එමලින් නැන්දගෙ කොහොල්ලෑ වඩේ

 ඡායාරූපය:

එමලින් නැන්දගෙ කොහොල්ලෑ වඩේ

සමහර විඩේක කන්ඩ බොන්ඩ ඕන විදිය බැවැහැරෙටම තීරණය කරන්නෙ නැතුං තැනේ හැටියට ඇණේ ගහන්නැහේ තියෙන හැටිමට කරන්ඩ සිද්ධ වෙනවා ඕං. මං මෙහෙම කිව්වෙ මේ පහුගිය දොහක උයන්ඩ කියාලා කපා ගත්ත කොස් ටිකට වෙච්ච දේ හින්දා. ඕං බලන්ඩ ඒ කොසේ ඉදිලා පැණි රහයි ආයෙ මොන ඉවිල්ලක්දෑ. හැබැයි මයෙ හිත කිව්වා මදුලු ටික විතරක් අහක් කෙරුවට කාරි නෑ කියලා. ඉතිං ඇට ටික බේරලා ඇරගෙන පොතු ඇරලා හීනිවට කෑලි කපලා පරිප්පු එක්ක කිරට ඉව්වා.

අපේ ගම්කරේ හුඟ උන්දැලා කොස් හිබිඩි විසික්කා කරන්නෙ නැතිකොට මං විතරක් එව්වා අහක දාන්ඩ අහවල් කාරියක්යැ. මං හිතුවා මේකත් උයාගත්ත නම් මොකදෑ කියලා. වත්තෙ බටු ගහක තිබ්බ ගෙඩියකුත් කඩාගත්ත ඇඹේනියන්දැට කියාලා. අවර කරල් හතඅටක් තිබ්බා ඒකත් එක්කහු කරගත්තා. රස වෑංජනයක් හදාගත්තා. මෙහෙමයි වට්ටෝරුව. කොස් හිබිඩි ටික සෝදලා දිය බේරාගෙන අවර කරල් ටිකත් කෑලිවලට අතින් කඩලා බටු ගෙඩියත් කපලා හෝදලා මුහුකරලා මේ තෙවගෙට කහ, මිරිස්, තුනපහ, ලූනු ටිකක්, ලුණු ඇබින්දක් දාලා පැත්තකින් තිබ්බා. ඔය අතරෙ හාල්මැස්සො හතඅටක් ඔලු බිඳලා සෝදලා ඇරගෙන රත්වෙන්ඩ තිබාපු තෙලට දැම්මා. ඒකටම අබ, සුදු ලූනු, කරපිංච, කුරුඳු ඩිංගක් බැදෙන්ඩ දැම්මා. හා දැන් අර මිරිස් තුනපහ දාපු තෙවගෙ ඒකට දාලා වතුර ටිකකුත් දාලා වහලා තැම්බෙන්ඩ තිබ්බා. මේකම ඇති හාල් නැලියක බත් බුදින්ඩ. කොස් හිබිඩි විතරක් උයන්ඩ පුළුවන් වැඩිය තියෙනවනම්. මෙහෙම කරන්ඩ කොස් කිරට හිබිඩි තෙලට උයන්ඩ. වෑංජන දෙකයි. අපේ අම්මලා නම් කල ගිහිල්ලා කන්ඩ වේළලා ඇරං තිබ්බා.

