දුර දකින ඇස්

 ඡායාරූපය:

දුර දකින ඇස්

යමෙක් අනාගතය විනිවිද දකින්නට හැකි අයෙක් නම් ඔහු අතින් නව නිර්මාණ බිහි වනු ඇත. සාම්ප්‍රදායික දෘෂ්ටියෙන් ඈත්ව විවෘත මනසකින් බලන මිනිසුන් නිසා අද දවසේ ගෙවන ජීවිත වඩා සුවපහසු වී තිබෙනවා. කිසියම් මොහොතක මනසේ මැවෙන සිතිවිල්ලක ජවය හඳුනාගෙන එය සාර්ථක නිර්මාණයක් බවට පත් කරන්නට හැකියාව ළඟාකර ගන්නේ බොහොම සුළු පිරිසක්.

තම කාලය ශ්‍රමය සහ නිර්මාණශීලීත්වය සංකලනයෙන් නව යමක් උත්පාදනය කළ කෙනකුට නිසි ඇගයීමක් ලැබෙනවාද? අලුත් අදහසක් පිරිසක් ඉදිරියේ ස්ථාපිත කරගන්න කොයිතරම් අපහසුයිද? ඔබටත් යම් අත්දැකීම් ඇති. වෙනස්වෙන්න පවතින අකමැත්ත අපි අවස්ථිතිය කියලයි හඳුන්වන්නේ. වෙනස් නොවෙන සහ වෙනස් වෙන්නට උත්සාහ නොදරන මොහොතේදීම ලෝකය අපව තනි කර තම ගමනේ යෙදෙන බව අමතක නොකළ යුතුයි.

සමහර මිනිසුන්ගේ ලෝකය වෙනස් කරන අදහස් හාස්‍යයෙන් ඉවත දමපු, තර්ජනයෙන්, මර්දනයෙන් මැඩපවත්වපු කාලයක් තිබුණා. අද දවසෙත් ඔබේ නිර්මාණාත්මක අදහස එවන් අයුරින් හෙළා දකිනවා වෙන්න පුළුවන්. එහෙත් ඔබට කළ හැකි සියල්ල කළ යුතුයි වගේම එයට අනාගතයේ නිසි ඇගයීම ලැබෙන බව විස්වාස කළ යුතු වෙනවා.

ව්‍යාපාරික ආයතනයක සිටින මෙවන් නව නිර්මාපකයන් එම ආයතනයට සම්පතක්. නවීන ලෝකය ඉතා ඉක්මනින් වෙනස්වනසුලු නිසා ඒ සමඟ හඹායන්න හැකි මිනිසුන් ආයතනයකට අවශ්‍යම වෙනවා. එහෙත් එවන් විශිෂ්ට අදහසක් ලෙස සැලකිය හැකි නිර්මාණයක් නොසලකා හැරීමෙන් අති දැවැන්ත ආයතනයක් පවා බිමටම ඇදවැටෙන්න පුළුවන්.

මේ ඒවගේ කතාවක්.

1975 වසරේ එක්තරා ආයතනයක සේවය කළ ඉංජිනේරුවකු වූ ස්ටීවන් සැසන් අපූර්ව නිර්මාණයක් කළා. ඒ තමයි අද ඔබේ ජංගම දුරකථනය දක්වාම විකාශනය වෙලා තියෙන කැමරාවේ ගමන්මඟේ විප්ලවීය වෙනසක්. එතෙක් කල් තිබුණේ දළ සේයාපට යොදන කැමරා. ස්ටීවන් නිපදවනු ලැබුවේ පළමු ඩිජිටල් කැමරාවයි. එහි මතක පතක් තුළ තැන්පත් වන ඡායාරූපයක් ලබාගන්න මූලික ශක්‍යතාව තිබුණා.

මේ මහා සොයාගැනීම කරන විට ඔහු සේවය කරමින් සිටි ආයතනය වුණේ ලෝකප්‍රසිද්ධ කොඩැක් සමාගම. එවකට දළ සේයාපට අලෙවියෙන් ඔවුන් ලෝක වෙළෙඳපොළ ජයගෙන තිබූ අතර කිසිදු ආයතනයකින් අභියෝගයක් එල්ල වුණේ නැහැ. එහෙත් තම ආයතනයේම සේවය කරන සේවකයෙක් තමන්ගේ ව්‍යාපාරයට විශාලම අභියෝගයක් වෙන නිර්මාණයක් එළිදක්වලා. කොඩැක් ආයතනය ස්ටීවන්ගේ මේ නිර්මාණය කෙලෙස ප්‍රතිචාරයට ලක් කළේද?

