ටිකිරිලාගේ ශෝකාන්තය

 ඡායාරූපය:

ටිකිරිලාගේ ශෝකාන්තය

තම ජීවිතයේ සැඳෑසමය ගතකරමින් සිටින ‘ටිකිරි’ නම් ඇතින්නක් පසුගියදා නිමාවට පත් වූ මහනුවර දළදා පෙරහැරේ ගමන් කරවීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති වුණා. මෙම ඇතින්න අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අවස්ථාවේදීත් මෙසේ පෙරහැරට එක් කර තිබූ බවටයි එහිදී චෝදනා එල්ල වුණේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම ඇතින්න පෙරහැර රාජකාරිවලින් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළා. නමුත් ටිකිරි සම්බන්ධ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන හීලෑ අලි ඇතුන් හිමියන්ගේ සංගමයේ නිලධාරීන් පවසන්නේ ඇතින්න යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ අතර ඇතින්නගේ අයිතිකරු විසින් බාරයක් ඔප්පු කිරීම සඳහා පමණක් ඇය පෙරහැරට එක් කළ බවයි. ඒ අනුව පරිසර ක්‍රියාකාරීන්ගේ සහ හීලෑ අලි ඇතුන් හිමියන්ගේ එකිනෙකට පරස්පර ප්‍රකාශ කෙනකුට ප්‍රහේලිකාවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මෙවැනි බොරු ප්‍රකාශ නිකුත් කිරීමෙන් හෝ ටිකිරිගේ සිදුවීමට පමණක් ලඝු කිරීමෙන් යටපත් කළ නොහැකි ටිකිරිලාගේ පරපුරේ ශෝකාන්තය පිළිබඳව අතීත තතු ස්වල්පයක් ගෙනහැර පෑම කාලෝචිත බව සිතනවා.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටා ඇති ප්‍රකට විහාරස්ථාන සහ දේවාලවල වගේම පෞද්ගලික බාරකරුවන් යටතේ සිටින අලි ඇතුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් ගැටලු ඇති වූ ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගතයුතු බලධාරීන්ගේ නිද්‍රාශීලී පිළිවෙත හමුවේ එවැනි අවාසනාවන්ත සිදුවීම් අනාගතයේදී සිදු නොවෙයි කියලා හිතන්නත් අපහසුයි. මේ ආකාරයට ගෘහාශ්‍රිතව රඳවාගෙන සිටින අලි ඇතුන්ගේ ආහාර හා පෝෂණය වගේම සෞඛ්‍ය හා සුබසාධනය සම්බන්ධව සොයාබැලීමට කිසිදු නියාමන ආයතනයක් මැදිහත් නොවන වටපිටාවක මෙම අසරණ සතුන් මරව මරවා ඔවුන්ගේ ශ්‍රමය සූරා කමින් තම මඩිය තර කර ගැනීමට පටු අවස්ථාවාදීන් කටයුතු කරන්නේ අනුකම්පා විරහිතවයි. කුසට ප්‍රමාණවත් ආහාරයක්, ගතට අවශ්‍ය විවේකයක් වගේම රෝගාබාධවලට සුදුසු ප්‍රතිකාර නොමැතිව මෙසේ අලි ඇතුන් දිවා රෑ වෙනසක් නොමැතිව තම ශ්‍රමය වගුරුවමින් හාම්පුතුන්ගේ මඩි තරකර අවසානයේ ඉතා අවාසනාවන්ත විදිහට අකාලයේ මරණයට පත් වෙනවා.