කොස් හිබිඩි ඉවිල්ල ගැන ලියද්දි බලංගොඩ හුණුකුඹුරෙ එමලින් නැන්දා ගැනත් කියන්ඩම වෙනවා. උන්දැ තමයි කියැව්වෙ හිබිඩි උණු දියේ දාලා ඇන්න ගැඹුරු තෙලේ දාලා බැදගෙන ලුණු, මිරිස් කුඩු එක්කහු කරලා හදාගන්න කටගැස්ම ගැන. එමලින් නැන්දට දැන් වයස හැත්තෑ එකක්. උයන්ඩ හරිම හපනියක්. එමලින් නැන්දා කියාපු වට්ටෝරු කීපයක් කියඤ්ඤං. බාගෙදා කටට කෙළ පිරෙන්ඩ ඉඩයි. කොස් පුරවලා කිරට ඉවිල්ලක් තියෙනවා මෙයිට කළියෙං කොස් ගැන කතා දිගාරින කාලෙවත් කියව්වෙ නැති. ඒකට ගන්ඩ ඕන යහමට පැහිච්ච කොස්. ඉන් මත්තෙ කොස් මදුලෙන් හීන් සීරුවේ ඇට එළියට ගන්නවා ඒක ඉරෙන්නෙ නැති වෙන්ඩ. පිහියක් ඇන්න පැත්තෙන් පළලා ගත්තනම් අහවරයි නෙව. ඊටපස්සෙ කොස් ඇටේ හිබිඩි ඇරලා තම්බනවා. තැම්බුණාම පොතු ඇරගන්ඩ පුළුවන්නෙ. දැන් මේ කොස් ඇට ග්රේටරේකින් ගා ගන්නවා. දැන් ගා ගනිපු කොස් මදුලුවලට මිරිස්, තුනපහ, කහ ලුණු, ලූනු, කරපිංච, උලුහාල් වාගේ අඩුවැඩිය දාලා අර්තාපල් උයන්නැහේ තෙලට උයා ගන්නවා. ඒක තැම්බුණාම පැත්තක තියලා අර මුලිං අහක් කරගත්ත කොස් මදුලු ටික ඉස්ටීමරේට දාලා බෙරි වෙන්නෙ නැති වෙන්ඩ විනාඩි දෙක තුනක් හුමාලෙන් තම්බ ගන්නවා. දැන් මොකදෑ කරන්නෙ අර උයාගනිපු කොස් ඇට ඩිංග ඩිංග ඇරගෙන තම්බපු කොස් මදුලු අස්සට ඔබලා පුරවා ගන්නවා. ඊටපස්සෙ පුරවාපු කොස් මදුලු ඇතිළියක අඩුක් කරලා කාරිය පරිමාණෙ හැටිවට මිටි කිරි දාලා හින්දා ගන්නවා. කරපිංච, අබ, සුදු ලූනු, කරල් මිරිස් දෙකට තුනට කඩාන තෙලේ බැදලා මේ කොස් පුරවා ඉවිල්ලෙ උඩින් දමාගත්තනම් තව ටිකක් රස වැඩි වෙනවා වාගෙම සැරසිල්ලකුත් වෙයි. කියනකොටත් කට දිය බානවා නේද?

මයෙ හිතේ ඒක හරියට පැහියක් වගේ. රජගෙදර ඉව්වා වාගෙ වෙයි උඩින් දුරු කුඩු ඩිංගිත්තකුත් ඉහා ගත්ත නම්. කොස් මදුල පුරවා ගත්තට පස්සෙ කිරට උයන්නෙ නැතුං හුළං ඉස්කෝත්තු කුඩු ගා ගෙන බැද ගත්තොත් තවත් ජාති කැවිල්ලක් වෙයි. අර ගා ගත්ත කොස් ඇට පැණි පොල් එක්ක උයාලා ඇන්න හුමාලෙන් තම්බපු කොස් මදුලු අස්සට පුරවලා කැවුම් බදින්ඩ වාගෙ කහ පිටියෙ ඔබලා ඇන්න තෙලේ බැදගත්තා නං ඕං කොස් කැවුමත් කන්ඩ බැරියෑ. අවුරුද්දට කන්ඩ හරි රස කැවිල්ලක් විදිහට කොස් කැවුම් හදාගත්තොත් අපිටත් කියන්ඩ ආයිබෝං.

මේ ඇත්තො කොහොල්ලෑ නිකම්ම විසි කරනවා නෙවද? හෙනම්මා එව්වයෙන් අහවල් එකක් කරන්ඩ කියලායැ නේද? අපේ අම්මලා නං කොහොල්ලෑ ගුලිය දුමේ පැත්තක ඇලෙවුවා මොනාට නමුත් වුවමනා වෙන්ඩ ඉඩයි බොල කියලා. එමලින් නැන්දා නම් හෙරළි කපද්දි උනන අලුත් කොහොල්ලෑ එහෙ මෙහෙ අලවන්නෙ නැතුං ඒවේලේම එක්කාසු කරගන්නවා කොහොල්ලෑ වඩේ බදින්ඩ. ඕං ඇස් උඩ ගියා නේද අම්මා අප්පා කාලෙවත් ඇහුවද කොහොල්ලෑ කන්ඩ පුළුවන් කියලා. ඇයි බැරි! හෙනං අහගන්ඩ. කොස් කපද්දි උනන අලුත් කොහොල්ලෑ එකතු කරගෙන හෝදගත්ත හාල් ටිකක් එක්ක මිරිස් ගලේ අඹරා ගන්නවා. හාල් ගනිද්දි කන්ඩ ඉන්න උන්දැලා ගාණෙ හැටියටයි තියෙන කොහොල්ලෑවල හැටියටයි ගන්ඩ. මෙහෙම අඹරද්දි කොහෙල්ලෑ ගලේ ඇලෙන්නෙ නැතුං ඇඹරෙයි. හා දැන් හදාගත්ත පිටි අප්පල්ලෙකට දාලා ලුණු, වතුර හෙම දාලා මෝලිය අල්ලන්ඩ. ඒකට අමුමිරිස්, කරපිංච, රතු ලූනු ලියලා දාලා අනාගෙන පොඩි බෝල හදලා අල්ලෙ පැතලි කරගෙන ගැඹුරු තෙලේ බැදගත්තම අහවරයි. ඕං කොහොල්ලෑ බබාගෙ කතා ඇහුව උන්දැලට කොහොල්ලෑ වඩේ. -

මාතෘකා