බැංකුවෙන් නිකුත් කර ඇති චක්‍රලේඛණයේ සඳහන්ව ඇත. එයින් බැංකුව අපේක්ෂා කර ඇත්තේ බැංකු නිලධාරීන් දෘශ්‍යාබාධිත පුද්ගලයාට කළ හැකි යම් යම් වංචනික අවස්ථා මඟහැරීමය. එය යහපත් චේතනාවෙන් කළ කාර්යයක් උවත් දෘශ්‍යාබාධිත පුද්ගලයා හා බැංකුවේ කටයුතුවලට සම්බන්ධ වන දෑස් පෙනෙන පුද්ගලයා කිසිදු වංචාවක් නොකරනවා යැයි අපි තහවුරු කරන්නේ කෙසේද?

සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ මෙය නොවේ. අද වන විට රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙන් බැංකුවල ගනුදෙනු ඇතුළු සියලු කටයුතුවලදී අන්තර්ජාලය භාවිත කෙරේ. බැංකු ගනුදෙනුවලදී තම දුරකථනයට අදාළ තොරතුරු එසැණින් ලබාගැනීමේ පහසුව ද පවතී. (sms banking) බැංකු ක්ෂේත්‍රය නොදැනුවත් උවත් දැනට ලංකාවේ වෙසෙන බොහෝ දෘශ්‍යාබාධිත පුද්ගලයෝ එම තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරති. කළ යුත්තේ ඒ පිළිබඳ බැංකු ක්ෂේත්‍රය දැනුවත් කිරීම සහ එම තාක්ෂණික කාර්යයන් නොදන්නා දෘශ්‍යාබාධිත පුද්ගලයන් දැනුවත් කිරීමය.

ඒ ආකාර ධනාත්මක පියවරක් නොගෙන ඔවුන් මේ ආකාරයට අපහසුතාවට පත් කිරීම ‍කොතරම් අමානුෂීය වේද?

පසුගියදා මේ ගැටලුවට ඔහු මුහුණ දුන් අතර හෙට මේ ගැටලුවට දෘශ්‍යාබාධිත ඔබට හෝ මට මුහුණදීමට සිදුවිය හැකිය. විය යුත්තේ එය නොවේ. අදාළ අංශ දැනුවත් කිරීම සහ දැනුවත් වීමය. මෙම ලිපිය කියවනා දෘශ්‍යාබාධිත ඔබට මා කියා සිටින්නේ ද හැකිතාක් තාක්ෂණය භාවිත කරමින් ඔබගේ කාර්යයන් පහසු කර ගන්නා ලෙසය. ඔන්ලයින් බෑංකින්, ඊ බෑංකින්, එස්.එම්.එස් බෑංකින් වැනි ක්‍රමවේද ඔබට දෘශ්‍යාබාධිත උවත් පහසුවෙන් භාවිත කළ හැකි ය. එහි ඇති ප්‍රායෝගික පහසුව සහ වැදගත්කම මා අත්විඳ ඇත.

ඒ වගේම බැංකු ක්ෂේත්‍රයද මේ ආකාරයට ඇති පහසුකම් පිළිබඳ දැනුවත් වී ඔවුනට අවශ්‍ය පහසුකම් ලබාදිය යුතුය. මන්ද දෘශ්‍යාබාධිත උවද අපි කවුරුත් රටේ පුරවැසිභාවය හිමි රජයට බදු මුදල් ගෙවන මහජනයා වන බැවිනි. රජයද මීට වඩා මේ පිළිබඳ මැදිහත්ව කටයුතු කළ යුතු ය. විශේෂයෙන් මුදල් අමාත්‍යංශයට, මහා බැංකුවට මේ පිළිබඳ වගකීමක් පවතී. එබැවින් මේ ගැටලුවට විසඳුම් සෙවීමට එම රාජ්‍ය ආයතන ද මැදිහත් විය යුතු ය. ඒ වගේම ඉහත කී චක්‍රලේඛණය සංශෝධනය කිරීම සමස්ත ශ්‍රී ලාංකේය දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ යහපතට හේතු වන අතර දෘශ්‍යාබාධිත ඇතුළු වෙනත් ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් බැංකු ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කාලෝචිත ය.

[සත්‍යා නිර්මාණි]

 

මාතෘකා