චූල සම්ප්‍රදායෙන් ළිපට වැටීම

 ඡායාරූපය:

චූල සම්ප්‍රදායෙන් ළිපට වැටීම

ගණනාත් ඔබේසේකර ලංකාව බිහිකළ විශිෂ්ට ගණයේ සමාජ විද්‍යාඥයෙකි. ඔහු ලාංකේය බුදු දහමේ චූල සම්ප්‍රදාය සහ මහා සම්ප්‍රදාය වශයෙන් ප්‍රභේද දෙකක් හඳුනා ගනියි. චූල, මහා සම්ප්‍රදාය ලක්ෂණ ආගමෙහි පමණක් නොව සාහිත්‍ය කලා ආදියෙහිද විද්‍යමාන බව විද්වත් මතයයි.

බුදු දහමේ මහා සම්ප්‍රදාය යනු බුදුන් අනුදැන වදාළ ධර්ම විනයට යටත්ව ක්‍රියාත්මක සම්ප්‍රදායයි. මහා සම්ප්‍රදායෙහි ජනප්‍රිය පුද පූජා උත්කර්ෂයට නැංවෙන්නේ නැත. බුදුන් වදාළ ඥානමාර්ග ප්‍රගුණ කරමින් අපිස් දිවියකින් යුතුව කටයුතු කිරීම මහා සම්ප්‍රදායේ ශ්‍රාවකයා තුළින් දක්නට ලැබෙයි. මුල් ඉගැන්වීම් අබිබවා ජනප්‍රියවාදී ප්‍රවණතා ඉස්මතු කර ගැනීම චූල සම්ප්‍රදායයි. චූල සම්ප්‍රදාය තුළ ප්‍රතිපත්තියට වඩා ආමිසයට බර තබන තත්ත්වයක් දැකිය හැකිය. බුදු සමය මහා සම්ප්‍රදායෙහි ආගමික භාවිතයකට වඩාත් ළංවෙයි. එයට නිදසුනක් බුදුන් ජීවමාන යුගයෙන්ම දැක්විය හැකිය.

සැරියුත්, මුගලන් දෙනම බුදුන් ජීවමාන අවදියෙහි වැඩ සිටි ප්‍රකටතම ශ්‍රාවක දෙපළයි. ඔවුහු ගිහිකල සංජය පිරිවැජියාගෙන් දර්ශනවාදය හදාළහ. පසුව බෞද්ධ භික්ෂුවක වූ අස්සජී හිමිගෙන් පටිච්ච සමුප්පාදය දැන ගත්හ. එම සගයෝ බෞද්ධ ඥානමාර්ගයේ විශිෂ්ටතාව හඳුනා ගත්හ. බෞද්ධ ඉගැන්වීමෙන් ප්‍රමුදිත බාවයට පත් ඔවුහු තම ගුරුවරයා වූ සංජයවද ඒ පිළිබඳ දැනුම්වත් කළහ. සංජය බුදුන් දැකීම ප්‍රතික්ෂේප කරනු ලබයි. සංජය එහිදී දක්වන අදහස බුදු දහම දරා සිටින සමාජ අවකාශය හඳුනා ගැනීමට උපකාර වෙයි.

ලෝකයේ නුවණ ඇති අය සුළු පිරිසකි. නුවණ මඳ පිරිස බහුතරයයි. සුළුතරයක් වූ නුවණ ඇති පිරිස බුදුන් සරණ යනු ඇත. බහුතරයක් වූ නුවණ මඳ පිරිස මා (සංජය) කරා පැමිණෙනු ඇත. සංජයගේ ප්‍රකාශය බෞද්ධ දර්ශනය පිළිබඳ කදිම හඳුනා ගැනීමකි. ඥානයෙන් යුතු පිරිසකගේ ගෞරව ප්‍රසාදයට හේතුවන ලක්ෂණ බුදු දහමෙහි ගැබ්ව ඇත. බුද්ධ කාලීන භාරතීය සමාජයේ ඥානය පිළිබඳ සැලකිලිමත් වූ පිරිස් බුදුන් වහන්සේ වටා ඒකරාශී වූහ. බුදුන් වහන්සේ තමා සරණ යන ගිහි, පැවිදි ශ්‍රාවක පිරිස ප්‍රතිපත්තිගරුක වීම අපේක්ෂා කළහ. බුදුන් පිරිනිවන්පාන අවස්ථාවේ එක් භික්ෂුවක් භාවනානුයෝගීව විසීම පිළිබඳ බුදුහු මහත් සේ ප්‍රශංසා කළහ. ධර්මය තුළින්ම තමන් දකින ලෙසට බුදුහු වදාළහ. (යො ධම්මං පස්සති - සො මං පස්සති)

