මිත්‍යාව මත යැපීම

 ඡායාරූපය:

මිත්‍යාව මත යැපීම

ලෝකය දිනෙන් දින දියුණු වෙමින් පවතී. මිනිසා සඳ මත පා තබා අඩසිය වසකුත් ඉක්ම ගොසින්ය. ඇල්බට් අයින්ස්ටයින් හා නිව්ටන්ගේ විද්‍යාත්මක සොයා ගැනීම් තවදුරටත් වලංගු නොවන තත්ත්වයට පත්වෙමින් තිබේ. කළු කුහර සොයා ගැනීමත් ගුරුත්වාකර්ෂණයට ප්‍රතිවිරුද්ධ බලයකුත් ඇති බවට වූ සොයා ගැනීම් නිසා විද්‍යාත්මක ලෝකය උඩු යටිකුරු වෙමින් පවතී. විශ්වයේ ප්‍රමාණය ආගම්වලින් දේශනා කළ පරිමාණයට වඩා විශාලව පිහිටන බවට සොයා ගනිමින් තිබේ. මිනිසා හා සත්ත්වයාත් ලෝකයත් පිළිබද නව සොයා ගැනීම් නිරතුරුවම සිදුවේ. එහෙත් සිරි ලංකාවේ අප තවමත් නිවසින් එළියට බහින්නේ රාහු කාලය මඟහැරය. කුඩා බිළිඳකු උපදින විට පස්මහ බැලුම් නොබැලුවත් කවන්නට, පොවන්නට, අකුරු කියවන්නට, පෙර පාසල් යවන්නට, ආවාහ විවාහයට, ගෙයක් දොරක් සාදා ගැනීමට මෙකී නොකී සෑම දෙයක්ම සිදු කරන්නේ සුබ වෙලාවක් බලමින්ය. එහෙත් සිරිලංකාව තවම දියුණු වෙමින් පවතින රටකි. සුබ වෙලාවන් නොබලන, හැම වෙලාවක්ම සුබ වෙලාවක් ලෙස සිතා වැඩකරන රටවල් දියුණු වී අවසන්ය. ලෝකය අඟහරු මත නවාතැන් පිහිටුවීමට සූදානම් වන විට අප අඟහරුගෙන් සිදුවන අපලවලින් මිදීම සදහා තොවිල්පවිල් කරමින් වෙහෙසෙයි.

අප මුහුණදෙමින් සිටින ඉතා බිහිසුණු ඛේදයක් වන්නේ මිත්‍යාව මත යැපීමයි. දිළිඳු භාවයේ පතුලේ සිටින මිනිසුන් සේම ඉතා දියුණු ආර්ථික හැකියාවකින් යුක්ත පුද්ගලයන් වුවද මිත්‍යාව සරණ යමින් සිටියි. ඉතා දුක්මහන්සියෙන් උපයාසපයා ගත් වස්තූන් නිසි කළමනාකාරීත්වයකින් තොරව විනාශ කර දමන්නේ එක් එක් විශ්වාසයන් මත එල්බ සිටිමින්ය. ශිෂ්‍යත්ව විභාගය මෙන්ම අනෙකුත් විභාග සියල්ලක්ම මිත්‍යා ලබ්දිකයන්ගේ සල්පිල් බවට පත්වී තිබේ. සෑම දෙයක්ම දෙවියන් වහන්සේට කළ හැකි නම් ඒ විභාග මුලින්ම සමත්වනු ඇත්තේ එම දෙවියන්ට ආවතේව කරන පුද්ගලයන්ගේ දරුවන්ය. එහෙත් එය එසේ සිදුවන්නේ නැත. තමන් පිළිබඳව වූ අවතක්සේරුව තවත් කෙනකුගේ පිහිට පැතීමට හේතුවකි. ඉතා ඈත අතීතයේ ශිෂ්ටාචාරය ගොඩනැඟෙමින් පැවැති යුගයේ ඔවුන් අවට තිබූ පරිසරය ගැටලුකාරී විය. තේරුම්ගත නොහැකි විය. මිනිසුන්ට තේරුම් ගැනීමට නොහැකි වූ වැස්ස, සුළඟ, කුණාටු, ගින්න යනාදිය දේවත්වයෙන් හෝ මිනිසුන්ට අහිතක් කරන දේ යක්ෂයන් ලෙසින්ද හැඳින්වීම සිදුවිය. වසර මිලියන ගණනකට පෙර පැවැති එවැනි විශ්වාසයන්ගෙන් අප තවමත් මිදී නොමැති බව මඟතොට යනෙන විට අපහට දැකගත හැකිය.