මින් පෙර පින්නවල අලි අනාථාගාරයෙන් කෝට්ටේ රාජමහා විහාරයට ලබාදුන් ‘ජය ශ්‍රී’ හෙවත් ‘දිවුලා’ නමින් හැඳින්වූ අලියා 2010 සැප්තැම්බර් මස 9 වැනි දා මිය ගියේත් අධික ලෙස වැඩ ගැනීමේ හා නිසි පරිදි ආහාර හා ජලය ලබා නොදීමේ ප්‍රතිඵලයක් ලෙසයි. මේ සත්ත්වයා ඉංගිරිය ප්‍රදේශයේ අධික ලෙස කොටන් ඇදීමේ රාජකාරිවලට යොදවා සිටි අතර නිසි පරිදි ආහාර ලබා නොදීමේ ප්‍රතිඵලයක් ලෙස ඇත්ගොව්වන්ට පාලනය කර ගත නොහැකි තත්ත්වයට පත් වුණා. මේ හේතුව නිසාම ‘ජය ශ්‍රී’ විසින් 2010 අගෝස්තු මස 18 වැනිදා වයෝවෘද්ධ පුද්ගලයකු මරා දමනු ලැබුවා. ඊට පළිගැනීමක් වශයෙන් ඇත්ගොව්වන් හා මේ සතාගෙන් වැඩගත් පුද්ගලයන් මෙම අසරණ හස්තියා ආහාර හා ජලය ලබා නොදී දින තුනක් එක ස්ථානයක බැඳ තැබීම හේතුවෙන් විජලනය වී එම සත්ත්වයා අකාලයේ මරණයට පත්වූ බවට ඉතිහාසය සාක්ෂි දරනවා. මෙම විහාරස්ථානයට ලබාදුන් ‘ලංකා’ නම් අලියාත් 2012 අප්‍රේල් මස 13 වැනි දින මිය ගියේ අකුණු සැර වැදීමකින් බව පැවසුණත්, ඒ මරණය අධික ලෙස වැඩ ගැනීමේ හා හෙණ්ඩු පහරවලට ලක්වීමේ ප්‍රතිඵලයක් බව පරිසර ක්‍රියාකාරීන් පවසනවා. එසේම මෙම විහාරස්ථානයේම සිටි ‘රාජා’ නම් ඇතා මිය ගියේත් ඉංගිරිය ප්‍රදේශයේ කොටන් ඇදීම සඳහා ලොරියකින් ගෙන යමින් සිටියදී ලොරි තට්ටුව කඩා වැටී දරුණු ලෙස තුවාල ලැබීම හේතුවෙන්.

පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ සිටි ‘සීදේවි’ නමැති අසරණ හස්තියාත් 2014 ඔක්තෝබර් 17 වැනිදින අකාලයේ මරණයට පත් වන්නේ මෙවැනි අමානුෂික හිංසනයක ප්‍රතිඵලයක් වශයෙන්. පාදයක හටගත් තුවාලයක් වණ වී දැඩි ලෙස රෝගාතුරව සිටි මෙම අලියාට මෙවැනි අකල් මරණයක් අත්වීමට හේතුව එම සත්ත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග අවශ්‍ය අවස්ථාවේදී නොගැනීමයි.

ඒ වගේම විවිධ පුද්ගලයන් සහ විහාරස්ථාන බාරයේ සිටි කෙරමිණියේ ඇතා, වෑවලදෙණියේ ඇතා සහකපිල අලියා වගේම දළදා මාලිගාවේ සිටි ඒකදන්ත නම් හස්තියා අකාලයේ මරණයට පත්වීම පිටුපසත් මෙවැනි ශෝකාන්ත සැඟ වී ඇති බවයි දැනගන්න ලැබෙන්නේ. තවද දීර්ඝ කාලයක් තිස්සේ දම්වැලකින් ගැට ගසා තැබීමෙන් පාදයේ ඇති වූ තුවාල නිසා පීඩා විඳි දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ ‘කළණ’ හස්තියා පිළිබඳවත් 2018 අවුරුද්දේ අග භාගයේ සාකච්ඡාවට බඳුන් වුණා. 2015 අවුරුද්දේ සිට දේවාල භූමියේ එකම ස්ථානයක ගැටගසා සිටි ‘කළණ’ ඉදිරිපස දකුණු පාදය දම්වැලට කැපීමෙන් බරපතළ ලෙස තුවාල සිදුවීම නිසා දැඩි අපහසුතාවට පත්ව සිටියා.

ඒ නිසා බොරු මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් හෝ ටිකිරිගේ සිදුවීමට පමණක් ලඝු කිරීමෙන් ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන්ගේ ශෝකාන්තය සඟවා තබන්න බැරි බව ඔවුන්ගේ ශ්‍රමය සූරා කන චිවරධාරීන්ට සහ තක්කඩි අලි හාමුලාට සිහිපත් කර දිය යුතුයි. ඒ වගේම මේ සත්ත්ව හිංසනයන් පසුපස බෞද්ධයන්ගේ උතුම් සිද්ධස්ථානවලට අරක්ගත් උපාසක බළලුන්ද සිටින බවත් නොකියාම බැහැ. නමුත් සත්ත්ව හිංසා වැළැක්වීම, වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණය හා පොදු දේපළ ආදී විෂයයන් සම්බන්ධ අනපනත්වලින් තමන්ට ලැබී ඇති නීතිමය ප්‍රතිපාදන යොදාගනිමින් මෙවැනි හස්ති මරණ සහ හිංසනයන් වැළැක්වීමට ක්‍රියාකළ යුතු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසිය තම රාජකාරි නිසි පරිදි ඉටු නොකරන තාක්කල් මෙම පාපතරයන්ගේ නරි නාටක අවසන් නොවන බවත් කනගාටුවෙන් නමුත් ලියා තැබිය යුතුයි.

මාතෘකා