ලංකාවට බුදු දහම ලැබී නොබෝ කලකින් ආරාමය තුළ චෛත්‍ය නිර්මාණය වන අතර බෝධි ශාඛාද රෝපණය වෙයි. ඒ සමඟ පන්සල කේන්ද්‍ර කරගත් පොදුජන ආකර්ෂණයට හේතුවන වටපිටාවක් බිහි වෙයි. මහා සම්ප්‍රදා‍යේ ආභාසයෙන් බිහිවන මෙම නව සම්ප්‍රදාය චූලසම්ප්‍රදායක් ලෙසට වර්ධනය වෙයි. ක්‍රමයෙන් ලංකාව තුළ මහා සම්ප්‍රදාය අභිභවා චූල සම්ප්‍රදාය බලවත් වෙයි. චූල සම්ප්‍රදායෙහි භික්ෂුහු ඥානවීමංසනයට සීමා නොවූහ. ජනසමාජයට නායකත්වය සපයන පිරිසක් බවට පත්වූහ. කාලයාගේ ඇවෑමෙන් භික්ෂුන් මහජන ආකර්ෂණය සඳහා බුදුන් ප්‍රතික්ෂේපිත ප්‍රවණතා පිළිබඳ ද අවධානය යොමු කර ඇත. පුද පූජා තබා දෙවියන් ඉදිරියේ කන්නලව් කිරීම බුදු දහම මිථ්‍යාවක් ලෙස හඳුන්වයි. (ධජග්ග සූත්‍රය එයට නිදසුනකි) එහෙත් චූල සම්ප්‍රදායේ පන්සලෙහි දේවාලය අනිවාර්යය අංගයක් බවට පත්විය. එයට අතිරේකව නැකැත් බැලීම, වෙදකම් කිරීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආරාමයන්හි ප්‍රසිද්ධියේම සිදු කරන්නට විය. මහජන ආකර්ෂණය වැඩිවනවාත් සමඟ පන්සල සිවිල් සමාජයට කරන බලපෑම ද වර්ධනය විය. දේශපාලනික ප්‍රවණතා විෂයයෙහි භික්ෂුව ඍජුව මැදිහත්ව ඇත. තමන් කැමති පුද්ගලයාට සිහසුන ලබාදීම සඳහා භික්ෂුව අරගල කළ බවටද සාධක ඇත. (පළමුවන රාජසිංහ රජු සහ භික්ෂුන් අතර අමනාපය එයට එක් නිදසුනකි)

යුරෝපා ආක්‍රමණවලට පසුව එතෙක් පැවති රාජාණ්ඩු වෙනුවට ධනේශ්වර ආර්ථික ක්‍රමයකට රට පරිවර්තනය වෙයි. පරිවර්තන අවධියේදී ද භික්ෂුහු චූල සම්ප්‍රදායේ ජනප්‍රිය ලක්ෂණ පෙරටද වඩා වර්ධනය කර ගත්හ. මහා සම්ප්‍රදායේ හර පද්ධතීන් ඉවතලා භික්ෂුව ක්‍රියාත්මකවීමේ අනිටු ඵල විපාක පන්සලට පමණක් සීමා වූයේ නැත. එය රජ්‍යයටද අහිතකර ලෙස බලපෑ බවට සාධක ඇත. නූතන ලෝකයේ දියුණුවට පත් රාජ්‍යයන් ආගමට බරතබා ක්‍රියා කරන්නේ නැත. එහෙත් ලංකා ආණ්ඩුව ආගම්වල අත්අඩංගුවට පත්ව ඇත. ක්‍රිස්තියානි, මුස්ලිම් හා හින්දු ආගම් ද වර්තමාන ලංකාව තුළ ස්වකීය මුල් හර පද්ධතීන් ඉක්මවා කටයුතු කරයි. සංදර්ශනයට ප්‍රමුඛතාව ලබාදෙයි. මුස්ලිම් ආගම අන්තවාදී අදහස් ඉවසන බවට සාධක ඇත. රාජ්‍යය සෑම අංශයකින්ම බිඳ වැටුණද ආගම් ජනප්‍රියතාව සඳහාම තරගයක යෙදී සිටිති.

වර්තමාන ලාංකේය තරුණ පරපුරේ බහුතරය විකෘතිව ඇති ආගම්වල ගොදුරු බවට පත්ව ඇත. කෘත්‍රිම බුද්ධියෙන් හැසිරෙන අනාගත ලෝකයෙහි ආගමක වහලෙක් වූවකුට පැවැත්මක් තිබේද? හොඳ සිහිය අහිමි කරගෙන ඇති රාජ්‍යය සුවපත් කිරීමේ හැකියාව වර්තමාන ආගම්වලට පවතී ද යන්න ප්‍රශ්නාර්ථයකි. මහජනයා සබුද්ධික වනතුරු ආගමික සංදර්ශන වර්ධනය වනු ඇත.

ගෙවී ගිය වසර පන්සියයක ඉතිහාසයෙහි බිඳ වැටුණ කිසිදු රාජ්‍යයක් ආගමික මැදිහත් වීමෙන් නැඟී සිටිය බවට සාධක නැත. ආගමික ගැටුම් හේතුවෙන් බිඳ වැටුණ රාජ්‍ය ගණනාවක ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැකිය. බිඳ වැටුණ ලාංකේය රාජ්‍යය නඟා සිටුවීමට පූජක පක්ෂයෙන් නායකත්වය ලැබෙනු ඇතැයි සිතීම මුළාවකි. චූල සම්ප්‍රදායයේ ආගමික සංදර්ශන ලාංකේය ජන සමාජය කබලෙන් ළිපටම හෙළනු ඇත.

මාතෘකා