ගමන් විත්ති සාහිත්‍යය

 ඡායාරූපය:

ගමන් විත්ති සාහිත්‍යය

ඉකුත් දා එළිදුටු සමන් අතාවුදහෙට්ටිගේ ‘සොඳුරු සැරිසර’ සංචාරක සටහන් කෘති දෙක ඔස්සේ නැවත වතාවක් ගමන් විත්ති සාහිත්‍යය වෙත අවධානය යොමු වී තිබේ. සංචාරක සටහන් සාහිත්‍යය ඉංග්‍රීසියෙන් හඳුන්වනුයේ Travel Literature යනුවෙනි. එය වෙනම සාහිත්‍ය ශානරයකි. Literary Tourism (සාහිත්යික සංචාරය) යනුවෙන්ද සංචාරක මාදිලියක් තිබේ. එය සාහිත්යික වෙසෙසක් නොව සංචාරක කර්මාන්තයේ අංගයකි. එහිදී සිදු කෙරෙන්නේ ප්‍රබන්ධයක එන චරිතයක් ඇසුරු කරන දේ, යන එන තැන් සැබැවින් ගොස් අත්දැකීමය. කතුවරයා ඇසුරු කරන, ඔහු යන එන තැන් හා ඔහුගේ නිවස, ඔහුගේ සොහොන්ගැබ ආදිය ඇසින් දැක අත්දැකීමද ඊට ඇතුළත් වේ. මෙය බොහෝ විට පයින් ගොස් කෙරෙන සංචාරයක් වන අතර ඇතැම්හු එය නිරාගමික වන්දනාවක් (Secular Pilgrimage) ලෙසද හඳුන්වති.

සංචාරක සටහන් සාහිත්‍යයට නොයෙක් පොතපත ඇතුළත් වේ. බැහැරට ගොස් අත්දුටු සිද්ධි රැගත් සාහිත්‍යය (Outdoor Literature ), මාර්ගෝපදේශක කෘති (Guide Books), ස්වභාවික පරිසරය පිළිබඳ ලිවීම් (Nature Writing), සංචාරක මතක සටහන් (Travel Memoirs) ආදිය ඉන් කිහිපයකි. මිනිසා සාක්ෂරතාව ඇරඹි කාලයේ පටන්ම සංචාරක සාහිත්‍යය ඇරඹියේ යැයි සිතිය හැකිය. එනිසා එය කවර කවදා ඇරඹියේදැයි නිශ්චය ලෙස පැවසිය නොහැකිය. එහෙත් මුල් කාලීන සංචාරක මතක සටහනක් ලෙස ග්‍රීක දාර්ශනික පවුසානියස් (Pausanias) ක්‍රි.ව. 2 වන සියවසේ ලියූ Description of Greece (‘ග්‍රීක විස්තරය’) සැලකිය හැකිය. ක්‍රි.ව. 7 වෙනි සියවසේ හියුන් සියෑන් හිමියන් ලියූ හියුන් සියෑන් භ්‍රමණ වෘත්තාන්තයත් ෆාහියන් හිමියන්ගේ සටහනුත් අයත් වන්නේ සංචාරක සටහන් ගණයටය. සංචාරක මතක සටහන් වෙනම සාහිත්‍ය ශානරයක් ලෙස ගොඩනැඟීමට උපස්ථම්භක වූයේ 1786 වසරේ එළිදුටු ජේම්ස් බොස්වෙල්ගේ Journal of a Tour to the Hebrides (‘හේබ්‍රිඩ්ස් කරා ගිය ගමනක දිනසටහන්’) නමැති කෘතියය. වේල්ස්හි ජෙරල්ඩ් ලියූ Journey Through Wales (1191), Description of Wales (1194) යන කෘති දෙකත් ඉබන් ජුබායර්ගේ (1145 - 1214) හා ඉබන් බතුතාගේ (1304 - 1377) සංචාරක දිනපොතුත් මුල් කාලීන සංචාරක සටහන් සාහිත්‍යයට ඇතුළත් වේ.

ඉතිහාසය විමසන විට සංචාරක සාහිත්‍යය නොයෙක් ආකාරයෙන් විකාශය වූ සැටි අවබෝධ කරගත හැකිය. කෙසේ වුව එය ජනප්‍රිය සාහිත්‍යයක් බවට පත් වී ඇත්තේ චීනයේ සොන් අධිරාජ්‍ය සමයේ (960 - 1279) ය. එකල එම ශානරය හඳුන්වා ඇත්තේ ‘සංචාරක වාර්තා සාහිත්‍යය’ (youji wenxue) යනුවෙනි. කතා, ගද්‍ය, රචනා සහ දිනපොත් වශයෙන් ලියවී ඇති එම කෘතිවලට සංචාරය කරන ප්‍රදේශයේ භූවිෂමතා හා සිතියම් එකතු කළේ ෆෑන් චෙංග්ඩා (1126 - 1193), ක්සූ ක්සියෑක් (1587 - 1641) යන දෙදෙනාය. වින්දනය සඳහාම සංචාරයේ නියුතු වූ කෙනෙකු ලෙස අපට පෙට්‍රාක් (1304 - 1374) හඳුනාගත හැකිය. ඔහු 1336 වසරේ වෙන්ටෝක්ස් (Ventoux) කඳුමුදුන තරණය කරමින් ලියූ සංචාරක සටහන් ඒ බව පෙන්වා දෙයි. හැක්ලුයිට් (1552 - 1616) ලියූ Voyages කෘතිය සංචාරක සටහන් සාහිත්‍යයේ පදනම් කෘතියක් ලෙස සලකනු ලැබේ.