"ඔව් එය උසස් නිර්මාණයක්, එහෙත් මේ මොහොතේ අපේ ප්‍රධාන ආදායම් උත්පාදනය හා එය ගැටෙනවා" මෙවන් අගය කිරීමක් ඔහු ලැබුවේ.

1888 වසරේ ජෝර්ජ් ඊස්ට්මන් විසින් ආරම්භ කරන ලද කොඩැක් සමාගම සුවිශේෂී වර්ධනයක් අඛණ්ඩව අත්කරගනු ලැබුවා "ඔබ බොත්තම ඔබන්න. අප ඉතිරිය කරන්නම්" (You press the button, We do the rest) අදහසින් ආකර්ෂණීය ලෙසින් සේයාපට මත ඡායාරූප සටහන් කරන කැමරා ලොවට හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවර ඉටුකරනු ලැබුවේ එම සමාගමයි.

1975 වසරේ නිමැවුමට ප්‍රතිරෝධයක් දක්වන ලද මුත් 1990 වසරේ එය කෙරෙහි අවධානය යොමු කරන්නට උත්සාහ කරනු ලැබුවේ සමකාලීන අනෙකුත් සමාගම් වෙතින් එල්ල වන ඩිජිටල් අභියෝගයට මුහුණදෙන්නයි. ඇත්තෙන්ම මුල් අවස්ථාවේ යොමු නොවීමෙන් කරගත් වරදේ වන්දිය ඔවුන්ට ගෙවීමට සිදු වුණා.

නවීන අදහස්වල ශක්‍යතාව සහ වැදගත්කමත්, වෙළෙඳපොළ අභියෝග කෙරෙහි නිවැරදිව සංවේදී නොවීමේ වැරදි කිහිපයක් ඉන් පසුවත් කොඩැක් සමාගම අතින් සිදු වුණා. අද වන විට ඒවා ඓතිහාසික වැරදි කියා කියන්නට පුළුවන්. ආදායම් ඉපයිය හැකි බොහෝ නිර්මාණාත්මක පේටන්ට් අයිතීන් සතුව තිබූ මුත් නිසි වෙලාවේ ඉන් වැඩක් ගන්න ඔවුන් සමත් වුණේ නැහැ. 2011 වසරේ බුන්වත්භාවය පිළිබඳව Chapter 11 යටතේ නැවත ප්‍රතිසංවිධානය පිළිබඳව ආකර්ෂණය ලැබෙන ඇමෙරිකානු නීතිය යටතේ යළි නැඟී සිටින්නට ඔවුන් උත්සාහ දරනවා.

ව්‍යාපාර ලෝකයේ දැවැන්තයෙක් ඇදවැටුණේ එලෙසයි. මෙවන් සිදුවීම් ඇසුරින් උගතයුතු පාඩම් කෙරෙහි අවධානය යොමු කිරීම එවන් ඉරණමකින් වැළකී ඉදිරි ගමන සාර්ථකව ගමනක් යන්නට උදවු වෙනවා. කිසිම විටෙක නව අදහසකින් වැරද්දක් වෙන්නේ නැහැ. තමන්ගේ තරගකරුවන් අවතක්සේරු කරනා තාක්කල් ඉදිරියට යන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. තරගකාරීත්වය කියන්නේ අවාසිදායක දෙයක් නෙවෙයි. ඒත් එය වාසිසහගත වන්නේ නියමිත මොහොතේ නිහඬව නොහිටියොත් පමණයි.

ජෝර්ජ් ඊස්ට්මන් නම් කොඩැක් පුරෝගාමියාගේ පහත අදහස කෙරෙහි අවධානයක් පසුකාලීන පාලක පරපුරට තිබුණේ නම් අද දවසේ එම ආයතනයට මෙවන් ඉරණමක් අත් නොවන්නට ඉඩ තිබුණා.

"ලොව ප්‍රගමනය සර්වකාලීනව සහ සම්පූර්ණයෙන්ම රැඳී පවතින්නේ අධ්‍යාපනය මතයි"-ජෝර්ජ් ඊස්ට්මන්

දුර දකින ඇස් මඟ හැරීමෙන් ලොකු අවස්ථා අහිමි වෙන්න පුළුවන්.-

[මේනක මදුජිත්]

මාතෘකා