හිතුවක්කාරියක්

 ඡායාරූපය:

හිතුවක්කාරියක්

අද ටිකක් වැහිබර දවසක්. පරිසරය ගුප්ත බවක් ඉසිලුවේ. මට අද යෑමට ඇත්තේ වැඩිහිටි දීමනාවක් පරීක්ෂා කරන්න. වැඩිහිටි දීමනාවට ඉස්සර කිව්වේ පිංපඩි කියල. ඒ වදනේ ගර්හිත ස්වරූපයක් ඇති නිසාද දන්නෙ නෑ දැන් ඒ නම පාවිච්චි නොවෙන්නෙ. කෙනෙක් වැඩිහිටි දීමනා ලබන්න නම් සුදුසුකම් දෙකක් සපුරාලිය යුතු වෙනවා. පළමුවැන්න ආදායම් මට්ටම අඩු වීම. දෙවැන්න අවුරුදු හැත්තෑවට වැඩි වීම. ඇතැම් විට අද මේ සුදුසුකම් දෙකම නැති අය වැඩිහිටි දීමනා ලබනවා. සංවර්ධන නිලධාරීන් වන අප ඒ දීමනා ලබන අය පිරික්සන්න යොදවා තිබෙන්නෙ ඒ නිසා විය යුතුයි. සාමාන්‍යයෙන් වැඩිහිටි දීමනා ලෙස අද ගෙවන්නෙ රුපියල් 1900ක් වගේ මුදලක්. දිනපතා ආර්ථික උද්ධමනය ඉහළ යන අද වගේ පරිසරයක එච්චර මුදලක් කෙනෙකුට ජීවත් වෙන්න ප්‍රමාණවත් නෑ. ඒත් රජය දරා සිටින ණය කන්දරාවේ තරමට ඒ මුදල වුණත් කෙනෙකුට වටිනවා. වැඩිහිටි දීමනා ලබන අයගේ බලාපොරොත්තුව මහලු වියේදි දරු මුණුබුරන්ට කරදරයක් නොවී ලැබෙන සුළු මුදලින් ජීවිතය ගෙවීම. එහෙම කරන අය අනන්තවත් ඉන්නවා. අද මට යෙදී තිබෙන ගමනේදීත් එහෙම අය මට මුණගැහෙන්න පුළුවන්.

මා යා යුතු නිවසට ගමන් මාර්ගය වැටී තිබෙන්නෙ රන්සේද මාවතෙන්. ග්‍රාම නිලධාරී මහතා පෙන්වා දුන් විධියට ගෙය තියෙන්නේ රන්සේද මාවතේ කෙළවර. දවස තවම පටන්ගත්තා විතරක් නිසාද කොහේද එච්චර අව්ව සැරක් නැහැ. මං ඇවිද ගියේ රූස්ස අතුපතරින් හෙවුණු වදුලක් අතරින්. එහි අඳුරු පරිසරය සිතටත් ගතටත් ගෙනාවේ නැවුම්, සැහැල්ලු හැඟීමක්. මා අබියසින් තිබූ මාවතක නම ‘කුරුලුපාළු මාවත’. සමහර වෙලාවට පාරවල්වලට දෙන නම් හිතාගන්න බැරි තරම් ලස්සනයි. සමහර නම් ඊට කිසිසේත් ගැළපෙන්නෙ නෑ. මං දන්න කොළඹ පාරක නම ‘ඩිවෝස් ඇවිනිව්’. ඒක ඉංග්‍රීසි නමක්. ඒත් ඒ නම පාරකට ගැළපෙනවාද කියල මට තේරෙන්නෙ නෑ. රන්සේද මාවත ලස්සන නමක් තමයි. ඒත් ඒ නමත් ඒ පරිසරයත් අතර ඇති සම්බන්ධය මට වටහාගන්න බෑ.

“මිස්! මිස්! කොහේද මේ යන්නේ?”

පුරුදු ළෙන්ගතු කටහඬ හඳුනගන්න මට මහ වෙලාවක් ගියේ නෑ. ඒ, අපේ සේවා පියසේ විනීතා. විනීතා පදිංචි වෙලා ඉන්නේ වසම ඇතුළට වෙන්න කියල මම දැනගෙන සිටියා. ඒත් ඒ රන්සේද මාවතේ කියල දැනගෙන සිටියේ නැහැ.

“මම වැඩිහිටි දීමනාවක් බලන්න යන ගමන්. ඔයා සේවා පියසට ආවේ නෑ නේද?”

“ඔව් මිස්. මේ දවස්වල පුතාගේ විභාගේ නිසා ගෙදර නැවතුණා.”

විනීතා පිළිතුරු දුන්නේ බාල කළ කටහඬින්. ඇය හමු වීම මට සහනයක් දැනුණා. රන්සේද මාවතේ මා යන නිවස සොයාගන්න ඇගෙන් උදව් ගත හැකියි.