18 වෙනි සියවසේ සංචාරක සටහන් සාහිත්‍යය එහි විකාශයේ සන්ධිස්ථානයකි. එකල පොදුවේ එම පොතපත හඳුන්වා ඇත්තේ චාරිකා පොත් (Book of Travels) වශයෙනි. එහිදී බොහෝ විට බිහි වී ඇත්තේ මුහුදු තරණය කරමින් රටවල් කරා ගොස් ලියවුණු දිනපොත්ය. බ්‍රිතාන්‍යයේ සෑම ප්‍රසිද්ධ ලේඛකයෙක්ම මේ කාලයේ සංචාරක සටහන් පොත් ලියා තිබේ. කැප්ටන් ජේම්ස් කුක්ගේ දිනපොත් (1784), අද දවසේ වැඩිම අලෙවියක් වාර්තා කරන සංචාරක සාහිත්‍යකරුවන්ගේ කෘතිවලට සමාන වේ. ඇලෙක්සැන්ඩර් ෆොන් හුම්බෝල්ට්ගේ Personal narrative of travels to the equinoctial regions of America, during the years 1799 – 1804 නම් සංචාරක සටහන් කෘතියද සැලකිය යුතු කෘතියකි. එය මුලින් ලියවෙනුයේ ප්‍රංශ බසිනි. පසුව එය නොයෙක් භාෂාවලට පරිවර්තනය විය. චාල්ස් ඩාවින්ද ඇතුළු පරිසරවේදීනට බලපෑ කෘතියක් ලෙස එය සැලකිය හැකිය. ඩාවින්ගේ Beagle කෘතිය ලියවෙනුයේ එහි ආභාසයෙනි.

අද අප කථා කරන ගමන් විත්ති සාහිත්‍යයේ පුරෝගාමියකු වශයෙන් රොබට් ලුයිස් ස්ටීවන්සන් (1850 - 1894) හැඳින්විය හැකිය. ඔහුගේ An Inland Voyage (1878) හා Travels with a Donkey in the Cevennes (1879) වර්තමානයට බලපෑ මුල්ම ජනප්‍රිය කෘති දෙකයි. අද සංචාරක සාහිත්‍යය අනෙක් ප්‍රබන්ධ නොවන කෘතිවලින් වෙන් කළ නොහැකි තරම් සමීපය. වී.එස්. නායිපෝල් ඉන්දියාව ගැන ලියූ India: A Wounded Civilization (1976) කෘතියත් රෙබෙකා වෙස්ට් යුගෝස්ලාවියාව ගැන ලියූ Black Lamb and Grey Falcon (1941) කෘතියත් ඒ ආකාර පොත් දෙකකි. එහිදී විමසනුයේ ඒ ඒ රටවල්වල ජනයා හා ඔවුන්ගේ ජාතිය පිළිබඳවය. එහෙත් අවසන ඒවා සංචාරක සටහන්ද වී ඇත.

ගමන් විත්ති සාහිත්‍යය අවර සාහිත්‍යයක් නොවේ. බොහෝ ප්‍රබල ලේඛකයන් සංචාරක සටහන් ලියා තිබේ. සැමුවෙල් ජොන්සන්ගේ A Journey to the Western Islands of Scotland (1775), චාල්ස් ඩිකන්ස්ගේ American Notes for General Circulation (1842), ඩී.එච්. ලෝරන්ස්ගේ Twilight in Italy and Other Essays (1916), ජෝන් ස්ටයින්බෙක්ගේ Travels with Charley: In Search of America (1962) කෘති ඊට නිදසුන් වේ. චේ ගුවේරාගේ ‘මෝටර් සයිකල් දිනපොත්’ ද ගර්තේගේ Italian Journey ද එබඳු කෘතීන්ය. සිංහල සාහිත්‍යකරුවන් අතරින් මාර්ටින් වික්‍රමසිංහයන් ලියූ ‘චීනයේ පිබිදීම’ කෘතියත් මහාචාර්ය සරච්චන්ද්‍ර ලියූ ‘අසම්පූර්ණ චාරිකා සටහන්’ කෘතියත් සංචාරක සාහිත්‍ය කෘතිය.

ඇතැම් මහා ප්‍රබන්ධද සංචාරක අත්දැකීම්වලින් ලියවුණු ඒවා බව දැකගත හැකිය. ජෝසෆ් කොන්රඩ් Heart of Darkness (1899) නම් මහා නවකතාව ලියනුයේ ඔහු කොංගෝවට ගිය ගමනකදී ඇසදුටු දෑ ඇසුරිනි. ජැක් කෙරෝක් On the Road (1957) හා The Dharma Burns (1958) යන නවකතා ලියනුයේ ඔහු 1940 ගණන්වල හා 1950 ගණන් මුල ඇමෙරිකාවට කළ සංචාරයක් ඇසුරිනි. කිරා සැලාක්ගේ The White Mary (2008) නවකතාවේද පසුබිමින් ඇත්තේ ඔහු පැපුවා නිව්ගිනියාවට ගිය චාරිකාවකි.

