ගොරක මාළුව

 ඡායාරූපය:

ගොරක මාළුව

උඩ ගෙදර එමලින් නැන්දගෙ සංතෝසෙ නිම්හිම් නැතුං හිටියෙ තමුන්නෙ මූණත් රූපෙ පත්තරෙත් වැටිලා උයන්ඩ හපනියක් කියාලත් ලියවිලා තිබ්බ හින්දා. මේ ගම්වල ඇත්තො මොනා කෑවත් බිව්වත් එයික ලුණු ඇඹුල් ඇතුං කන්ඩ ඕනැය කියාලයි කියෙව්වෙ. ඉතිං මොනා හරි මාළුවක් පින්නක් නැත්තං පිළිහුඩුවක් උයා කෑවත් ඇඹුලු එක්කාසු කරන්ඩ අමතක කෙරුවෙත් නෑ. එව්වට යොදාගන්ඩ පුළුවන් ඇඹුල් ජාතිත් කීපයක්ම තිබ්බා. මාළුවේ පින්නෙ හැටිවට තමයි ඉතිං ගැළපෙන ඇඹුල එක්කාසු කෙරුවෙ.

සියඹලා මස් උයද්දි එක්කහු කරාපු අපේ උන්දැලා මාළු උයද්දි එක්කාසු කෙරුවෙ ගොරක. දෙහි, ඇඹුලු දොඩම්, බිලිං වාගේ ජාති ගැනත් අපි මෙයිට ඉස්සර කියාලා තියෙනවා නෙව. ඒ කියද්දි මාළුවට වෑංජනේට ඇඹුල් මුහු කරන හැටි ගැන විතරක් නෙවෙයි ඇඹුල මාළු ඉවිලි ගැනත් කිව්වා නෙව. සියඹලා හොදි කන හැටි, තක්කාලි ගොඩ හොදි නැත්තං පුස්සලා හදන ලුණු මිරිස් ගැන විතරක්යෑ ලෙමන් රේණු, සියඹලා මල් කන ආකාරෙත් කිව්වා ඔයි ඇත්තන්ට මතක ඇති. හා හුඳයි කියන්ඩ බලන්ඩ ගොරකා කන්ඩ පුළුවන්ද මාළුවක් උයාලා?

අපි හුඟ වෙලාවට ගොරකා ඇඹුලුවක් හැටිවට මාළුවකට දැම්මත් ගොරක පෙත්ත කන්නෙ නැතුව විසික්ක කරන්ඩ නෙ පුරුදු වෙලා ඉන්නෙ. ආං ඒ වෙලාවට අපේ අම්මලා නම් කියනවා අඩා ඔයි ගොරකා පෙත්ත විසික්කා කරන්නෙ නැතුං ඇඹුල බලන්නෙ නැතිව කන්ඩ පුරුදු වෙනිල්ලා ඔව්වා ඇඟට ගුණයි තෙල අහක් වෙනවා කියලා. ගොරකාවලින් සිද්ධ වුණේ හයි වෙන එක හින්දා මාළු උයද්දි ගොරකා දැමිල්ල අනිවාර්යයි. ඇඹුල් තියල් උයද්දි ගොරකා මුහු කෙරුවෙ අඹරලා හින්දා ඕං ගොරක විසික්කා කරන්නෙ නැතුං කන්ඩ සිද්ද වෙනවා. ඉතිං ඔයාකාරෙන් ගොරකා කන්ඩ පුළුවන් නම් අඹ ඇඹුලෙ හිට වෙන ඇඹුලු මාළු කන්ඩත් අපේ දිව හුරු වෙලා නම් ගොරකා උයලා කාපුවම ආයෙ මොන විනැම්බෑසියක් වෙන්ඩ කියලද?

එහෙනං ඉතිං අහගන්ඩ ගොරකා මාළුව උයාලා කන හැටි. අහලා විතරක් නම් හරියන්නෙ නෑ. උයාන කන්ඩත් පුරුදු වෙන්ඩ තියෙන්නෙ. ආයෙ වැඩි අමාරුවකුත් නෑ. හැබැයි මාළුවට පෑහෙන්නෙ වේලිච්ච ගොරකා නෙවෙයි. පැහිලා ඉදිච්ච ගොරකා. අර රතු පාටට තියෙන්නෙ. ඉදිච්ච ගොරක ඇන්න ඇවිත් මුලිම්ම කරන්නෙ කහයි වතුරයි දාලා තම්බගන්න එක. තම්බ දිය බේරගත්තට පස්සෙ ගොරක ටික හොඳට පොඩි කර ගන්ඩ ඕන. ඉන්පස්සෙ පොඩි කරගත්ත ගොරකාවලට අමුමිරිස්, රතු ලූනු ලියාලා දානවා. තව කරපිංච, රම්පෙ, උලුහාල්, කුරුඳු පොත්තක් එහෙමත් එක්කහු කරාගෙන පොල් මිටිකිරි කෝප්පයකුත් දා ගන්නවා. දැන් ඇතිළියක් ළිප තියාලා පොල්තෙල් ටිකක් රත්වෙන්ඩ ඇරලා ඒකට සුදු ලූනු තළාපුවයි, ලොකු ලූනු ලියාගත්තවයි බැ‍දෙන්ඩ දාලා ගොරකා ටික තෙම්පරාදු කරගන්නවා. එමලින් නැන්දා කිව්වෙ මේ ගොරක මාළුවත් එක්ක බත් මරන්ඩ පුළුවන් විතරක් නෙවෙයි ගොරකා කියන්ඩත් බැරුවා දැක්ක හැටියෙ කියාලයි.

ඕං ඉතිං වතුවල ගොරකා ගස් තියෙන උදවිය මෙදා පොටේ ගොරකා ඉදුණම දුමේ වේළලා මාළුවට දාන්ඩ කල් තියාගන්න අතරෙ ඩිංගක් උයාගෙන කාලත් බලන්ඩ. බණ්ඩාරවෙල නම් ගොරකා පල ගන්නෙ නෑ. මාත් කල්පනා කෙරුවෙ බලංගොඩදිවත් ගොරක මාලුවක් උයාගන්ඩ කියලා. ඒකට ඉතිං වත්ත පුරාම ගොරකා ගස් තිබ්බෙ කෝංගල නැන්දලා ගෙදර. අපි හරිම ආසාවෙන් ගොරකා ගෙඩියෙ බිකි පලලා පැණි මදේ කෑවා. තව ඒ එක්ක පෑහිච්ච කටගැස්මක් ලොවි සම්බෝලෙ. ලොවියි, ගම්මිරිසුයි, ලුණුයි ඔක්කොම පොල් කට්ටක දාලා කොටාගත්ත. ඒ හැටිවටම බත් ජූල් සම්බෝලෙත් හදාගත්තා. බත් ජූල් ඇඹුල් කිරි හොද්දත් රහයි නෙව. ඒකට අමු මුරුංගා කොළත් දාලා ඉව්වම පංකාදුයි. ඇඹුලයි කහටයි මුහු වෙලා කිරි රහකුත් එක්ක කැකුළු බත් කන්දක් කන්ඩ බැරියෑ.

එමලින් නැන්දා කිව්ව උලුහාල් ඉවිල්ලත් ලියන්ඩ හිතුවා. උන්දැ උලුහාල් උයන්නෙ කලිං දවසෙ පොඟන්ඩ දාලා. පහුවදා අර පෙඟිච්ච උලුහාල්වලට රතු ලූනු, සුදු ලූනු, රම්පෙ කරපිංච, තක්කාලි පොල්කිරි, කහ මිරිස් තුනපහ දමාලා තෙලට දාලා කිරි පස්ස ගන්නවා. මයෙත් බොහොම මනාප කෑමක් තමයි උලුහාල් වෑංජනේ. අපේ අම්මලා අරණ්ණවල වැඩ වසාපු උන්නාන්සෙලාට දන් බෙදන්ඩ උලුහාල් වෑංජනත් ඉව්වා. මේ ගමනෙම නැන්දා කිව්වා කෝමාරිකාත් උයාගන්න විදිහ. කෝමාරිකා පිතිවල දෙපැත්තෙ කටු හූරලා දාලා අලු ගාලා පොත්ත අයින් කරනවා. ඊට පස්සෙ කිරට ඉව්වම පිපිඤ්ඤා වාගෙමයි. බඩ දැවිලි නිවාගන්ඩ කියාපු කෑමක්.

අපි ඉතිං ගම් දරුවො නෙව. ඒ කාලෙ කැලේ කොළේ කරක් ගහද්දි ළපටි කිතුල් ගහක් හෙම දැක්කොත් ඒකෙ බොඩේ ඇදලා ඇන්න කනවා. ළපටි කිතුල් බොඩ කිරිම කිරි රහයි. පිටි ගතියට හැපෙනවා. ඔයි වාගෙම පොල් බොඩෙත් කන්ඩ පුළුවන්. හැබැයි උයාලා. පොල් ගස් කපාපුවම මුදුන් පැත්තට වෙන්ඩ තියෙන ළපටි බොඩේ ඇන්න පෙති කපලා කිරට හින්දලා උයන්ඩ පුළුවන්. ඕං ඒක පොල් බොඩ මාළුව. හැබැයි ඉතිං කලාතුරකින් කන්ඩ වෙන්නෙ. පොල් ගහක් කැපුවොත් විතරයිනෙ බොඩේ උයන්ඩ පුළුවන්.

 

මාතෘකා