“විනීතා, රන්සේද මාවතේ සීලවතී මැණිකේ ඉන්නේ කොහේද? එහෙම කෙනෙක් ඔයා දන්නවාද?”

මම කෙළින්ම කාරණය පවසා සිටියා.

“එහෙම නමක් ගැන ලොකුවට මතකයක් නෑ. ගෙයි අංකය කීයද?”

මම අතේ තිබූ ලේඛනය පිරික්සා බලා අංකය කියා සිටියා.

“අංක 38/1.”

“ඔය කියන්නේ සරත්ලාගේ ගෙදර ගැනනෙ!”

ඇය පැනයක් නඟමින් කතා කළා.

“මොකද, එහේ වයසක අම්මා කෙනෙක් නැද්ද?”

“නැහැ මිස්, ඉන්නවා. ඒ, සරත්ගේ අම්මා. හැබැයි ඒ ගොල්ලෝ නැති බැරි අය නෙවෙයි. සරත්ට ඉන්නේ මල්ලි කෙනෙක්. ඒ මල්ලිත් රජයේ රස්සාවක් කරනවා. සරත් කරන්නෙත් ආණ්ඩුවේ රස්සාවක්. ටීචර් කෙනෙක්.”

විනීතා කියාගෙන ගියා. මට කාරණා දෙකක් හිතුණා. එකක් මේ අය රජයේ දීමනා හොරට අරගෙන ඒවා අවභාවිත කරනවා විය හැකියි. දෙවනුව තමන් රැකියා කරන ගමන් ඔවුන් තම මවට නොසලකනවා විය හැකියි. ඒ අම්මා වැඩිහිටි දීමනා ඉල්ලන්නේ ඒ නිසා විය යුතුයි.

“විනීනා, ඒ අම්මාව ළමයි බලන්නේ නැද්ද?”

විනීතා තරමක් කල්පනා කර පිළිතුරු දෙන්න වුණා.

“.... ඔය අම්මා ටිකක් හිතුවක්කාරයි. ළමයින්ට කරදර කරනවා කියලා හැමෝම කියනවා. ඒත් ඔය දේ මිස්ම ගිහින් හරියටම බලන්න ඕන. එක ගමේ හිටියාට ගෙවල්වල ඇතුළෙ වෙන දේවල් අද කාලෙ අපට බලන්න බෑනෙ මිස්.”

විනීතා එහෙම කියල මට සමු දුන්නා. සීලවතී මැණිකේගේ නිවස රන්සේද මාවතේ වැඩි ඈතක නෙවෙයි තිබුණේ. නිවසේ ගේට්ටුව ඇරගෙන පිටතට පැමිණියේ වයස අවුරුදු හතළිහක පමණ ගැහැනු කෙනෙක්.

“මේ සීලවතීගේ ගෙදරද දන්නේ නැහැ....”

මම විමසුවා. ගෙමිදුලට පැමිණි කත ප්‍රශ්නකාරීව මා දෙස බලා මෙසේ පිළිතුරු දුන්නා.

“ඔව්. ඒ මගේ මහත්තයාගේ අම්මා. එන්න මිස් ඇතුළට.”

ඇගේ ආරාධනයෙන් මම ඇතුළට ගියා.

“අම්මා දැන් ගෙදර නැද්ද?”

“අම්මා මහත්තයත් එක්ක ගමනක් ගියා.”

මම පැමිණි කාරණය ඇයට සැල කළා. ඇය මා කියූ දේට සාවධානව සවන් දී කථා කරන්න වුණා.

“අපේ අම්මා හරිම හිතුවක්කාරයි මිස්. අපි එයාට සලකන හැටි වටේ අය දන්නවා. අම්මාට ඔය දිමනාව ඇත්තටම ඕන දෙයක් නෙවේ. මිස් පුළුවන් නම් ඕක වෙන කෙනෙකුට දෙන්න. අම්මාගේ දරු දෙන්නාම රජයේ සේවකයෝ. එතකොට කොහොමත් අම්මාට දීමනාව ගන්න බැහැනේ.”

මට තවත් ඇයට සවන් දීමට වුවමනා වුණේ නෑ. සියල්ල මට පැහැදිලි වුණා. රන්සේද මාවතෙන් ආපසු සේවා පියස වසම් කාර්යාලය බලා ඇවිදගෙන එද්දි මං කල්පනා කළේ එක දෙයයි. අද ඇතැම් දරුවන් දෙමාපියන්ට නොසලකා අත්හැර දමද්දි ඇතැම් දෙමාපියන් දරුවන් කොච්චර සැලකුවත් සෑහීමට පත්නොවී දරුවන්ටම කරදර කරන බවයි. සීලවතී මැණිකේත් ඒ වගේ කෙනෙක් බව හොඳටම පැහැදිලියි

 

මාතෘකා