සිරි ලංකාවේ බොහෝ දෙනකු දැන් දැන් සිටින්නේ රෝහල්වල පෝලිම්වලය. බෝවන රෝග මෙන්ම බෝනොවන රෝගවලින්ද විශාල පිරිසක් පෙළෙමින් සිටිති. රෝගාබාධයන්ට ගොදුරු වීම අරුමයක් හෝ පුදුම වියයුත්තක් නොමැති වුවත් මිත්‍යා විශ්වාසයන් නිසා මිනිසුන් රෝගාතුර වන්නේ නම් අප ඒ පිළිබදව බරපතළල ලෙස සිතිය යුතුය. බොහෝ රෝගීන් රෝහල්ගත වෙන්නේ රෝගය ව්‍යාප්ත වී දරුණු තත්ත්වයට පත්වූ පසුවය. එතෙක් විවිධ තොවිල්පවිල් කරමින්, නූල් මතුරමින්, තෙල් මතුරමින් කල්හරින පිරිස බොහෝය. හැකි සෑම විටම රෝහලට යනවා වෙනුවට තෙල් බෙහෙත් සාත්තුවක්, ගුරුකමක් කිරීමට පෙළඹෙයි. මෙහි ඇති අවාසනාව නම් රෝගීන් විශාල ප්‍රමාණයකට නැවත සුවවීමට බොහෝ ඉඩකඩ තිබියදී කල්ගතවීම නිසා මරණයෙන් දිවි තොර කරගැනීමට සිදුවීමය.

ආහාර සම්බන්ධයෙන් වූ මිත්‍යා විශ්වාසයන්ද බොහෝය. ඇතැමෙක් ඌරු මස් නොකන්නේ කිලි සහිත ආහාරයක් ලෙසින් සලකාය. ඇතැම් පළා වර්ග, පිලතුරු, එළවළු යනාදී සෑම දෙයක් සම්බන්ධයෙන්ද බොහෝ මිත්‍යා විශ්වාස බැදී පවතී. ඇතැම් කෑම වර්ග රෑ ආහාර ගැනීමෙන් විපත් පැමිණෙන බවට විශ්වාස කරයි. ඇතැම් කෑම කා ස්නානය කළ පසු බිහිසුණු විපත් අත්වන බවට විශ්වාස පවතී. මෙකී නොකී විවිධ හේතු දක්වමින් බොහෝ පිරිසක් නියම පෝෂණයෙන් පිරි ආහාර නොගැනීම නිසා මන්දපෝෂණයෙන් පෙළමින් සිටිති.

මිත්‍යා විශ්වාස අටෝරාසියක් ඇත්තේ විවාහය සම්බන්ධයෙන්ය. කුලය, ජාතිය, පැහැය, අධ්‍යාපන තත්ත්වය යනාදී පොදු කරුණුවලට අමතරව පක්ෂියා, ගස, ගණය යනාදිය ගලපමින් විශාල මිත්‍යාවක ගිලී සිටිති. අවිවාහක පිරිසෙන් බොහෝ පිරිසකට සුදුසු සහකරුවකු හෝ සහකාරියක සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ මෙවැනි දුර්මත නිසාය. දුර්මතවලින් පිරුණු මනසකින් යුක්ත පුද්ගලයන් සිදුකරන්නේ තව තවත් මිත්‍යාවේ ගිලීම පමණකි. පුද්ගල විමුක්තිය හෝ සමාජීය විමුක්තිය ඔවුහු කිසි දිනක අපේක්ෂා නොකරති. රටක් වශයෙන් හා සමාජයක් වශයෙන් අප වහ වහා සිදුකළ යුත්තේ මිත්‍යාවෙන් මිදී එළැඹ සිටි සිහියට පැමිණීමයි.

[ගාමිණී බස්නායක]

මාතෘකා