ගමන් විත්ති සාහිත්‍යකරණයේදී බොහෝ ලේඛකයන් අනුගමනය කරන තාක්ෂණයක් මෙහිදී විස්තර කළ යුතුය. එය නම් ප්‍රබන්ධමය ගමන් සගයකු හරහා කෙරෙන විස්තරකථනයයි. සංචාරක සටහනක් යනු සැබැවින්ම සංචාරකයා අසන, දකින දේ එහෙමම වාර්තා කිරීම නොවේ. එය සැබෑවට අත්දකින දේ වෙනස් ලෙස දැකීමට නව ඇසක් (Insight) ලබාදීමකි - ප්‍රස්තුතය අවලෝකනයකි. ගමන් විත්ති සාහිත්‍යකරුවාට ප්‍රබන්ධමය ගමන් සගයකු වුවමනා කරන්නේ ඒ අවලෝකනය සඳහාය. එසේ වුවත් සමන් අතාවුදහෙට්ටි පවසනුයේ ඔහුට එවැන්නකු වුවමනා නොවන බවය. ඔහුට සැබෑ ගමන් සගයකු සිටින නිසාලු.

ඇත්ත වශයෙන් සෑම සාහිත්යික වියමනක්ම කල්පනා ලෝකයක්ය. ගමන් විත්ති සාහිත්‍යයේද ඒ එසේමය. ගමන් විත්තිකරුවා තමා සත්‍යය වාර්තා කරන්නේ යැයි කෙතරම් කීවත් ඔහුගෙන් සිදු වනුයේ කල්පනා ලෝකයක් ඉදිරිපත් වීමය. එහෙත් එය නිශේධනීය ලකුණක් නොවේ. සැබැවින්ම ගමන් විත්තිකරුවා කළ යුත්තේ ලියන දේ ප්‍රබන්ධමය වීමට දිරි දීමය. ඇස දකින දේ අවලෝකන වීමක් සිදු වනුයේ ඒ ඔස්සේය. අද බොහෝ සංචාරක සටහන් බැලූ විට පෙනෙනුයේ ඒවා යථාර්ථය වාර්තාකරණයක් බවය. ඊට හේතුවද පෙර කී ලියන දේ සාහිත්යික වියමනක් සේ - කල්පනා ලෝකයක් සේ - ගොඩනැඟීම ඇහිරීමය. ලියන දේට ඡායාරූප එක් කිරීමෙන් එහි කල්පනා ලෝකය තවත් බිඳීයයි. කල්පනා ලෝකය තීව්‍ර කළ හැක්කේ ඡායාරූපවලින් නොව හැඟීම්වලිනි. ඒ අතින් දක්ෂ සංචාරක සටහන්කරුවකු වශයෙන් කරුණාදාස සූරියාරච්චි හැඳින්විය හැකිය. ඔහු සංචාරක සටහන් සඳහා ජීවිතය මුසු කරයි - පුවත්පත් විශේෂාංග වශයෙන් ඔහු ඔහු ලියූ සංචාරක සටහන් පොතක් වශයෙන් පළ කළ යුතුව ඇත.

සංචාරකයකුට බොහෝ දේ අත්දැකීමට ලැබේ. එහෙත් ඒ සියලු දේ සංචාරක සටහනට ඇතුළත් කළ නොහැකිය. මා සිතන්නේ එහිදී ඇතුළත් වන - නොවන දෑ තීරණය වන්නේ ලියන මොහොතේ ගමන් විත්තිකරුවාගේ මනෝභාවයන් තුළ බවයි. කෙතරම් සටහන් ගොන්නක් ඔහු ළඟ පැවතියත් ඔහුට ලියන දේට ඇතුළත් කළ හැක්කේ ඔහුගේ භාව ලෝකයෙන් ඉල්ලන දේ පමණි. නොඑසේව සිදු වනුයේ සංචාරක සටහන් කියා නීරස, කරුණු සම්භාරයක් බිහි වීම පමණි. තවද වැදගත් දෙයක් තිබේ. ගමන් විත්තිකරුවා රැස් කරන සටහන්වලින් ඉතා අල්පයක් ලියවුණත් ඒ ලියවුණු දෙයින් නොලියවුණු දේ හැඟවීමට ඔහු සමත් විය යුතුය. එනිසා ගමන් විත්තිකරණයේදී ඔහු ප්‍රබන්ධකරුවා භාවිත කරන සියලු සාහිත කලා උපක්‍රම භාවිත කළ යුතුය. එසේ බැලූ විට ගමන් විත්තිකරණයෙන් සාර්ථක විය හැක්කේ ප්‍රතිභාන්විත ලේඛකයකුටම මිස අනෙකකුට නොවන බව කිව හැකිය.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා